
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්ගහවෙල පොරමඬල ග්‍රාමයේ උපත ලද භාෂිත් රණවීර මූර්ති ශිල්පය සහජයෙන් උරුම කොට ගත් අයකු ය. හේ කුලරත්න රණවීර හා නයනා රත්නපාල යන අයගේ එකම දරුවා ය. පොරමඬල කනිටු පාසලෙන් ‘අ’ යනු ‘ආ’ යනු කියූ ඔහු ශිෂ්‍යත්ව විභාගය සමත් ව නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු විය. උසස් පෙළ ලියන අවධියේදී ඥාති සොහොයුරකුගේ බාරයක් සඳහා ගණදෙවි මූර්තියක් නිමැවීමට අහම්ෙබන් මෙන් ඔහුට බාර විය. එය අභියෝගයක් වුව ඉතා කැමැත්තෙන් බාරගන්නා ඔහු එය මනරම් ලෙස නිමවා දී බොහෝදෙනාගේ ඇගයුමට පාත්‍ර විය. මූර්ති ශිලිපීය නිමැවුම් තාක්ෂණය ඔහුගේ මූර්ති තුළ තිබෙන බව මූර්ති ශිල්පියකු විසින් පැවසූ දා, මූර්ති ඇඹීමට තමන් තුළ ඇති මේ සහජ දක්ෂතාව පිළිබඳ ඔහු පවා විස්මයට පත් විය. මන්ද යත් ඒ වන විටත් භාෂිත් මූර්ති ශිල්පය පිළිබඳ විධිමත් හැදෑරීමක් හෝ ගුරු උපදේශයක් ලබා නො සිටි බැවිනි. “මූර්තියක් අඹන කොට ඊළඟ ස්ටෙප් ඒක ඉබේම ඔළුවට එනවා. ඒක වෙන්නේ කොහොමද කියල මට හිතා ගන්න බැහැ.” ඔහු පවසයි. උසස් පෙළ ලියා විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නා කාලයේ ටෙලිනාට්‍ය පසුතල නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වීමට ඔහුට අවකාශ සැලසෙන්නේය. මේ ටෙලි නිර්මාණයට අවශ්‍ය අනුරූ සැකසීම ඔහුට පැවරුණු රාජකාරිය විය. ඒ අවස්ථාවේදී ද ඔහුට මුලින් ම ඇඹීමට සිදුවන්නේ ගණදෙවි මුර්තියකි. මෙය කිසියම් විදියක දෛවෝපගත සිදු වීමක් දැයි භාෂිත්ට සිතෙන්නේ ය. සියල්ල භෞතික ව විග්‍රහ කළ හැකි වුවද එසේ කළ නොහැකි අවස්ථා ද නැතුවා නොවේ.
පසුව උසස් පෙළ සමත්ව 2011 වසරේදී මූර්ති කලාව හැදෑරීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වන භාෂිත්; දෙවන වසරේ දී එකලස් කිරීමේ කලා අංශයට යොමු වන්නේ ය. එහිදී ඔහු ආචාර්ය උපාලි ආනන්ද සහ ආචාර්ය දුමින්ද නිරෝෂණ යටතේ අධ්‍යන කටයුතුවලට යොමුවන්නේ ය. මෙරට දක්ෂ එකලස් කිරීම් නිර්මාණ කරුවන් දෙදෙනකු වන සංජය ගීකියනගේ සහ ප්‍රගීත් මනුවංශ යන සොහොයුරන් භාෂිත්ට හමුවන්නේ මෙහිදී ය. ඔවුන් දෙපළගේ ඇඹීම් හා එකලස් නිර්මාණ කෙරෙහි හෙතෙම බෙහෙවින් ආශක්ත වන්නේ ය. මේ නවක යෞවනයාට සිය අත්දැකීම් නොසඟවා ලබාදීමට ඔවුන් දෙදෙනා මඳකුදු පසුබට නොවන අතර කල්යත්ම භාෂිත් ඔවුන්ගේ සමීප මිතුරකු බවට පත් වේ. ආධුනිකයකු ලෙස ටිකෙන් ටික සුළු වශයෙන් එකලස් මූර්ති සඳහා යොමු වුව ද භාෂිත් තුළ වූ නිසග හැකියාව හේතුවෙන් ඔහුගේ නිර්මාණ ගුණාත්මක අතින් ඉහළ විය. මෙනිසා නිතැතින් ම හේ ගුරුවරුන්ගේ ඇගයුම් ලැබීමට හේ භාග්‍යවන්ත විය. ඔහුගේ නිර්මාණ තුළ පැවති මේ වෙසෙස් ආකර්ෂණය නිසා ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී ම කිසියම් වෙළෙඳපොළ වටිනාකමක් ඇති මූර්ති ශිල්පියකු බවට පත් වීමට භාෂිත්ට හැකි විය. ඊට බෙහෙවින් දායක වූයේ සමාජ මාධ්‍යයක් වූ මුහුණු පොතයි. වෙනත් තරුණ තරුණියන් අවිචාරවත් ව මේ මාධ්‍ය අවකාශය යොදාගන්නා මොහොතක ඔහු ඉතා සාධනීය ප්‍රවේශයකින් මේ මාධ්‍ය හැසිර වීමට පටන් ගන්නේ ය. ඒ සිය නිර්මාණ එළි දැක්වීමේ මාධ්‍යයක් බවට මුහුණු පොත පත්කර ගැනීමෙනි.
කලා පොළ ආරම්භ වූයේ ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටින අතරතුර ය. නමුත් ඒ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව ඔහුට අහිමි විය. ඊට හේතුව වූයේ ඔහු ශිෂ්‍ය අවධියේ පසුවන්නකු වීම ය. එනමුත් වෙනත් ශිෂ්‍යයන්ට ඒ සඳහා අවසර හිමි ව තිබුණි. ඇත්තෙන් ම එය මූර්ති අංශය බාර ආචාර්යවරයාගේ තීරණයක් විය. ඒ නිසා භාෂිත් සිය මිතුරු ලක්ෂාන්ගේ එකලස් කිරීම් නිර්මාණ තබා ඇති කුටිය බලාගැනීමෙන් පමණක් සීමා වීමට සිදු විය. ඒ අවස්ථාව ඔහුට ඉතා ම වටිනා අත්දැකීමක් විය. මිනිසුන් වැඩි වශයෙන් ආකර්ෂණය වන්නේ කවරාකාරයේ නිර්මාණවලට ද යන්න කෙරෙහි හෙතෙම සිය අවධානය යොමු කළේය. ඒ අනුව තම නිර්මාණ සඳහා හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරගන්නේ කෙසේදැයි හේ කල්පනා කළේ ය. කළ යුත්තේ නිරන්තරයෙන් එකලස් කිරීමෙහි නිරත ව වඩා උසස් නිර්මාණ බිහි කිරීමට උත්සාහ කිරීම ය. ප්‍රගීත් මනුවංශ සොයා ගොස් ඔහු කර ඇති වැඩ අධ්‍යයනය කරන්නට හේ පෙලඹෙන්නේ මේ අතර ය. එමඟින් විශාල අත්දැකීම් සම්භාරයක් උකහා ගැනීමට ඔහුට හැකි විය. එක ම මාධ්‍යයක නිරත වුව ද ඔවුන් දෙදෙනා තුළ මනා අවබෝධයක් තිබීම සිත් අලවන සුලු ය. එකකු පරයා එකකු නැඟීම පරමාර්ථය කොට ගත් සමාජයක මේ සබැඳියාව අගේ කළ යුත්තකි. මන්දයත් බොහෝ නිර්මාණකරුවන් මතු පිටින් කුමක් පෙන්නුව ද, නිර්මාණ පිළිබඳ ව කුමන අර්ථකථන ඉදිරිපත් කළ ද ඔහුන් තුළ ඇත්තේ ස්වාර්ථකාමයෙන් මඬනා ලද හැඟීම් ය. කලා ශිල්පීන් වුව ඔවුන් බොහෝ දෙනා තුළ ඇත්තේ අනෙකා බිම ඔබා නැඟී සිටීමේ පිළිවෙතකි.
විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලදී වෙසෙස් නිර්මාණ කරමින් සිටින භාෂිත් ට ඒවා විකුණාගත හැකි පරිසරයක් උදා වන්නේ මේ අතරතුර ය. ඔහු දෙවරක් නොසිතා ඒවා විකිණීමට පෙලඹෙන්නේ ය. “වෙළෙඳපොළ වටිනාකමක් නැත්තම් අපි මොනව කළත් වැඩක් නැහැ. එහෙම නොවුණොත් මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්න එක හරිම අමාරුයි” ඔහුගේ අදහස විය. මේ කාලයේදී පංචිකාවත්තේ ඉදිවී තිබෙන අශ්ව රුව දැක හේ ඊට බෙහෙවින් ඇලුම් කරන්නේ ය. ඉන් ඇති වූ පෙලඹවීම මත ඔහු පිහිතල හා දෑකැති ආදී විවිධ අමුද්‍රව්‍ය ගෙදරින් ගෙනැවිත් උකුස්සකු නිර්මාණය කිරීමට උත්සාහ ගන්නේය. එය අනාගතයේ ඉඳිවන පංචිකාවත්තේ උකුස්සාගේ දළ සැකැස්ම බව හේ සිහිනෙනුදු නොසිතුවේය. මේ කුඩා උකුස්සා සෞන්දර්ය විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ හා විද්‍යාර්ථීන් ගේ ඇගැයුමට පාත්‍ර වන අතර ඔහු ජනප්‍රිය ශිෂ්‍යයකු ලෙස ඔසවා තබන්නට එයට හැකි වන්නේ ය.
තෙවන වසරේ ශිෂ්‍යයකු වන විට ඔහු කිසියම් වෙළෙඳපොළ වටිනාකමක් හිමිකරගත් නිර්මාණකරුවකු වී හමාර ය. ඔහුගේ නිර්මාණ කාර්යයෙහි තිබෙන අපූර්වත්වයත් හැඳින ගන්නා සුපුන් දිසානායක මිතුරා පංචිකාවත්තේ තැනක උකුස්සකු නිමැවීමට ඔහුට අවස්ථාව සලසා දීමට කටයුතු යොදන්නේ ය. ඒ අනුව ඩග්ලස් සහ පුත්‍රයෝ සමාඟමේ අනුග්‍රහය ඇතිව ඔහු මේ නිර්මාණ කාර්යයට යොමුවන්නේ ය. එනමුත් මේ කාර්යය සම්පූර්ණ කරගැනීම සඳහා අභියෝග රාශියකට මුහුණ දීමට භාෂිත් ට සිදු විය. මන්දයත් මේ උකුස්සා බොහෝ සෙයින් විශාල වූ නිර්මාණයක් වන නිසා ය. තටුදෙක පමණක් අඩි පහළොවක් පමණ වූ අතර, එය නිමැවීමට විශාල ඉඩකඩක් අවශ්‍ය විය. ශිෂ්‍ය නෙවාසිකාගාරයේ ඉඩකඩ ද ඒ සඳහා ප්‍රමාණවත් නොවීය. මෙනිසා ඒ සඳහා ඉඩ දෙන ලෙස විශ්වවිද්‍යාලයේ මූර්ති අධ්‍යනාංශය බාර ව සිටි ආචාර්යවරයාගෙන් ඔහු ලිඛිත ව අවසර ඉල්ලා සිටීමට සිදු විය. ඒ සඳහා ඉඩදෙනු වෙනුවට ආචාර්යවරයා ප්‍රකාශ කර සිටියේ “මේක විශ්වවිද්‍යාලයට සම්බන්ධ නැති වෙළෙඳ කටයුත්තක්නෙ. මේක ඇතුළේ ඕව කරන්න ඉඩදෙන්න බැහැ. එහෙම කළොත් මේක කම්මලක් වෙනවා. යකඩ කපන්න මේක යකඩ මඩුවක් නෙවෙයි” කියා ය. මුල සිට ම ඔහු ඊට අකුල් හෙළන බව ඉවෙන් මෙන් ඔහුට අවබෝධ වී තිබුණි.
නමුත් ඉන් අධෛර්යවත් නොවූ භාෂිත් කෙසේ හෝ උකුස්සා නිර්මාණය කිරීමේ කාර්යය ජය ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. ඒ අනුව ඊට අවශ්‍ය පසුබිමක් සකස් කරගත් භාෂිත් නේවාසිකාගාරය එළිමහනේ තම කාර්ය කිරීමට කටයුතු කරන්නේ ය. කටයුතු ඇරඹි දිනයේ සිට ම හිටි හැටියේ විදුලිය විසන්ධි වීමට පටන් ගත් අතර ඒ පිළිබඳ ව සොයා බැලූ භාෂිත්ට දැනගන්නට ලැබුණේ එය විදුලිබල මණ්ඩලය විසින් කළ කප්පාදුවක් නොවන බවයි. මේ අතර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයකට සහභාගි වී සිටි අරියරත්න කළුආරච්චි උපකුලපතිතුමා අඩක් නිමවා ඇති උකුස්සා දැක “මොකක්ද මේ හංගගෙන කරන වැඩේ. ඕක ඇරල පෙන්නනව බලන්න මොකක්ද කියලා. මරු වැඩක්නේ පුතේ. ඇයි මේක හංගගෙන කරන්නේ. අනිත් ළමයින්ටත් පේන්න කරන්න. මේ ළමයට කරන්න පුළුවන් උදව්වක් තියෙනව නම් බලල කරන්න” යැයි කීවේය. ඒ තමන්ට අකුල් හෙළමින් සිටි අංශ ප්‍රධානියා ද රැඳී සිටියදී ය. භාෂිත්ගේ හිතේ මල් උද්‍යානයක් මැවිණි. මන්ද යත් ඔහු සමඟ සියලු ම ආචාර්යවරුන් ඒ අවස්ථාව සඳහා සහභාගි වී සිටි බැවිනි. ඊට පසු විදුලිය විසන්ධි වූයේ නැත. එසේ උපකුලපතිවරයා මැදිහත් නොවන්න සිය නිර්මාණය යථාර්ථයක් නොවන බව භාෂිත් පවසයි. එනිසා එවැනි ගුණවත් ගුරුවරයන් පිළිබඳ ව ඔහුට ඇත්තේ අප්‍රමාණ ගෞරවයක් හා සෙනෙහසකි. මේ කාර්ය නිමකර ගැනීමේදී සඳකැලුම්, සනත්, තරිඳු ඔහුට ඉමහත් ශක්තියක් වූ මිතුරන් විය. එසේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ භාෂිත් අතින් නිර්මාණය වූ ඒ උකුස්සා අද පංචිකාවත්තේ විරාජමාන ව සිටියි. එහෙත් අද ඔහු කියන්නේ උකුස්සා නිර්මාණය තුළ අද බොහෝ අඩුපාඩුකම් ඔහුට පෙනෙන බවයි. එය ඔහුගේ නිහතමානි ගුණය කියා පාන්නකි.
නැතිනම් රටක් වසඟ වූ මේ නිර්මාණය අඩුපාඩුවලින් යුක්ත බව කියන්නේ කවුරු ද? යකඩයකට පණ දෙන්න මේ ගන්න උත්සාහය අපූර්ව කාරණයක් වන්නේ මේ තුළ බෞද්ධ දර්ශනික එළැඹුමක් විද්‍යාමානවන නිසා යැයි පැවසීම අතිශයොක්තියක් නොවේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවට, ආකාශ ධාතුව එකතු වීමෙන් පංචස්කන්ධය නිර්මාණය වන්නේ යම් සේද ඇණ, නට්, බෝල්ට්, රේසර්, යකඩ ආදිය එක් වී මූර්තියක් බවට පත් වේ. ඒවා වෙන් වෙන් වශයෙන් ගත් කල නිර්මාණයක් නොවේ. හරියට සතර මහා භූතයන් වෙන් වූ කල ශරීරයක් කියා දෙයක් නොපවතින සේ ය. සරල ව පැහැදිලි කළොත් එක එක ද්‍රව්‍ය ගෙන එකලස් කළ විට ඊට නිශ්චිත හැඩයක් ලැබෙන අතර අප එයට නිර්මාණය යැයි කියමු. එහෙත් ඒවා නැවත වෙන් කළ විට නිර්මාණයක් කියා දෙයක් එතන ඇත්තේ නැත. අපගේ පංචස්කන්දය ද මේ ආකාර වේ. එය ක්‍රමයෙන් විනාශ ව යන්නේ ය. මේ යකඩ ද මල බැඳෙන්නේ ය. එමඟින් වෙනස් වීම එනම් දිරා පත් වීම, ක්ෂයවීම, විනාශයට පත් වීම ද දැකිය හැකිය.
එනිසා මේ එකලස් කිරීමේ කලාව කුමන රටක කවර ආකාරයකට උත්පත්තිය ලැබුවද මෙය බෞද්ධ දර්ශනයේ පෙනෙන මේ දාර්ශනික කතිකාව හරහා අර්ථකථය කිරීම වඩාත් යුක්කි යුක්තය. එමඟින් මෙය ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් වනවා සේම දාර්ශනික ජීවන දහමක් ද අපට මෙනෙහි කර දෙන්නේය.