විදුලිබල මණ්ඩලය ගෙන්වූ ජෙනරේටර් 50ක් තාම වැඩ නෑ! | Page 4 | සිළුමිණ

විදුලිබල මණ්ඩලය ගෙන්වූ ජෙනරේටර් 50ක් තාම වැඩ නෑ!

හදිසි විදුලි අවශ්‍යතා උදෙසා විදුලිය නිපදවීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කෝටි 1,325ක වියදමින් ගෙන්වන ලද විදුලි ජනක යන්ත්‍ර 50ම තව මත් අක්‍රිය තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඒ ව්‍යාපෘතිය මුළුමනින්ම සුදු අලියකු බවට පත්ව ඇත. මේ වසරේ නියගයක් එළැඹෙන බවට සිදු කළ දැනුම් දීම මත 2018 වසරේ දෙසැම්බර් 18 දා මේ විදුලි ජනක යන්ත්‍ර මෙරටට ගෙන්වා ස්ථාපනය කරන ලද අතර, ඉන් යන්ත්‍ර 20ක් මතුගමත්, 10ක් තුල්හිරියේත්, 10 බැගින් කොළොන්නාවේ ස්ථාන දෙකකත් සවි කර තිබේ.

එයින් මතුගම ස්ථාපනය කර ඇති ජනක යන්ත්‍ර 20ම මේ වන තුරු කිසිදු පරීක්ෂණ තත්ත්වයට පවා පත් කර නැති අතර, කො‍ළොන්නාවේ විදුලි ජනක යන්ත්‍ර 10ක්ද පරීක්ෂණයන්ට පවා භාජන කර නැත.

තුල්හිරියේ හා කොළොන්නාවේ භාවිතයට ගත් ජනක යන්ත්‍රවල එංජින් තෙල් අවසන් වීම නිසා ඉන්දියාවෙන් තෙල් ගෙන ආ යුතු බව පැවසෙන හෙයින් ඒවාද ක්‍රියා කිරීම දැඩි අර්බුදයකට පත්ව තිබේ. මේ ජනක යන්ත්‍ර පැය 200ක් පමණ ක්‍රියාත්මක කිරීමේදී එංජින් තෙල් වාෂ්ප වී යන තත්ත්වයක් තිබෙන බවද වාර්තා වේ.

මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒවා ක්‍රියාත්මකව පවතින බවට මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයෙන් පසු ඒවා පරීක්ෂාවට ගිය ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාද ඒවා ක්‍රියාත්මක නොවන බවට වාර්තා කර ඇති බවද දැනගන්නට ඇත. රටට විශාල බරක්ව ඇති මේ විදුලි ජනක යන්ත්‍ර සුදුසු බවට නිර්දේශ කරමින් ආනයනය කිරීමට කටයුතු කළ ඉංජිනේරුවන් සම්බන්ධයෙන් මේ වන තෙක් විදුලි බල මණ්ඩලයෙන් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා වන අතර, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ විය.

Comments