
විවිධ පිරිස් විවිධ අයුරින් මාර්තු 8 වැනි දා ජගත් කාන්තා දිනය සමරද්දි අපේ එකම අන්තර්ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සේවයත් අමුතුම ආකාරයකින් එම දිනය සැමරීය. එම සැමරුම ශ්‍රි ලංකන් ගුවන් සේවා ඉතිහාසයට එක් කරන්න ඔවුන්ට හැකි විණි.
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යූ.එල් 306 දරන ගුවන් යානය පසුගියදා 8 වැනිදා පාන්දර 1 ට කොළඹ කටුනායක සිරිමාවෝ බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටින් ගුවන් ගත වූයේ සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටින් ගොඩ බාන්නටය. පැය 4 කට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව යූ.එල් 306 ගුවන් යානාව සිංගප්පූරු වේලාවෙන් උදෑසන 7ට පමණ චැංගි ගුවන් තොටට ගොඩ බෑවේ ලක් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමිනි.
මේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ හෝ ගුවන් නියමුවන් අතර කිසිම පිරිමියෙකු සිටියේ නැත. කාර්ය මණ්ඩලයේ සිටි 8 දෙනාම කාන්තාවෝ වූහ. ගුවන් නියමුවන් දෙදෙනාද කාන්තාවන් වීම සුවිශේෂි විය.
ශ්‍රි ලංකන් ගුවන් සේවා ඉතිහාසයේ කාන්තාවන් පමණක් සිටින ගුවන් යානාවක් කිසිදා ගුවන් ගත කර නැත. විදේශීය ගුවන් සේවා එවැනි සුවිශේෂි දිනවල අලුත් අත්දැකීම් විඳ තිබුණද අපේ ගුවන් සේවයඑවැනි අත්දැකිමක් වින්දේ පළමු වතාවටය.
මඟීන් 177 දෙනෙකු සිටි එම ගුවන් යානාවේ ප්‍රධාන ගුවන් නියමුවරිය කපිතාන් ෂිම්රාන් ගුම්මන්ය. ඇය ඉන්දිය ජාතික ගුවන් නියමුවරියකි. පළමු පියාසර නිලධාරිනිය වූයේ මනීෂා නම්මුගේය. ඇය අපේ රටේ දක්ෂ තරුණ ගුවන් නියමුවරියකි. ගුවන් කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වූයේ මිරැන්ඩා රොද්‍රිගෝ ය.
එම ඉතිහාසගත ගුවන් ගමනින් අනතුරුව ඔවුහු චැංගි ගුවන් තොටේදි ජගත් කාන්තා දිනය සමරුවේ ඒ වෙනුවෙන්ම සැකසු කේක් ගෙඩියක් කපමිනි.
සුභාෂිණි ජයරත්න