![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/09/20/ras-4-2.jpg?itok=A837uR9r)
-රොමේෂ් සුගතපාල
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද
තාරුණ්‍යය වැළඳ ගත් මේ ගීතය ගායනා කරන්නේ කවුද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ. ඒ තරම් මෙම ගායන ශිල්පියා රසික හදවත් දිනාගෙන හමාරයි. ඔහු රොමේෂ් සුගතපාල රොමේෂ් උපත ලැබුවේ කඩුගන්නාවේ. රොමේෂ්ගේ මවුපියන්, සහෝදර සහෝදරියන් කීර්තිමත් සංගීත ගුරුවරුන්. කුඩා කළ සිට මේ අභාෂය ලබාගත් රොමේෂ් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින් සමස්ත ලංකා පාසල් ‘හාර්මෝනියම්‘ තරගයෙන් නොකඩවා පස් වතාවත් ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබෙනවා. එසේ සංගීත ජීවිතය ආරම්භ කළ ඔහු මීට වසර හයකට පෙර ‘රොමේෂ් විත් ටියුන්ස්‘ නමින් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අද වනවිට රොමේෂ් පමණක් නොවෙයි ඔහුගේ සංගීත කණ්ඩායමත් ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී බවක් එක් කිරීමට සමත් වෙලා. පසුගියදා අන්තර් ජාලයේ රොමේෂ් විත් ටියුන්ස් සංගීත කණ්ඩායම පිළිබඳව නොයෙකුත් ආරංචි පැතිරගියා. මේ ගැන දැනගන්නත් එක්ක අපි රොමේෂ්ට කතා කළා. කවදත් මාධ්‍ය සමඟ සුහදව කටයුතු කරන රොමේෂ් අලුත්ම ආරංචිය මුලින්ම රසඳුනට කිව්වා.
‘‘මම ඉපදුණේ කඩුගන්නාවේ. පාසල් ගියේ කිංස්වුඩ් විද්‍යාලයට. මගේ තාත්තා කේ. එන්. සුගතපාල. අම්මා සුනීතාද සිල්වා. අයියා උෂාන් සුගතපාල. අක්කා ඩිලානි සුගතපාල. අපේ පවුලේ විශේෂත්වය තිබෙන්නේ මේ හැමෝම සංගීත ගුරුවරු.‘‘
සංගීත පවුලකින් හැදී වැඩී එන රොමේෂ්ට සංගීතය කියන්නේ නුහුරු දෙයක් නෙවෙයි. කුඩා කළ සිට මවුපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ අභාෂයෙන් සංගීත ගමනට අත් පොත් තබන ඔහු කඩුගන්නාව කනිෂ්ට විද්‍යාලයට වගේම කිංස්වුඩ් විද්‍යාලයටත් සිය සංගීත හැකියාවෙන් කීර්තියක් ගෙන දෙන්න සමත් වුණා.
‘‘අපේ පාසලේ තිබුණ හැම සංගීත වැඩසටහනකටම මම ඉදිරිපත් වුණා. ඉන් ජයග්‍රහණ රැසක් පාසලට ගෙනත් දුන්නා. එහි ප්‍රතිපලයක් විදියට තමයි සමස්ත ලංකා පාසල් ‘ හාමෝනියම්‘ තරගයෙන් නොකඩවා පස් වතාවක් ජයග්‍රහණය කරන්න සමත් වුණේ.‘‘
එතැනින් නොනැවතුණ මෙම ආධුනික ශිල්පියා කාලයත් සමඟ තමන්ගේම ගීත කිහිපයක් ගායනා කළා.
‘හිතුමතේ, ඔබ, සඳකොමළි‘ නමින් ගී තැටි තුනක් කළා. ඇත්තටම මම රසිකයන් අතර ජනප්‍රිය වුණේ දිගු දෑස දුටුවාද කියන ගීතයත් එක්ක. ඊට පස්සේ ‘බලා ඉන්නම්, සිනාසෙන්න බෑනේ, හුස්ම වගේ, හමුනොවෙනා‘ ගීතත් ඉක්මනින් ජනප්‍රිය ගීත බවට පත්වුණා.
‘රොමේෂ් විත් ටියුන්ස්‘ නමින් ඔහු ආරම්භ කළ සංගීත කණ්ඩායමද ටික කලෙකින් මෙරට කණ්ඩායම් සංගීතයේද නොමැකෙන නාමයක් තබන්නට සමත්විය.
‘‘මට කුඩා කාලයේ ඉඳලා ආසාවක් තිබුණා බෑන්ඩ් එකක් කරන්න ඕනේ කියලා. ඒ අනුව මීට අවුරුදු හයකට කලින් තමයි ‘රොමේෂ් විත් ටියුන්ස්‘ බෑන්ඩ් එක පටන් ගත්තේ. කෙටි කාලයක් තුළ අපිට හොඳ ඉල්ලුමක් තිබුණා. දිගින් දිගට වැඩ එන්න ගත්තා. අපේ ප්ලේයර්ස්ලා හරි උනන්දුවෙන් වැඩ කළා. ඒ අයගේ කැපවීම නිසා හොඳ ගමනක් එන්න පුළුවන් වුණා.‘‘
එහෙත් පුසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල සහ විවිධ පුවත්පත්වල ප්‍රචාරය වුණේ රොමේෂ්ගේ බෑන්ඩ් එකේ ශිල්පීන් කිහිප දෙනෙක් ඉවත් වෙලා කියන ආරංචියයි. එම ආරංචියත් සමඟ ඒ ගැන විවිධ කතා පවා පළවෙන්න ගත්තා.
‘‘ඒ අයින් වුණ අය බෑන්ඩ් එකට හොඳ සේවයක් කරපු දක්ෂ අය. හැබැයි අයින් වුණේ ඔවුන්ගේ පෞද්ගලික කාරණාවලට. මාත් එක්ක කතා කරලා තමයි ඉවත් වුණේ. කවුරු වුණත් තමන්ගේ පෞද්ගලික දේවල් වෙනුවෙන් ඔීනම දෙයක් කැප කරන්න සූදානම්. මම හිතන්නේ ඒ අය වුණත් ගත්තේ ඒ වගේ තීරණයක්. මාත් දැක්කා සමාජ වෙබ් අඩවිවල විවිධ කතා ප්‍රචාරය වෙනවා. ඒ වුණාට ඇත්ත කතාව දන්නේ ඒ ඉවත් වෙලා ගිය අයයි මමයි විතරයි. අපි අතර අදටත් එදා වගේම ඒහොඳ හිත තිබෙනවා.
මේ සිද්ධියත් එක්ක බෑන්ඩ් එකට වැඩ බාරදුන්න අය ඉන්නේ කුතුහලයෙන්. බෑන්ඩ් එක අවුල් වෙලාද කියල සැකයක් ඇතිවෙන්න අරන්.
මටත් ඕන වුණා වෙනසක් කරන්න. ඒ අය ගියාට පස්සේ මම ඒ පුරප්පාඩුවලට ශිල්පියෝ අරන් අලුත් වෙනසක් කරගත්තා. මේ බෑන්ඩ් එක කැඩෙන්නේ හෝ නතර වෙන්නේ රොමේෂ් සුගතපාල නතර කළොත් විතරයි. එහෙම නැතුව බෑන්ඩ් එක බාර ගත්ත කිසිම වැඩක් අතපසු කරන්නේ නැහැ. එහෙම කරළත් නැහැ.‘‘
මේ ආරංචියත් එක්ක රොමේෂ්ගේ ජනප්‍රියත්වයට මොකද වෙන්නේ ප්‍රේක්ෂකයන් තුළ කතා බහක් ඇති වෙලා. මේ දෙයින් රොමේෂ්ට දිගු ගමනක් යන්න බැරි වේවිද ? රසිකයෝ කතා කරන්න අරන්.
‘‘මම යූ ටියුබ් එකෙන් ගායන කේෂ්ත්‍රයට ආව ශිල්පියෙක් නෙවෙයි. ගුවන්විදුලියේ, රූපවාහිනියේ ගීත ප්‍රචාරය වෙලා, පත්තරවල ලිපි ගිහින් ජනප්‍රිය වුණ ශිල්පියෙක්. ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ ජනප්‍රියත්වයට හානියක් කරන්න පුළුවන් කියලා. මම මේ ගමන පටන් ගත්ත දවසේ ඉඳලා මාධ්‍ය කේෂ්ත්‍රයෙන් පුදුම සහයෝගයක් ලබාදුන්නේ. අද වුණත් ඒ අය මම ගැන කතා කරනවා. හැම දේකදිම මාත් එක්ක ඉන්නවා. මම මෙය අවස්ථාවක් කරගන්නවා සියලුම මාධ්‍යවලට ස්තූතිය පුදකරන්න. මම මේ වෙලාවේ පුංචි ඉල්ලීමක් කරනවා මාධ්‍යවලින් මම ඔබ වෙනුවෙන් ඕනම වෙලාවක ඉන්නවා. ඒ නිසා මටත් කතා කරලා එවැනි දේ පළ කරනව නම් එය මටත් ලොකු උපකාරයක් කියලා. කෙනෙක් යම් ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඉන්න විට කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හිතුමතේ යම් යම් දේවල් ප්‍රචාරය කර ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිරූපය බිඳදමන්නේ නම් එය එක් පැත්තකින් එම තැනැත්තාට කරන ලොකු හානියක්.
මෙවැනි දේ වුණා කියල මම වැටෙන්නේ නැහැ. මාව වට්ටවන්නවත් බැහැ. මාව ඇසුරු කළ ඕනෑම කෙනෙක් දන්නවා රොමේෂ් සුගතපාල කවුද කියලා. මොකද අද මම මෙතන ඉන්නේ මගේ දක්ෂතාවය සහ රසිකයන් නිසා. මම යළිත් වරක් මගේ රසිකයන්ට කියනවා ඔබ වෙනුවෙන් මම බාර ගත්ත කිසිම වැඩක් කවදාවත් ආ පස්සට හරවන්නේ නැහැ කියලා. ‘‘
‘මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ‘----රොමේෂ් එහෙම හිතනවා ඇති. අපි ඔහුගේ කතා බහට එහෙම හිතලා සමුදුන්නා.