මම රාමු­ව­ක් ඇතුළේ හිරවුණු නිවේ­ද­ක­යෙක් නෙමෙයි | Page 2 | සිළුමිණ

මම රාමු­ව­ක් ඇතුළේ හිරවුණු නිවේ­ද­ක­යෙක් නෙමෙයි

වජිර ජයවර්ධන යනු මෙරට නිවේදන කලාව වෙනස්ම මානයකට ගෙන යන්නට වෙර දරන තරුණ මාධ්‍යවේදියෙක්.වසර දහඅටකට පෙර නිවේදකයකු ලෙසින් මෙරට නිවේදන කලාවට පිවිසුණු ඔහු හඬ කැවීම් ශිල්පියකු ලෙසත් අද වන විට ජනප්‍රියයි.හැකියා ‍රැසකින් පිරිපුන් වජිර සමඟ රසඳුන කළ සාක්චඡාවකි මේ.

වජිර නිවේදන ක්ෂේත්‍රය‍ට පිවිසෙන්නේ තුරුණු ශක්ති වේදිකාවෙන්..

ඔව්. 1999 තුරුණු ශක්ති පළමුවැනි රියැලිටි වැඩසටහනෙන් තමයි මාව නිවේදකයකු ලෙස මෙරට ජනතාව හඳුනාගන්නේ. මම එහි ජාතික මහා තරඟයේ හත්වැනි ස්ථානය ලබා ගන්නවා. මගේ පාසලවන වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේදීත් පාසල් මට්ටමින් නිවේදන කටයුතු කළත් සෘජුවම නිවේදන කලාවට පිවිසුණේ තුරුණු ශක්ති වේදිකාවෙන්.

ඉන් පසුවද රූපවාහිනියට සම්බන්ධ වන්නේ..

ජාතික රූපවාහිනියටත්, ගුවන්විදුලියටත් සම්බන්ධ වන්නේ ඉන් පසුව. මේ වනවිට රූපවාහිනියට සම්බන්ධ වී වසර 18ක් වෙනවා.

ඔබ අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා..

රයිගම් සහ රාජ්‍ය සම්මාන උළෙලවල හොඳම නිවේදකයා ලෙස අඛණ්ඩව හයවතාවක් නිර්දේශ වී දෙවතාවක් හොඳම නිවේදකයා ලෙස සම්මාන ලැබුවා.

ප්‍රවීණ නිවේදකයෙක් ලෙස නව පරපුරේ නිවේදක නිවේදිකාවන්ගේ භාෂා භාවිතය ගැන මොකද හිතෙන්නේ..

ඇත්තටම ඇතැම් එෆ්. එම් නාළිකාවල භාවිත කරන භාෂාව බොහොම ප්‍රාථමිකයි. ඔවුන් හරියට ගිරව් වගේ භාෂාව හසුරුවනවා. නමුත් මේ දේවල්වලට නිවේදක නිවේදිකාවනට පමණක් දොස් නැඟිය නොහැකියි. මන්ද අපේ රටේ උගත් බුද්ධිමත් ශ්‍රාවකයන් දැනගත යුතුයි එවැනි දේවල් නොඅසා ප්‍රතික්ෂේප කිරීමට. එහෙම කළොත් එවැනි නාළිකාත් ජනප්‍රිය දේම නොකර හොඳදේත් ශ්‍රාවකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට ලබා දීමට උත්සාහ කරයි.

ඒ නිසාද ඔබ ජාතික නාළිකාවකට සම්බන්ධවුණේ..

මම මුලින්ම සම්බන්ධවූයේ ජාතික රූපවාහිනියට. එම නාළිකාව ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවා ඔවුන් දෙන්නේ හොඳම දේ කියා. එසේම මෙම නාළිකාවෙන් දෙන දේවල්වල අන්තර්ගතය බොහොම පොහොසත්. ඇතැම්විට ආකර්ෂණීය බව අඩුවෙන්න පුළුවන්. එහෙත් ප්‍රේක්ෂකකයන් අපවටා සිටිනවා.

බොහෝ අය කියනවා ඔබ නිවේදනයේදි එක්තරා පරාසයකට කොටු වූ නිවේදකයෙක් කියා. ඒ ගැන මොකද හිතන්නේ...

එම අදහස බොහොම නිහතමානීව මම ප්‍රතික්ෂේප කරනවා. මොකද දිවුල්ගනේගේ නිල් දියවර වැඩසටහන වගේම බන්දු සමරසිංහගේ 'බන්දු ලයිව් ඉන් කොන්සර්ට්' එකේ නිවේදනය කරන්නෙත් මම. ඒ වාගේම රූපවාහිනියේ රිදම් චැට් සහ මියුරු කල්පනා වැඩසටහන්ද, රජත හා ස්වර්ණ පුස්තක සම්මාන සහ සාහිත්‍ය සම්මාන උළෙලවල් නිවේදනයටත් මට ආරාධනා ලැබෙනවා. ඒ නිසා එක රාමුවකට කොටු වු නිවේදකයෙක් කියා මාව හඳුන්වන්න බැහැ.

ඔබ ක්ෂේත්‍රයේ අනුගමනය කරන චරිත තිබෙනවාද..

මම නිවේදන කලාවට පැමිණිදා සිටම හේම නලින් කරුණාරත්න සහ සමන් අතාවුදහෙට්ටි යන ප්‍රවීණයන් දෙදෙනා ම අනුගමනය කරනවා. මට මතකයි මම නිවේදකයකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ඔවුන් දෙදෙනා මෙහෙයවන වැඩසටහන්වලට ගිහින් ඔවුන් නිවේදනය කරන ශෛලීන් සහ අලුත් වචන ලියා ගන්නවා. බුද්ධදාස විතානාච්චි සහ පාලිත පෙරේරා යන ප්‍රවීණ නිවේදකයන් දෙදෙනා මැදිරි නිවේදනය කරන ආකාරයට මා කැමැතියි. විශේෂයෙන් කියන්න ඕනෑ හේම නලින් කියන නිවේදකයා දක්ෂ නිවේදකයෙක් වගේම ගරු කළ යුතු පුද්ගලයෙක්. ඔහුගේ ප්‍රාසාංගික බව සහ ප්‍රේක්ෂකාගාරය පාවිච්චි කරන අයුරු සිත් ගන්නා සුළුයි.

මේ අයගෙන් ඔබ වැඩිපුරම අනුකරණය කරන චරිතය කවුද..?

කිසිම චරිතයක් අනුකරණය කරන්නේ නෑ. මම මටම ආවේණික ක්‍රමයක් ගොඩනගාගෙන සිටිනවා. ඒ නිසාම තමයි රාජ්‍ය නාට්‍ය උළෙල, රජත පුස්තක, ස්වර්ණ පුස්තක වැනි විදග්ද සමාජය නිරූපණය කරන අවස්ථාවන් මම නිවේදනය කරන්න ලැබෙන්නේ.

එෆ්. එම්. නාළිකා ප්‍රතික්ෂේප කළත් ඔබත් එෆ්. එම් නිවේදකයෙක් ලෙස කටයුතු කරනවා ..

මම සිත එෆ්. එම් නාළිකාවේ සිත්තම් රෑ වැඩසටහන කරනවා. එහි මම අරමුණුකරගෙන ඉන්න ශ්‍රාවකයා එම වැඩසටහනට සවන් දෙනවා කියා ලැබෙන ප්‍රතිචාර වලින් තේරෙනවා.

හඬ කැවීම් කලාවේ ඔබගේ නම මුලින්ම කියැවෙනවා. ඒ ගැන කතා කරමුද..

මම හඬ කැවීම් ශිල්පියෙක් , වෙළෙඳ දැන්වීම් හඬ කැවීම් ශිල්පියෙක්. හඬ කැවීම් කලාව හැම කෙනකුටම කරන්න අමාරුයි. එනම් පැහැදිලි හඩ, උච්චාරණය, උච්චාරණයේ තියෙන නිවරැදි බව අවශ්‍ය පණිවුඩේ තියෙන වටිනාකම සියුම්ව ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒම මෙවැනි වගකීම් නිසිලෙස ඉටුකරන නිසයි මම වෙළෙඳ දැන්වීම් නිවේදනයට නමක් දිනාගෙන සිටින්නේ.

ඔබ පූර්ණකාලීනව නිවේදකයකු ලෙසද කටයුතු කරන්නේ..

නැහැ. මම ශ්‍රි ලංකා විශම්කොම් ටෙලිකොම් ආයතනයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු. ඒ සඳහා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් කර තිබෙනවා.

රංගනයටත් සම්බන්ධ වුවා නේද..

රංගන ශිල්පියෙකු ලෙස චරිතාංග නළුවෙක් නෙමෙයි මම. අමරදේව මාස්ටර් පවා ඇතැම් අවස්ථාවල චිත්‍රපටවලට ගීත ගායනාකරන විට රඟපා තිබෙන අවස්ථා තිබෙනවා. ඒ වගේ මමත් නිවේදකයකුගේ භූමිකාවක් දේදුනු ආකාසේ චිත්‍රපටයට රඟපා තිබෙනවා.

නව පරපුරේ නිවේදක නිවේදිකාවන් වෙනුවෙන් යමක් කළ යුතු යැයි සිතෙන්නේ නැද්ද..

ඇත්තටම මම මගේ දැනුම නවකයන්ට ලබා දෙන්න ඉතාම කැමැතියි. දැනට අවුරුද්දකට කලින් නොමිලයේ නිවේදන වැඩමුළුවක් පැවැත් වූවා. එය මාස හයක කාලයක් පැවැත්වුවා.කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවානම් මම කැම­ැතියි මගේ දැනුම නොමිලයේ ලබාදෙන්න.

මේ සියලු දේ එකට කරගෙන යන එක අපහසුවක් නෙමෙයිද..?

ටිකක් අපහසුයි. ඒ සඳහා ටෙලිකොම් ආයතනයෙන් මට සහාය ලැබෙනවා. ටෙලිකොම් ආයතනය තමයි මගේ සාර්ථකත්වයේ රහස.                       

 

Comments