රාත්‍රී හතට හිත ළඟ රැඳුණු සොඳුරු සන්නිවේදකයා | සිළුමිණ

රාත්‍රී හතට හිත ළඟ රැඳුණු සොඳුරු සන්නිවේදකයා

ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍යයෙන් ඔහු ජනප්‍රිය වූවේ ඔහුටම ආවේණික කතාව සහ ඉදිරිපත් කිරීමේ රිද්මය නිසාය. ඒ සියල්ල නිසා ජනතාවට ඔහු ළෙන්ගතු චරිතයක් වූයේය. ඔහු වෙන කවුරුත් නොව පසුගිය(05)වැනිදා අප අතරින් සමුගත් හේම නලින් කරුණාරත්නයි.

හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මිය යනවිට පනස් පස්වැනි වියෙහි පසුවු හේම නලින් අපේ වරිගයේ සගයෙකි.ඔහුගේ වියෝව අපේ රටට, අපේ මාධ්‍ය කලාවට සුවිශාල අඩුවකි.

මතුගම, හොරවල ප්‍රදේශයේදි උපත ලද හේම නලින් පස්වැනි ශ්‍රේණිය දක්වා පාසල් ගියේ මතුගම සාන්ත මරියා විදුහලටය. පස්වැනි පන්තියෙන් පසුව කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වු ඔහු උසස් අධ්‍යාපනය දක්වා එහි අධ්‍යාපනය හැදෑරීය.

උසස් පෙළට විද්‍යා විෂයයන් හැදෑරුවත් 80වසරේදි රාජකීය විද්‍යාලයේ දක්ෂතම කලාකරුවා බවට පත්වූයේ ඔහුයි. හේම නලින් 1983 දී ජාතික රූපවාහිනියට සම්බන්ධ වන්නේ වැඩසටහන් නිෂ්පාද‍කයෙක් වන පරමාර්ථයෙන් වුවත් 1983 දී අහම්බයෙන් කියන්නට සිදුවූ වෙළෙඳ දැන්වීමක් හේතුවෙන් ඔහුගේ ජීවිතය කනපිට පෙරළුණේය.

'ප්‍රවේසම් වන්න ,අතහැර දමා තිබෙන පාර්සලයක් බෝම්බයක් විය හැකියි'. එවැනි යමක් දුටු වහාම අහවල් අංකයට කියන්න ඔහු රූපවාහිනියෙන් කී පළමුම වදන් පෙළ මෙයයි. ඒ හඬත් සමග මතුවූ හේම නලින් පසුව ජාතික නාළිකාවේ 2000 වසර දක්වාම වැඩසටහන් රැසකට තම හඬ මෙහෙයවීය. 9.05 ඒ අතර අතිශයින් ජනප්‍රිය වැඩසටහනකි. ඉන් අනතුරුව ඔහුගේ නවාතැන්පොළ වූයේ ස්වර්ණවාහිනී නාළිකාවයි. එහිදී 'සජීවි අට' හෙවත් live@8 ඔහු හඳුන්වා දුන් නවතම වැඩසටහනයි.

එය මුළු මහත් ශ්‍රී ලාංකේය රූපවාහිනී නරඹන්නන් ඉතා ආදරයෙන් වැළඳගත් රූපවාහිනී වැඩසටහන විය. ඔහු නිතරම කී දෙයක් වූයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස තමන්ට වැඩ පෙන්වන්නට හැකි වූයේ ස්වර්ණවාහිනියෙදී බවයි. එතැනිනුත් නොනැවතුණු ඔහු හෙරිටේජ් ටී.වී. සමඟ සම්බන්ධ විය. එමගින් මෙරට ප්‍රේක්ෂකයන්ට ලෝකයේ සිදුවන දුර්ලභ සිදුවීම් ගෙන එන්නට උත්සාහ දැරීය. වසර 17ක් ජාතික රූපවාහිනියේත්, වසර දහයක් ස්වර්ණවාහිනියේත්, වසර තුනක් හෙරිටේජ් ආයතනයේත් සේවය කර නැවතත් උපන් ගෙය වන ජාතික රූපවාහිනියට 2017මාර්තු 21 සම්බන්ධ වන්නේ 'හිත ළඟ හත 'වැඩසටහනට එක්වෙමිනි.

'අපිට ඕන වුණා ජාතික රූපවාහිනියෙන් රාත්‍රි හත, අට වේලාව තුළ අලුත් වැඩසටහනක් කරන්න. එයට හේම නලින්ට ආරාධනා කළ විට ඔහු නැවතත් වසර දාහතකට පසුව ජාතික රූපවාහිනියට පැමිණියේ බොහොම සතුටෙන්.

'හිත ළඟ හත' නම දැමීමටත් මුල්වුණේ හේම නලින්. ලෝකයේ සිදුවන විශේෂ සිදුවීම් සහ කලාකරුවකු සම්බන්ධ කරගෙන කළ එම වැඩසටහන ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් වුණා වගේම හේමෙටත් නැවතත් නිවේදන කලාවට ආසාවක් ඇතිවුණා.

ඇත්තටම ඔහු සමග වැඩ කිරීම පුදුම පහසුවක්. ඔහුගේ ඉදිරිපත් කිරීමේ විලාශය හරිම සිත්ගන්නා සුලු වගේම කිසිම දවසක එකම වචනය දෙවැනි වතාවට කියන්නේ නැහැ. ඒ තරමටම හරිම පහසුයි ඔහු සමග වැඩ කිරීම.

අපේ අවසාන වැඩසටහන කළේ මේ වසරේ මාර්තු විසිතුන. වසරක් පුරා වැඩසටහන් පනස් දෙකක් ඉදිරිපත් කළා. පුද්ගලයකු වශයෙන් ඔහු සතු හොඳ ගතිගුණ සදා අපේ මතකයේ රැඳේවි 'යැයි ජාතික රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ සුමිත් සී. දිසානායක මහතා අප සමග පැවසීය.

මිය යන විට පනස්පස්වැනි වියෙහි පසුවු හේම නලින්ගේ ආදරණීය බිරිය කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනියකි. දියණියන් දෙදෙනකුගේ පියකු වන ඒ මහතාට අපි නිවන් සුව පතමු.

 

 

Comments