ගොඩක් අය කිව්වේ මගේ ආටි­කල් එකක් ගියේ නැත්තේ බුදු­ස­රණ පත්තරේ විත­රයි කියලා | සිළුමිණ

ගොඩක් අය කිව්වේ මගේ ආටි­කල් එකක් ගියේ නැත්තේ බුදු­ස­රණ පත්තරේ විත­රයි කියලා

“ඉන්දිකා උපමාලි. 2018 රයිගම් ටෙලි සම්මාන උලෙළේ වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ ඇයයි. ගායිකාවක මෙන් ම රංගන ශිල්පිනියක ලෙස ඇය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනා ගැනීමට සමත් වුණා. රසඳුන පත් ඉරුවක් වෙන්වන්නේ ඇයගේ අලුත්ම තොරතුරු ඔබට කියන්නටයි.

ඉන්දිකා මොනවද මේ දිනවල අලුත්ම වැඩ කටයුතු?

අලුත් වැඩ කටයුතු කිහිපයක් ම කරගෙන යනවා. මේ මාසයේ (ජූනි) පැවැත්වීමට නියමිත ‘මකරන්ද’ ප්‍රසංගය සඳහා මේ දිනවල සූදානම් වෙනවා. ඒ වගේ ම ලබන වසරේ මුල් මාසයේ කිරීමට බලාපොරොත්තු වන මගේ ම ඒකපුද්ගල ගී ප්‍රසංගයෙහි වැඩ කටයුතු සඳහා ද සූදානමින් ඉන්නේ. මෙහිදී මගේ සහ මගෙන් අධ්‍යාපනය ලබන සිසුන්ගේ ගීත කිහිපයක් වගේ ම විශේෂයෙන් ම මා මෙතෙක් කළ ගීත හා නවතම ගීත කැටිවූ සංයුක්ත ගීත තැටියක් එදිනට එළිදැක්වීමට බලාපොරොත්තු වනවා.

මෙවර රයිගම් සම්මාන ‍උලෙළේ හොඳම ගායිකාව බවට පත්වුණේ ඔයා. ඒ ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. මොකද මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන සිටි නිර්මාණයකට තමයි ඒ නිසි ඇගයීම හිමි වුණේ.

සම්මානයට ‍පාත්‍රවූ ඒ ගීතය පිළිබඳවත් කතා කරමු?

‘සී රජ’ කියන ටෙලිනාට්‍යයේ පසුබිම් ගීත ගායනයට තමයි මෙවර රයිගම් ටෙලිස් හොඳම ගායිකාව ලෙස මා ඇගැයීමට පාත්‍ර වුණේ. ගොඩක් මහන්සි වුණු නිර්මාණයක්. මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළ සමන්ත පෙරේරා සහ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී මහත්වරු දෙදෙනාට ද මේ සම්මානයේ අයිතිය හිමියි.

ඒ අභියෝගාත්මක ගායනය සම්මානයට පාත්‍රවීම සඳහා ඔබේ රංගන ප්‍රතිභාව ද බලපෑවා යැයි පැවසුවහොත්?

අනිවාර්යයෙන්ම... ඔබේ පැනයට මම සියයට සියයක් ම එකඟ වෙනවා. ඔබ කීවා වගේ මා මෙතෙක් ගායනා කළ සියලු ගායනාවන්ට වඩා මෙය හාත්පසින් ම වෙනස්වූ අභියෝගාත්මක ග‍ීතයක් කියන්නට පුළුවන්... මොකද මෙහි ගායනය වගේ ම නිර්මාණයට‍ අදාළ අභ්‍යන්තර මනෝභාවයන් එළි දැක්වීමට මට පැවරුණා... එය චරිතාංග ගායනයක්... ඉකි ගසමින්, හඬමින් ගීතය ගායනා කළ යුතු වුණා. එය ව්‍යාජ අභිනයක් නොවී අව්‍යාජව ඉදිරිපත් කළ යුතු වුණා. එය තරමක අභියෝගාත්මකයි. නමුත් ‍මගේ ඇති රංගන දක්ෂතාවය නිසාම ඒ අභියෝගයට සාර්ථකව අභියෝග කරන්නට මට හැකියාව ලැබුණා...

මේ වනවිට පසුබිම් ගීත ගායනා කොපමණ ප්‍රමාණයකට ඔබ දායක වෙලා තිබෙනවාද?

ටෙලිනාට්‍ය හා චිත්‍රපට නිර්මාණ සඳහා මගේ දායකත්වය ලබා දීලා තිබෙනව. ඉන් බහුතරයක් ටෙලිනාට්‍ය ගීත... චිත්‍රපට 4 – 5 කට ආසන්න ප්‍රමාණයක්. සමස්ථයක් විදිහට ගත් කල ගායනා අංශයෙන් පමණක් සම්මාන එකොළහකින් ඇගයීමට පාත්‍රවුණා. මෙවර ‘රයිගම් ටෙලීස්’ සම්මානය හිමිව‍ූ තෙවැනි අවස්ථාව...ඊට අමතරව සුමති, සිග්නිස්, රාජ්‍යය සංගීත, ජනාධිපති වැනි සම්මාන ‍‍උළෙලවල් කිහිපයකදී මා ඇගයීමට ලක්වුණා.

ඔ‍බේ ඉදිරි නිර්මාණ පිළිබඳවත් දැන ගන්නට කැමැතියි?

මෙහෙමයි. අලුතින් පසුගිය දිනවල ගීත කිහිපයකට දායක වෙන්න ලැබුණා. නිලාර් කාසිම් ගේ ගේය පද රචනයෙන් හා මහින්ද බණ්ඩාර සංගීතවත් කළ නිර්මාණයකට වගේ ම රත්නශ්‍රී විජේසිංහයන්ගේ රචනාවකට ‍රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ තවත් නිර්මාණයකටත් අශෝක හඳගමයන්ගේ අලුත්ම නිර්මාණයක් ඇතුළු නිර්මාණ ත්‍රිත්වයකටම මා සම්බන්ධ වුණා. වෙනස්ම ශෛලියේ ගීත කිහිපයක්. ඒ වායේ රූප රචනා මේ දිනවල කිරීමට සූදානම් වෙනව. එය නිර්මාණය වූ ගමන් නුදුරු දිනකදී මගේ රසිකයන්ට රසවිඳීමට හැකියාව ලැබේවි.

ඔබ මුලින්ම ක්ෂේත්‍රයට පැමිණි මුල් අවදිය පිළිබඳ සිහිපත් කරමුද?

89 වසරේ අග 90 වසරේ මුල් අවදියේදී කේමදාස මාස්ටර් ගේ ‘ඔපෙරාවෙන්’ තමයි මගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ. ඉන්පසුව එතුමන්ගේ ගීත කිහිපයකටම මට දායක වෙන්නට ලැබුණා.

ඉන්දිකා උපමාලි කියන්නේ කේමදාස ශූරීන් මෙරටට තිළිණ කළ අපූරු ගෝලයෙක්?

ඇත්තටම ඉන්දිකා උපමාලි කියන චරිතය අද දෙපයින් නැඟී සිටින්නේ එතුමන්ගෙන් ලැබූ ගුරුහරුකම් නිසා කියලයි මා අදටත් කියන්නේ. හැමදාමත් එතුමන්ට ලොකු වටිනාකමක් දීලයි කතා කරන්නේ...

ඒ වගේ ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන්ගේ සිට මට ගුරුහරුකම් ලබාදුන් ඒ ඇදුරුතුමන්ලා එදා දුන් ඒ ඥාන සම්භාරය අද පරපුරට ලබාදීමට හැකිවෙලා තියෙනවා‍.

රංගන ශිල්පිනියක ලෙසත් ඔබ ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවනවා...

ඉන්දිකා උපමාලිව වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගේ ආදරයට කතාබහට ලක්වෙන්නේ මුලින් ම රංගන ශිල්පිනියක් විදිහටයි. 1994 දී තමයි ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘ධවල කේතු’ රූපගත කිරීම් සඳහා මා සම්බන්ධ වෙන්නෙ. එය විකාශය වෙලා පළමු රැයෙන්ම පුවත්පත් වලින් මාව හොයාගෙන ආවා.

මට මතකයි ඒ දවස්වල ගොඩක් දෙනා කියලා තිබුණා ඉන්දිකාගේ ‘article’ එකක් ගියේ නැත්තේ බුදුසරණ පත්තරේ විතරයි කියලා. ඒ තරමට ‘ධවල කේතු’ ප්‍රේක්ෂකයන් අතර ඉතාමත් ජනප්‍රිය වුණා. අදටත් රංගන ශිල්පිනියක් විදිහට ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය එලෙසම තිබෙනවා.

ගායනය හා රංගනය යන ක්ෂේත්‍ර‍යන් දෙකෙන් ඔබ වඩා තෘප්තිමත් වෙන්නේ?

වඩාත් තෘප්තිමත් වෙන්නේ ගායනය පැත්තෙන්... නමුත් අද වනවිට මගේ ගායනය ඇතුළේ ඉන්න රංගන ශිල්පිනිය ද ජීවිත් කරන්නට මම උත්සාහ ක‍රල තිබෙනවා. මගේ ගායනයෙහි අතිවිශේෂත්වයක් ලෙස මා දකින්නේ එයයි.

 

Comments