සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

මේ තරම් කාලයක් නුඹ කොහේද හිටියේ. අනේ මට එක සැරයක් කියන්න. සත්තයි නුඹයි මගේ ජීවිතයට වසන්තය රැගෙන ආ දඟකාරිය. කවදාක්ම නැහැ මේ තරම් මිහරක් වින්දේ මගේ ජීතියට පුරාවට. මල් සුවඳ නෑ දැන්.. ඔබෙන් සුවඳයි මං. ඒ තරම් දැන් මම නුඹට ආදරෙයි සඳවතිය. මල් වලින් එන සුවඳට වඩා, හමා එන සුළගේ සිසිලට වඩා, කුරුල්ලන්ගේ කිචි බිචියට වඩා සුන්දරයි, සුවඳයි, සිසිලසයි නුඹව මට. මම ද ඔබ වී ඔබ ද මම වී මම ද යළි ඔබ වී.. ඔබ ද යළි මම වී.. අපිම අපි වී හිඳිමු සසර ගෙවෙනා තුරාවට. විරහා ගීත නිතර ඇසෙන පසුබිමක ඊට හාත්පසින්ම වෙනස්ව සිය පෙම්වතිය නිසා ජීවිතය සුවඳවත් කරගත් පෙම්වතෙකු ගැන කියැවෙන, ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාරවසම්ගේ පදවැල්වලට, කසුන් කල්හාර ජයවර්ධනයන්ගේ තනු නිර්මාණය හා සංගීතයෙන් හැඩ වූ වසත් මධුකර වීරසිංහ හඩින් ඔපවත් වූ ‘මල් මෙළෙක නෑ‘ ගීතය මේ දිනවල ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳව දැනගන්න අපි වසත් මධුකර වීරසිංහට කතා කළෙමු.

 

# වසත් කොහොමද ජීවිතේ ?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා

# ගම් පළාත ?

පන්නිපිටිය

# පාසල් ගියේ ?

කොළඹ ආනන්ද විද්‍යාලයට

# පාසලේ දී සංගීතය විෂයක් විදියට හැදෑරුවද ?

මම විෂයක් විදියට සංගීතය කළේ නැහැ. ඒත් පාසල් කාලයේ තිබුණු ගායන තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ රැසක් හිමිකර ගෙන තිබෙනවා.

# පාසලෙන් ඉවත් වුණාට පස්සෙ සංගීතය කළාද ?

ඒත් නැහැ.

# එතකොට කොහොමද ගායනයට යොමු වුණේ ?

මගේ තාත්තා ප්‍රවීණ කිවියෙක් වගේම මාධ්‍යවේදියකු වන නන්දන වීරසිංහ, අම්මා රම්‍යා ශ්‍රීයාණි පතිරණ, අයියා හිමත් සසධර වීරසිංහ. මගේ මවුපියන්ගෙන් ලැබුණු අභාෂයත්, අයියගෙන් ලැබුණු සහයෝගයත්, මගේ තිබුණු සහජ හැකියාවත් කියන සියලු දේ එකතු වෙලා ගායකයෙක් වෙන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා.

# ඔබේ ගමනට අතහිත දුන්නේ කවුද ?

මගේ මවුපියන් වගේම සහෝදරයා. ඒ වගේම කසුන් කල්හාර අයියත් මට ලොකු ශක්තියක් ලබාදුන්නා.

# අනාගත බලාපොරොත්තු මොනවද ?

හොඳ හරවත් ගීත කිහිපයක් රසිකයන් වෙත දීමයි.

මල් මෙළෙක නෑ දැන්.. ඔබෙන් විකසිතයි මං..

මල් සුවඳ නෑ දැන්.. ඔබෙන් සුසුවඳයි මං..

ආදරේ..// ආදරේ..//

ඔබෙන් දුටු මහා සාගරේ සරැලි අතරෙයි මං..

ගලා ගිය උණු කඳුළු ගංගා නතර වී..

හමා ගිය ළය සුසුම් දහරා ගල් ගැසී නැවතී..

ඔබට අවනත වී..

මල් මෙළෙක නෑ දැන්..

පමා වූවත් අමා සුව ඔබ ළඟ පිරී..

නිමා වේ ලද අවා ලතැවුල් හිත නිවී..

මම ද ඔබ වී ඔබ ද මම වී මම ද යළි ඔබ වී..

ඔබ ද යළි මම වී..

මල් මෙළෙක නෑ දැන්..

ගායනය - වසත් මධුකර වීරසිංහ
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනු නිර්මාණය හා සංගීතය - කසුන් කල්හාර ජයවර්ධන
රූප රචනා අධ්‍යක්ෂණය - හර්ෂණ ලාල් කුමාර

නුවන් කොඩිකාර

Comments