HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

සෙලීනා හොඳ බිරියක්, මවක් වීමට සිහින මවයි

යොවුන් ගීත ප්‍රිය කරන රසික පරපුරේ ආදරය දිනාගත් ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් යුවළ පසුගිය කාලය පුරාම ගත කළේ මනාප - අමනාප හිත්වලින්. එක් වතාවක මුළු හදවතින්ම පෙම් කළ මේ සුපිරි ගායක - ගායිකා යුවළ තවත් වතාවක අමනාපයෙන් වෙන්වී සිටියා.

හොලිවුඩ් පුරයෙන් ලැබුණු අලුත්ම ආරංචියකට අනුව නම් මේ වනවිට බීබර් - සෙලිනා දෙපසට වෙලා‍. දැන් සෙලිනා කල්පනා කරන්නේ තමන්ට සාර්ථකව විවාහ ජීවිතයක් ගත කළ හැකි පෙම්වතකු සොයා ගන්නේ කොහොමද කියලයි.

සෙලීනා, බීබර් සමඟ 2010 දී පෙමින් බැදුණා. ඉන් පසුව නොයෙකුත් හැල හැප්පීම් මැද්දේ ඔහු සමඟ කාලය ගෙවූ සෙලීනා, 2017 ජනවාරි මාසයේදී ‘ද වීක්එන්ඩ්’ නම් වූ සුපිරි ගායන තරුව සමඟ පෙම් කතාවකට මුල පිරුවා. (ගීත ලෝකයේ වීක්එන්ඩ් හැටියට හැඳින්වූව ද, මේ ගායකයාගේ සැබෑ නම, ඇබෙල් මැකෝනෙන් ටෙස්ෆේ) ඔහුගේ ඇසුරින් ද මිදුණු සෙලීනා මින් මතුවට හිතුමතේ පෙම් කරන්න යන්නේ නැතැයි පවසනවා.

“සෙලීනාට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ හොඳ සැමියෙකු එක්ක දීග යන්න. ඉන් පස්සෙ හොඳ මවක් වෙන්න” සෙලීනාගේ මිතුරු පිරිසක් එලෙස පැවසුවා.

 


කාන්ස් උලෙළ අඩි උස විරෝධයක්

කාන්ස් චිත්‍රපට උලෙළට පැමිණි සුපිරි හොලිවුඩ් නිළියකගේ හිතුවක්කාර වැඩක් ගැන පුවතක් හොලිවුඩ් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සුපිරි තරුව තමයි, ක්‍රිස්ටන් ස්ටුවර්ට්. ඇය කාන්ස් චිත්‍රපට උලෙළේ ජූරි සභිකාවක හැටියටත් කටයුතු කරනවා. පසුගියදා ඇය කාන්ස් උලෙළට ගමන් කළේ අඩි උස පාවහන් සහිතවයි. මේ සිනමා උලෙළට පැමිණෙන සියලුම නිළියන් ඇතුළු අනෙකුත් කලාකාරියන් අඩි උස පාවහන් පැළඳ සිටිය යුතුයි. එය සම්ප්‍රදායයක් හැටියටයි සිදුවන්නේ.‍

ක්‍රිස්ටන් ද මේ උලෙළට පැමිණියේ ඒ අයුරින්මයි. කාන්ස් උලෙළට රතු පලස මතින් ඇය පිය නගද්දී අවට රොද බැඳගෙන සිටි කැමරා ශිල්පීන් ඇගේ රුව කැමරා කාච වලට හසුකර ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූවා. ඒ අතරේ දී තමන්ගේ ගමන නතර කළ ක්‍රිස්ටන් වහාම පහත් වී තම අඩි උස පාවහන් යුගල ගලවා දමා නිරුවත් දෙපයින් ම ඇවිද ගෙන ගියා. ඉන්පසුව ඇය ප්‍රකාශ කළේ කාන්ස් උලෙළේ ‘අඩි උස පාවහන් පැලඳිය යුතුය’ යන ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම සඳහා තම පාවහන් යුගලය ගලවා දැම‍ූ බවයි.

 


ප්ලේබෝයි නිරූපිකාවට මරණ තර්ජන

ප්ලේබෝයි නිරූපිකාවක ලෙස ප්‍රසිද්ධ 24 වැනි වියෙහි පසුවන මාරියා ලිමාන්ට මරණ තර්ජන රැසක් එල්ල වී තිබෙනවා. යුක්රේනයේ උපන් මේ යෙ‍ෟවන නිරූපිකාව දැන් තිදරු මවක්. ඇය පවසන්නේ පසුගිය දින කිහිපය තුළ තමන් විනෝද චාරිකාවකට එක්වී සිටියදී මේ මරණ තර්ජන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබී තිබූ බවයි. තර්ජන එල්ල කරන්නේ නාඳුනන කාන්තාවක්ලු.

“මුලදී මම මේ තර්ජන ගණන් ගත්තෙ නැහැ‍.

ඉන් පස්සෙ තර්ජන එල්ල කරපු කාන්තාවට මම පැහැදිලි කළා, වැරදීමකින් මට මේ විදිහෙ තර්ජන කරන්නෙ කියල. ඒත් එයා මගේ අදහස්වලට එකඟ වුණේ නැහැ.

දිගින් දිගටම තර්ජන කළා. ඇත්තටම, එයාට ලොකු වැරදීමක් වෙලයි, ඔය විදිහට මට කරදර කරන්නේ” බියට පත් මාරියා ලිමාන් පැවසුවා.

මාරියාට මෙවන් තර්ජන එල්ල කෙරෙන්නේ ඇය කිසියම් පුද්ගලයකු සමඟ පවතින සබඳතාවක් නිසා යැයි පැවසෙනවා.

නාඳුනන කාන්තාවක් මේ පුද්ගලයාගේ පෙම්වතියක් යැයි සමහරු පවසනවා. මාරියාට තර්ජන එල්ලවීමට හේතුව එය විය හැකියි.

කෙසේ වෙතත් මේ ප්ලේබෝයි නිරූපිකාව ඒ කතාව ප්‍රතික්ෂේප කරනවා. “මම, මගේ පෙම්වතාත් එක්ක මාලදිවයිනේ නිවාඩුවක් ගත කළා. ඒක නම් ඇත්ත. මම ඊට වඩා මගේ පෞද්ගලික දේවල් හෙළි කරන්න කැමැති නැහැ” මාරියා තවදුරටත් පැවසුවා.

මේ සුරූපිනිය 2015 දී යුක්රේනයේ රූ රැජින තරග කිහිපයකින් ම ජය ලබා තිබෙනවා.


‘ඩිජිටල්’ රැවුල බෑමක්

හෙන්රි කැවිල් ගැන සඳහන් කළොත් සිනමා රසිකයන්ගේ හිතට එන්නේ ඔහු රඟපෑ සුපර්මෑන් ගේ චරිතයයි. නමුත් මේ කියන්න යන්නේ ළඟ ළඟම එන ‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටයේ රඟපාද්දී ඔහු ලද අත්දැකීමක්. ‘මිෂන් ‍ඉම්පොසිබල් - ෆෝල්අවුට්’ නම්වූ මේ අලුත්ම චිත්‍රපටයේ හෙන්රි රඟපෑවේ උඩු රැවුල වවාගෙනයි. ඊට කලින් ඔහු ‘ජස්ටිස් ලීග්’ චිත්‍රපටයේ රඟපෑවා. එහි රඟපාද්දී ඔහු, තම උඩු රැවුල කපා ගෙනයි රඟපෑවේ.

නමුත් ‘මිෂන් ඉම්පොසිබල් - ෆෝල් අවුට්’ හි දර්ශන රූගත කරමින් සිටිද්දී ඔහුට ‘ජ්සටිස් ලීග්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක යළි රඟපාන්නට සිදුවුණා.

ඒ චිත්‍රපටයේ රඟපාන්න නම් රැවුල කැපිය යුතුයි. ඒ වුණත් ‘මිෂන් ඉම්පොසිබල්’ වෙනුවෙන් රැවුල තිබිය යුතුයි. ‘ජස්ටිස් ලීග්’ අධ්‍යක්ෂවරයා කදිම යෝජනාවක් කළා. ‘ජස්ටිස් ලීග්’ දර්ශනවල රැවුල නොකපාම රඟන්නැයි ඔහු හෙන්රිට උපදෙස් දුන්නා. ඒ දර්ශන සංස්කරණය කරද්දී හෙන්රිගේ රැවුල ඉවත් කරන ලෙස ඔහු සංස්කරණ ශිල්පියාට උපදෙස් දුන්නා. ඒ උපදෙස් හරියටම හරි ගියා.

හෙන්රිගේ රැවුල කපා තිබුණේ ඩිජිටල් ක්‍රමයටයි.

 

Comments