සුබ මංග­ලම් ! 'අංජලී' | සිළුමිණ

සුබ මංග­ලම් ! 'අංජලී'

ප්‍රවීණ ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ ජීවිතයේ එක් සොඳුරු පැතුමක් පසුගිය දිනෙක ඉටු වුණා. ඒ ඔහුගේ ආදරණීය දියණිය පතිනියක ලෙස පතිකුලයට පිවිසීමයි. ආදරණීය පියෙකු ලෙස අසංක ඔහුගේ දියණියගේ සොඳුරු විවාහය පිළිබඳ අපිත් එක්ක කතා බහ කළා. ' මට මතක් වෙන්නේ මගේ දියණිය මගේ දෑතට වඩා ගත්තු පළමු වෙනි දවස.

එදා සිට අද දක්වා ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙමින් කාලයත් එක්ක මගේ සුරතල් පුංචි දියණිය ලොකු මහත් වුණා. ඇය දැන් මනාලියක වී පතිකුලයට පියනගලා. ජීවිතේ මොන තරම් වෙනසක් ගෙන දෙනවාද?. ඇත්තටම ඇය තවමත් මට මගේ පුංචි දියණියමයි. හරි සතුටක් හිතට දැනෙනවා.

ඇගේ විවාහයේ සියලු කටයුතු ඉතාම හොඳින් සාර්ථකව ඉටු වුණා. මම දියණියට නම තැබුවේ අංජලී ශ්‍රීමල්කා ලෙසයි. අංජලීගේ අත ගත්තේ කළණ ධම්පහළ පුතා. මේ දෙදෙනාගේ විවාහය සිදු වුණේ ආදර සබඳතාවකින්. දෙදෙනාම සේවය කළේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ. දැන් නම් දුව සේවය කරන්නේ නැහැ. දෙපාර්ශවයේම ආශිර්වාදය ඇතිව තමයි දෙදෙනාම විවාහ වුණේ.

අපි ඒ දෙන්නාගේ කැමැත්තට ඉඩ දුන්නා. මොකද ඔවුන් බුද්ධිමත් දරුවන්. ජීවිතේ ගැන තීරණ ගන්න ඔවුන්ට අපි ඉඩදිය යුතුයි. ඒ වගේම අපිත් ඔවුන් සමඟ ඒ දේවල් ගැන කතා බහ කළ යුතුයි. දුවගේ විවාහය ගැන ලොකු සතුටක් වගේම පුංචි දුකකුත් හදවතේ තියෙනවා. ඇයගෙන් හිස්වුණු මේ නිවෙසෙ පාළුයි. මටත් වඩා ඒ ගැන දැනෙන්නේ මගේ බිරියට. ඇයත් සමඟ තමයි අංජලී දියණිය කාලය ගතකළේ.

කොහොම වුණත් මගේ දියණිය ගියේ ඔවුන්ගෙම නව නිවහනකට. ඇයගේ අලුත් ජීවිතයට හිතහදාගෙන සතුටින් අපි සුබපතනවා. ඒ වගේම දුවගේ විවාහ උත්සවයට කලාලොවේ මගේ සහෝදර කලාශිල්පීන් හුඟ දෙනෙක් සහභාගි වුණා.ඒ හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. අපේ දියණිය පුංචි හුරතලෙක් සමඟ අපේ ගෙදරට එනතුරු අපි මඟ බලාගෙන ඉන්නවා.

Comments