සිනමා ශාලා­වට ප්‍රේක්ෂ­ක­යන් යළි කැඳ­වන්නී යශෝ­ධරා | සිළුමිණ

සිනමා ශාලා­වට ප්‍රේක්ෂ­ක­යන් යළි කැඳ­වන්නී යශෝ­ධරා

ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි සිනමා සම්මාන උළෙලක සමීපරූපයක් ඇඳේ. 2015 නොවැම්බර් මාසයේ දිනෙක කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සිග්නීස් වාර්ෂික සිනමා සම්මාන ප්‍රදානෝත්සවයයි ඉන්ද්‍රචාපගේ සමීපරූපයට අද එක් වූයේ.එහි මුඛ්‍ය දේශනයේ මාතෘකාව වී තිබුණේ සිනමා ශාලාවෙන් ප්‍රේක්ෂකයන් ඈත්ව යන්නේ මන්ද හෝ සිනමාශාලාවට ප්‍රේක්ෂකයන් යළි කැඳවන්නේ කෙසේද වැනි ප්‍රශ්නයක්ය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සිංහල චිත්‍රපට සඳහා ප්‍රේක්ෂක සහභාගීත්වය අඩු වැඩි වූ යුග පිළිබඳ ඩී.බී.නිහාල්සිංහ වාර්තාවෙන් හා චිත්‍රපට සංස්ථා සංඛ්‍යා ලේඛන ආශ්‍රයෙන් මෑත දශක කිහිපයේදී ප්‍රේක්ෂකයන් චිත්‍රපට නැරඹීමට සිනමාශාලාවට නොපැමිණීමට හේතු ද ඇතැම් චිත්‍රපට සඳහා විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳව ද එකී දේශනයෙන් තොරතුරු හෙළිවණු ඉන්ද්‍රචාපගේ සමීපරූපයේ සටහන්ව තිබිණ.

සිනමාව කලාවක් ලෙස මෙන්ම කර්මාන්තයක් ලෙස ද පවත්වාගෙන යාමට හෝ එහි තිරසාර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ ප්‍රේක්ෂකයන්ය. නිෂ්පාදනය වන සිනමා කෘති කෙතරම් කලාත්මක වූවත්, සිනමානුරූපී වූවත්, ප්‍රබුද්ධ වූවත් ඒවා නැරඹීමට සිනමාශාලවට නරඹන්නන් නොපැමිණෙන්නේ නම්, ඒ එන පිරිසට චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය මූලික පහසුකම් ඇති සිනමා ශාලා නොවේ නම්,සිනමා කලාවට අත්වන ඉරණම කෙබඳු ද යන්න පිළිබඳ සමීපරූපය ඉන්ද්‍රචාපට දකින්නට හැකිය. ආසන්න දශකයේ සිංහල සිනමාව කලාවක් ලෙස මෙන්ම කර්මාන්තයක් ලෙස ද විවිධ හැලහැප්පිලි, අභියෝග මැද ඉදිරියට ඇදෙන සමීපරූප ඉන්ද්‍රචාපට පෙනේ.

මෙරට සිනමාව කුමන දිශානතියකට රැගෙන යා යුතු ද, පෙරදා තිබූ ප්‍රේක්ෂාගාරය යළි කෙලෙස ගොඩ නැගිය යුතු ද වැනි ප්‍රශ්න හමුවේ චිත්‍රපට සංස්ථාවේ ක්‍රමෝපායන් ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසු නොවේ. කලාත්මක යැයි සැලැකෙන හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලද චිත්‍රපට පවා දින තුන හතරකින් හෝ සතියකින් දෙකකින් සිනමාශාලාවෙන් ගැළවී යන සමීපරූප ඉන්ද්‍රචාප දැක තිබේ. මෙවන් පසුබිමක ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා අතින් බොක්ස් ඔෆීස් (Box Office ) වාර්තා තැබූ බවත්, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ ඇතැම් චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන් නොපැමිණීමෙන් නිෂ්පාදකවරුන් චිත්‍රපට නිෂ්පාදනයට මුදල් ආයෝජනයට දුර්මුඛ වූ අයුරුත් ඉන්ද්‍රචාප දනී. මෑතම නිදසුන් වන්නේ ආදායම් වාර්තා තැබූ පත්තිනි හා සිනමා ශාලාවෙන් කෙටි කලක දී වීසිවුණු සක්කාරං යන චිත්‍රපටයි.

පසුගිය වසරේ ආදායම් වාර්තා තැබූ පත්තිනි අධ්‍යක්ෂණය කළ සුනිල් ආරියරත්න අධ්‍යක්ෂවරයා විසින්, ඊට වෙනස්, මෙරට ප්‍රේක්ෂකයනට සමීප තේමාවක් රැගත්, සිනමා කෘතියක් ලෙස වඩාත් කලාත්මක බවින් හා සිනමානුරූපී ගුණයෙන් යුතු බිම්බාදේවී හෙවත් යශෝධරා කැඳවන්නේ පත්තිනි හා සක්කාරං සඳහා ප්‍රේක්ෂකයන් දැක්වූ මිශ්‍ර ප්‍රතිචාර යුත් පසුබිමකය. සක්කාරං චිත්‍රපටයට මුදල් ආයෝජනය කළ නිෂ්පාදක එච්.ඩී.ප්‍රේමසිරිම යශෝධරාහි නිෂ්පාදක වීම මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. සක්කාරං අත් කොට ගත් ඉරණම යශෝධරාට ද අත්විණි නම්, මෙරට යහපත් හා කලාත්මක සිනමාවකට ආදරය කරන අර්ථපතියකු නැති වී යන්නට ඉඩ තිබිණ. එය නිසැක වශයෙන්ම මෙරට සිනමා කර්මාන්තයට ද කලාවට ද දැඩි බලපෑමක් කරනු නියතය.

එහෙත් සතුටට හේතුවන්නේ, යශෝධරා, චිත්‍රපට ශාලාවට ප්‍රේක්ෂකයන් විසාල වශයෙන් කැඳවනු ලබන සිනමා කෘතියක ලකුණු දැනටමත් පහළ කොට ඇතැයි යන සුබදායී ප්‍රවෘත්තියයි. එය සිනමා කලාවෙහි හා කර්මාන්තයෙහි ජයග්‍රහණයක සමීපරූපයකි. පළමු ප්‍රදර්ශන වාරයේ බොහෝ සිනමා ශාලාවන්හි ශාලාව පිරුණු House Full දර්ශන වාර්තා වනු ඉන්ද්‍රචාප දකී. අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නගේ යශෝධරා සඳහා මාධ්‍ය ඔස්සේ ලැබෙන මිශ්‍ර ප්‍රතිචාර ඉන්ද්‍රචාප දකින්නේ ඔහුගේ නිර්මාණ වඩාත් සිනමානුරූපී නිර්මාණ බවට පත් කරගැනීමට ධෛර්යය ලබා දෙන යහපත් විචාර ලෙසයි. පුද්ගලබද්ධ හෝ අන්තවාදී විචාර මැද යශෝධරා ප්‍රේක්ෂකයන් සිනමාශාලාවට කැඳවන්නී පල්ලවී සුභාෂ්ගේ රංගන ප්‍රභාව මෙන්ම සුනිල් ආරියරත්න අධ්‍යක්ෂවරයාගේ තිර රචනයෙහි ඇති සාහිත්‍යමය ගුණයෙන් පිරි ළයාන්විත සංවාද ද හේතු කොට ගෙන යැයි ඉන්ද්‍රචාපට හැඟේ. සිනමා ශාලාවෙන් ඈතට යමින් සිටි රසිකයන් යළි සිනමාහලට කැන්දා ගෙන ඒමේ අභියෝගයට මුහුණ දුන් නිෂ්පාදක එච්.ඩී. ප්‍රේමසිරිට මෙන්ම අධ්‍යක්ෂ සුනිල් ආරියරත්නට ද ඉන්ද්‍රචාපගේ ආචාරය. 

Comments