
උකුසු නෙතක හීසර ඇමිණී
රකුසු අතක තැලී තැලී ගිලිහී
හඬා වැටෙද්දී කුසුමක් නොයිඳුල්
අම්මේ නුඹ මට කුස දන් දුන්නා......
මල්හී විනිවිද ගිය ළය මඬලේ
දැවෙන තැවෙන තැන් තව තව රිදවා
නව නින්දා කඩු කිණිසි අමෝරා
සරදම් කෙරුවා මට දැනුණා......
ලොවේ කොතැන හෝ පියවරු නැතුවා
අම්මා වරු නැත දරුවන් වැදුවා
මා හින්දා කිරි බර උහුලා ලූ
පරම සත්‍යයයි මගෙ අම්මා.....
ගායනය- සුනිමල් තුෂාර
පදරචනය- සමන් චන්ද්‍රනාත් වීරසිංහ
සංගීතය- එච්.එම් ජයවර්ධන
උකුසු ඇස්වලින් නුඹ බිලි ගත්තත්, රකුසු අත්වලින් සියුමැලි නුඹ තැලි තැලී ගියත්, මගේ හඬ ඇහෙද්දි ඒ හැමදේම අමතක වෙලා නුඹ නුඹේ කුස මට දන් දුන්න කියලා මම දන්නවා අම්මේ. උකුසු නෙතක හීසර ඇමිණී, රකුසු අතක තැලි තැලී ගිලි හී, හඬා වැටෙද්දී කුසුමක් නොයිඳුල්, අම්මේ නුඹ මට කුස දන් දුන්නා. ඒ තරම් මහා කැපකිරීමක් කළ නිසා සත්තයි ලෝකය මොන දේ නුඹ ගැන කිව්වත් මට මගේ අම්මා නුඹ විතරයි අම්මේ.
මම දන්වා නුඹ පිරිමියෙකුට ළං වුණේ ආදරය විඳින්න කියලා. නමුත් ඒ පිරිමියා ආදරේ වෙනුවට අශාව ඉටුකරගෙන පැනල ගියත්, කවුරු සරදම් කළත් නුඹේ ඒ හැම වේදනාවක්ම, ගැරහුමක්ම පැත්තකට දාලා නුඹේ පුතුට ලෝකය දුන්නා. මා හින්දා කිරි බර උහුලා පරම සත්‍යයයි මගේ අම්මා. මේ ගීතයේ පදරචකය වන්නේ අපේ රටේ ඉන්න ප්‍රවීණ ගීත රචකයකු වන සමන්චන්ද්‍රනාත් වීරසිංහ මහතා. ඒ මහතා රචනා කළ අරුත්බර මෙන්ම ජනප්‍රිය ගීත අතරට එක් වුණ නවතම ගීතය වන ‘අම්මේ නුඹ මට කුස දන් දුන්නා‘ ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයකු වන සුනිමල් තුෂාරයි. මෙහි සංගීතය එච්. එම් ජයවර්ධන නම් වූ ප්‍රවීණ සංගීතඥයායි.
නුවර කුණ්ඩසාලේ කලාපුරේ කියන සුන්දර ගම්මානයේ උපන් සුනිමල් අරංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරද්දි විෂයක් ලෙස සංගීතය හදාරමින් ඉන් ජයග්‍රහන රැසක් හිමිකර ගන්නට සමත්ව තිබේ. ඉන් අනතුරුව බෙල්වුඩ්වල වගේම තරුණ සේවා සභාවෙන් ද වැඩි දුරටත් සංගීතය හදාරා ඇත. විවිධ ගීත කඳුරට සේවය ඔස්සේ ගායනා කරමින් තව තවත් සංගීතය දියුණු කරගත් සුනිමල් මේ වන විට පදිංචි වෙලා ඉන්නේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රාදේශයේ. මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක රැකියාවේ නියැළී සිටිමින් සංගීතය හදාරන ඔහුට මව්පියන්, බිරිඳ, දරුවන්, ගම් ප්‍රදේශයේ හිත මිතුරන් වගේම රැකියාව කරන ස්ථානයේ සියලු දෙනාගේම සහාය ලැබෙන බවත් ඒ හැම කෙනාටම සිය කෘතඥතාවය පළ කළේය.
ඡායාරූපය- තුෂාර ප්‍රනාන්දු