
අපි මේ දකින ඡායාරූප පෙළහි ඇති කැටයම් ප්‍රමාණය නෙළීමට කොතෙක් නම් කාලයක් යන්න ඇති ද? මෙම කැටයම් සියල්ල අපිළිවෙළකට නිවසේ මිදුලෙ පෙරළලා තියෙන අවස්ථාවක අපිට හමුවුණේ අහම්බයකිනි.
මෙහි නිමැවුම්කරු ඩී. එම්. තිලකරත්න මහතාගේ මුල් ගම කෑගල්ල ප්‍රදේශයේ. තිලකරත්න මහතා මෙම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වී ඇත්තේ තිලකෙ බාසුන්නැහේ යන නමිනි. අපි ඒ ගැන ඔහුගෙන් විමසා සිටියා... “මගේ මුල් ගම කෑගල්ල... මම මහවැලිය ආරම්භ කරන කාලයේ මේ පළාතේ වඩුවැඩ කර්මාන්තය සඳහා සම්බන්ධ වුණා... මට මේ ගමට එන්න මුලින්ම උදව් කළේ වන්නිනායක මුදලාලි. (අවුකන බණ්ඩයියා). එහෙම කාලයක් මුදලාලි ගාව නැවතිලා වැඩකරන ගමන් 88-89 භීෂණ කාලය පැවතුණා. මමත් ඒ කාලයේ ඒ කණ්ඩායම් වලට එක්වෙලා සංවිධානය විසින් පවරනු ලබන වැඩ කොටස් ඉටු කරමින් සිටියා. ඒත් අවසානයේ අපේ සංවිධානයේ සියලු දෙනා ආරක්ෂ අංශ වලින් අත්අඩංගුවට ගත්තා.
මමත් කාලයක් හැංගිලා හිටියට... අවසානයේ මම තීරණයක් අරගෙන ගිහින් ආරක්ෂක අංශයට බාර වුණා. ඒ තීරණය තමයි මගේ මේ කලාවේ ආරම්භයට මූලික වුණේ.
තිලකෙ බාසුන්නැහේගේ ඒ රසවත් කතාව නැවත නැවතත් අසන්නට විමි. කියන්න බලන්න ඒ කොහොමද කියලා...
මම හමුදාවට භාර වෙලා මුල්ම දිනයේ හිටියෙ හරිම භයෙන්... මගේ වෙලාවට කෑම්ෆ් එකේ ලොක්කා මට කිව්වා උඹට මොනවද කරන්න පුළුවන් වැඩ කියලා... මම කිව්වා මේසන් වැඩ, වඩු වැඩ වගේ දේවල් මට කරන්න පුළුවන් කියලා... ඊට පස්සේ අනුරාධපුර කෑම්ප් එකේ ඉස්සරහා බෝධිය වටා බුද්ධ මන්දිරයක් හදමු කියලා මට යෝජනා කළා.. හැබැයි මටත් වඩා වැඩ හොඳින් වැඩ දන්න තවත් බාස් කෙනෙක් හිටියා... මිනිහා තමයි කැටයම්කරයා..ඉතිං අපි වැඩේ පටන් අරගෙන ලස්සනට වැඩ කරගෙන ගියා... හමුදාවේ මහත්තුරු මටයි අර බාස්උන්නැහේටයි හරිම හිතවත්. මගේ කැටයම බිහිවන්නේ අර බාසුන්නැහෙගෙන්... ඔහු තමයි සෙනෙවි බාස්.
මුලින්ම සබන් කැට වලින් තමයි ඔහු මේ කැටයම් කලාව කියලා දුන්නේ... අපි බලන්න එන හැම කෙනාටම කියලා සබන් කෑලි ගෙන්න ගන්නවා... ඉතින් කැටයම් කපලා මුදලට විකුණලා කීයක් හරි හොයා ගන්නවා... එහෙම කාලයක් ගියාම අපි නිදහස් කළා. එදා තමයි මගේ ජීවිතේ හරිම සන්තෝෂ දවස.
මම ගෙදර ඇවිල්ලා අර විදියට සබන් වලින් කැටයම් කපලා අසල්වැසියන්ට මුදලට විකුණන්න පටන් ගත්තා.. ඉතා සුළු මුදලකට. කාලයක් යනකොට මම කල්පනා කළා සබන් කෑල්ල දියවෙනවා... විනාශ වෙනවා... මේ කැටයම ලීයකට ගත්තොත් කල්පවතිනවා... වටිනාකම වැඩියි කියලා... පස්සෙ මම තනියම කෑලේට ගිහිල්ලා දිරපු ගස්වල මුල්, කඳන්, අතු අරගෙන ඇවිත් විවිධ රූප මවලා නිර්මාණය කළා... මගේ නිර්මාණ ගොඩක් තියෙන්නෙ පන්සල්වල...
දැන් ඔබගේ කැටයම් කලාව නැවතිලාද?
නෑ. කැටයම් කලාව නම් නැවතිලා නෑ... අපිට ගස්, මුල්, කොටන් හොයාගන්න දැන් නෑ. තිබුණත් ගෙන්න ගන්න බෑ... ලයිසන් බලනවා. ලයිසන් හදන්න ගියාම ප්‍රාෙද්ශීය ලේකම් තුමිය සත පහකට ඒවා ගණන් ගන්නේ නෑ,.. බැරිම තැන මේ නිර්මාණ කාර්යය මම අතහැරලා දැම්මා... ඒත් හිතවත් කෙනෙක් ඇවිල්ලා ඉල්ලීමක් කලොත් ලී දඩු සැපයුවොත් එය කරලා දෙනවා.
මේ වගේ නිර්මාණ වලට රජයෙන් පහසුකම් ලබල දෙනවා නම් සෑහෙන්න වටිනවා... මොකද අපිට ලීයක් හොයන්න ගියත්, අරගෙන එන්න ගියත් පොලීසියට කතා කරලා කියනවා...
ඉතින් හරිම කනගාටුවක් තියෙන්නේ ග්‍රාමසේවක මහත්තයාගෙ ඉඳලා ඉහළට ඉන්න කිසිම නිලධාරීයෙක් වගකිව යුතු අයෙක් අපේ මේ නිර්මාණ වල අනාගතය ගැන හිතන්නේ නැති එක ගැන.. මම හිතනවා ඔවුනගේ ඇස් පෑදේවා කියලා... අවසාන වශයෙන් තිලකෙ බාසුන්නැහේ අපි සමග කියා සිටියේ ඉතාමත් හැගීම් බරවය.
සටහන - ඡායාරූප : ප්‍රියන්ත බිබිලදෙණිය