ශ්‍රී ලංකා - චීන සහයෝගිතාවෙන් කෝටි 69,520ක ආදායම් | Page 10 | සිළුමිණ

ශ්‍රී ලංකා - චීන සහයෝගිතාවෙන් කෝටි 69,520ක ආදායම්

පසුගිය වසරේ චීන - ශ්‍රී ලංකා ‍ද්විපාර්ශ්වික වෙළෙඳ කටයුතුවලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් හෙවත් රුපියල් කෝටි 69,520ක් උපයන්නට හැකි වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පැවැසීය.

එය 2016 වසර සමඟ සංසන්දනය කිරීමේදී 3%ක වර්ධනයක් මෙන්ම අදින් වසර පහකට පෙර 2013 වසර හා සන්සන්දනය කරන විට 4.6%ක වර්ධනයකැයිද ඇමැතිවරයා කීය.

පසුගිය සිකුරාදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඇරැඹුණු ‘2018 චීන ග්වන්සි ජුවාන් නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හා චීන ග්වන්සි පුවාන් වෙළෙඳනාම සේද මාවතේ සිදුවීම් මාලාව’ වෙළෙඳ දැක්ම විවෘත කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය‍. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

‘‘ඉදිරි සතියේදී චීනය ලංකාවේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා ඩොලර් බිලියනයක් හෙවත් රුපියල් කෝටි 15800 ක මුදලක් ලබාදීමට නියමිතව තිබෙනවා. චීන සමුද්‍ර‍ීය සේද මාවතේ ‘එක් තීරයක් - එක් මාවතක් (One Belt - One Road) ව්‍යාපෘතිය යටතේ සිදු වන ද්විපාර්ශ්වීය වෙළෙඳ ගනුදෙනුවලින් රටවල් දෙකේම ආර්ථිකය වඩාත් ශක්තිමත් වෙනවා. තොරතුරු තාක්ෂණය, කුළුබඩු නිෂ්පාදනය, බෝට්ටු කර්මාන්තය, සංචාරක කර්මාන්තය, සකස් කළ ආහාරපාන නිෂ්පාදනය, විද්යුත් හා ඉලෙක්ට්‍රෝනික උපාංග නිෂ්පාදන යන කෂේත්‍රවල ආයෝජන ව්‍යාපෘති ඇරැඹීමට අපි චීන ආයෝජකයන්ට ආරාධනා කරනවා.”

Comments