HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

සෝනම්ගේ මංගල්‍ය යේදී ශාරුක්ගෙන් නර්තනයක්

තවත් පෙම් කතාවකට මංගල සීනු හැඩවුණා. ඒ පසුගිය 9 දා. මනාල යුවළ, ආනන්ද් අහුජා සහ සෝනම් කපූර්. බොලිවුඩ් සිනමාවේ 80 - 90 යුගවලදී දිදුලන තරුවක් බවට පත්වූ ප්‍රවීණ නළු අනිල් කපූර් ගේ දියණිය සෝනම් කපූර් මනාලියක වී ආනන්ද් අහුජා සමඟ යුග දිවි ගමන් ඇරැඹූ නිසයි කවුරුත් මේ ගැන උනන්දු වුණේ.

බොලිවුඩ්පුරයේ ජනප්‍රිය නිළියක වූ සෝනම් සහ ව්‍යාපාරිකයකු වන ආනන්ද් දැන හඳුනා ගත්තේ 2014 දී. සෝනම් ට ආනන්ද් ව හඳුන්වා දුන්නේ සෝනම්ගේ ඇඳුම් නිර්මාණ ශිල්පියා වූ ප්‍රර්නියා කුරේෂි යි. එතැනින් ඇරැඹුණු ආනන්ද් - සෝනම් පෙම් පුවත ලොවට සැඟවෙමින්, මතුවෙමින් ගලා ගියා.

මුම්බායි නුවර සුපිරි හෝටලයක පැවැත්වුණු මේ විවාහ මංගල උත්සවයට බොලිවුඩ් සිනමාවේ සුපිරි තරු රැසක් ම සහභාගි වුණා. කරන් ජොහාර්, ශාරුක් ඛාන් සහ‍ ගෞරී, සල්මන් ඛාන්, සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් (බිලිඳු පුතු තයිමූර් සමඟ) අභිෂේක් - අයිශ්චර්යා යුවළ, ජැකලින් ෆර්නැන්ඩස් ඇතුළු තවත් විශාල පිරිසක් මෙයට සහභාගි වුණා. මේ සියලු දෙනාම හැඳ සිටියේ පාරම්පරික ඉන්දීය ඇඳුම් පැලඳුම් වීම විශේෂත්වයක්. තවත් කැපී පෙනෙන කරුණක් තිබුණා. මංගල උලෙළට සහභාගිවූ ආරාධිත අමුත්තන්ගෙන් වැඩි දෙනකුගේ ම ඇඳුම් ඔපවත් වී තිබුණේ රෝස පැහැයෙන්. කාන්තා පාර්ශ්වයට ‍රෝස පාට වඩාත් ගැළපෙන බව බොහෝවිට පැවසුනත්, මේ මංගල උළෙලට එක්වූ පිරිමි පාර්ශ්වය හැඳ සිටි රෝස පැහැති ඇඳුම් ද ඔවුනට හොඳින් ගැළපුණා.

මෙහි නැටුම් ගැයුම් වලින්ද අඩුවක් තිබුණේ නැහැ. මංගල උලෙළට සහභාගි වූ සුපිරි නළු සල්මන් ඛාන් ‘ජානම් සම්ජා කරෝ’ චිත්‍රපටයේ එන ජනප්‍රිය ගීතය තනිවම ගායනා කරද්දී සුපිරි නළු ශාරුක් ඛාන් එහි රිද්මයට අනුව මනරම් රැඟුමක් ඉදිරිපත් කළා. ගීතය අතර මැදදී මනාල යුවළ අසලට ගිය ශාරුක්, ඔවුන් දෙදෙනාගේ අත්වලින් ඇදගෙන විත් නර්තනයෙහි යෙදුණේ කාගේත් ප්‍රීති ඝෝෂා මැද්දේයි.


 

පෙම ගොළු වුණේ රන්බීර් නිසා ද?

යොවුන්, සුරූපී නිළි ආලියා භාට් සහ සිද්ධාර්ත් මල් හොත්‍රා පෙම්වතුන් ලෙස කාලය ගත කළ බව රහසක් නොවෙයි. මීට මාස කිහිපයකට පෙර බොලිවුඩ් ඕපාදූපවල සටහන් වුණේ සිද්ධාර්ත් සහ ආලියා එක වහලක්යට එකට ජීවත් වන බවයි. මේ ආරංචියටය තවත් ලුණු ඇඹුල් එකතු කළ අය ප්‍රකාශ කළේ නිවාඩුවක් ලද විගස­ින් ම ආලියා දුවගොස් නතර වන්නේ සිද්ධාර්ත් ගේ නිවසෙහි බවයි. මේ ආරංචිවල ඇත්ත නැත්ත තවම හරි හැටී හෙළිවී නැතත් දැනට නම් ආලියා සහ සිද්ධාර්ත් අමනාපයෙන් පසුවන බවයි පැවසෙන්නේ.

මේ අමනාපයට මුල රන්බීර් කපූර් දැයි සැකයක් මතුවෙලා. පසුගිය සති දෙක තුන තුළ ආලියා සහ රන්බීර් අතර අලුත් හිතවක් කමක් මතුවී තිබෙන බව හොඳින් ම පෙනුණා. විශේෂයෙන් ම, සෝනම් කපූර් ගේ විවාහ මංගල උත්සවයේදී. මේ අවස්ථාවට රන්බීර් පැමිණ ඇත්තේ ආලියාත් එක්කලු!

 


ජැකලින් ට සම්මානයක්

සතුන්ව හිංසාවෙන් මුදවාලීමට කටයුතු කරන PETA හෙවත් People for the Ethical - Treatment of Animals නම් වූ සංවිධානයෙන් ජැකලින් ෆර්නැන්ඩස් ට විශේෂ ඩිජිටල් සම්මානයක් පිරිනමා තිබෙනවා. ඇය මේ සම්මානයෙන් පුදනු ලැබීමේ ප්‍රධාන හේතුව තමයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ක්‍රියාත්මක වෙමින් අහිංසක සතුන්ව හිංසාවෙන් මුදාලීමට තම රසික පිරිස තුළ උනන්දුවක් ඇති කරවීම.

අලි ඇතුන් දම්වැල් වලින් බැඳ දැමීමෙන්, අශ්වයින් කරත්තවල බැඳ ඒවා ඇදගෙන යාමෙන්, විනෝදය පිණිස අශ්වයින් පිට නැග ගමන් යාමෙන් වළකින ලෙස ප්‍රජාව දැනුවත් කිරීමයි ජැකලින් අතින් සිදුවුණේ. මෙම කර්තව්‍යය ජැකලින් අතින් හොඳින් ඉටුවී ඇති බවයි, PETA සංවිධානයේ අධ්‍යක්ෂවරයකු වන සචින් බන්ගෙරා පැවසුවේ.

අශ්වයින් විනෝදාත්මක කටයුතු වලට යොදා ගැනීමෙන් ජනතාව වළක්වන ලෙස ආයාචනා කරමින් මුම්බායි පුරපතිවරයා වෙත ලිපියක් ලියා යැවීමට ද ජැකලින් පසුබට වුණේ නැහැ. මෙම ඉල්ලීම් කිරීමට ඇය සමාජ මාධ්‍ය, ලිපි මෙන් ම විද්යුත් ජනමාධ්‍යයන් ද උපයෝගී කර ගෙන තිබෙනවා. අයාලේ යන සුනඛයන් හදා වඩා ගැනීමෙහි අවශ්‍යතාව ද ඇය පෙන්වා දී තිබෙනවා.

Comments