
සතිෂ් ලක්ෂාන් පතිරණ අපේ රටේ සංගීත අඹරට පෑයූ උදා තරුවකි. 2013 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 5 ( Little Star Season 5 ) තරගාවලියේ තරග කරුවන් හැටපන්දහසක් අතරින් අවසාන මහා තරගයට තේරී අනුශූරතාව ලබාගනිමින් ඔහු රටට සිය හැකියාව පෙන්වීය. එසේම 2013 වසරේ සමස්ථ ලංකා පාසල් සංගීත තරගාවලියේ කණිෂ්ට රාගධාරි ඒකල තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගත් ඔහු 2016 වසරේ සමස්ථ ලංකා පාසල් සංගිත තරගාවලියේ ස්වර ලිපි බලා ගැයීම විවෘත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගත්තේය. යළිත් 2016 වසරේදිම සමෘද්ධි දිවි නැගුම ළමා සමාජ සමස්ථ ලංකා සංගිත තරගාවලියේ ජ්‍යෙෂ්ඨ රාගධාරි ඒකල තරග අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් සතිෂ් සහාරා ක්ලැසිකල් නමින් සංගීත කණ්ඩායමක් බිහිකොට මෙරට සුබාවිත සංගිීතය පෝෂණය කිරිමට අදිටන් කරගෙන සිටී.
සතිෂ්ගේ වැඩඩිමල් සොහොයුරිය සුමුදුනී සුලක්ෂා පතිරණ සංගීත විශාරද වරියකි. ඇය හේනේගම මහාබෝධි විදුහලේ ඉංග්‍රීසි සහ සංගීත ගුරුවරිය ලෙස සේවය කරයි. සතිෂ්ට සහ සොහොයුරියට මෙම හැකියාවන් සිය පියාවන ලක්ෂ්මන් කිත්සිරිගෙන් උරුම වූවක් ලෙස හැඳින්විය හැකිය. ගායකයකු සහ වාදකයකු වන ලක්ෂ්මන් 1991 වසරේ ‘පැතුම් විමනේ‘ නම් සිය ඒක පුද්ගල ගී ප්‍රසංගය බුත්පිටිය මහා විද්‍යාලයේ ත්, 2002 වසරේ ගම්පහ වයිඑම්බිඒ ශාලාවේදිත් පවත්වා ඇති අතර විවිධ උත්සව වලට ගීත ගායනයෙන් එක්වෙයි.මේ සතිෂ් සමඟ අප කළ කෙටි පිළිසඳරයි.
සතිෂ් සංගීතයට යොමුවුණේ කොහොමද?
‘‘ මට සංගීතය පිළිබඳව කැමැත්තක් ඇතිවුණේ අපේ ගෙදර තිබුණු සංගීත පරිසරය නිසා. තාත්තා සර්පිනාව වයමින් ගීත කියනවා මම බලාසිටියේ හරිම ආසාවෙන්. ඒ වගේම අක්කා වයලීනය වාදනය කරමින් ගීත පුහුණුවනවා බලා සිටින විට මටත් සංගීතය ඉගෙන ගන්න ඕන වුණා. ඒ අනුව තාත්තා මාව යක්කල ‘ශාන්තා රමණී‘ කලායතනයේ ශාන්තා රමණී ඩයස් ගුරුමෑණියන්ගෙන් උතුරු ඉන්දීය සංගීතය හැදෑරීමට යොමු කළා. එතැනින් සංගීතයට අත්පොත් තැබුව මම අද වනවිට ඉන්දීය රාගධාරී ප්‍රථමා ඩිප්ලෝමා අවසන් කර විශාරද විභාගය සඳහා සූදානම් වනවා. ‘‘
සතිෂ් මේ වනවිට තමන්ගේම ගීත කිහිපයක්ම එළිදක්වා තිබෙනවා.
‘‘ඔව්. මම මුලින්ම ගායනා කළේ ලලිත් ඔවිටිගල පද රචනය කළ ‘අනන්ත සසරේ‘ ගීතය. ඉන්පස්සේ අංජන ඕවිටිගල පද රචනය කළ ‘සඳ දිය වැටිලා‘ සහ ‘පුංචි අපේ ලෝකය‘ යන ගීත දෙක කළා. මෙම ගීත තුනම සංගීතවත් කළේ සංගීත් වික්‍රමසිංහ මහත්මා. ගලබොඩ අශෝක නිශ්ශංක ලියූ සුවඳයි සුවඳයි, කරුණා වාසල ලියූ නංගි කෙනෙක් සහ සිංදු කියන කුරුල්ලෝ යන ගීත තුන එළි දැක්වූයේ ඉන්පස්සේ. මේ ගීත සංගිීතවත් කළේ සුනිල් කරුණාරත්න මහත්මා. සඳ දිය වැටිලා සහ අනන්ත සසරේ යන ගීත මේ වනවිටත් එෆ් එම් දෙරණ නාළිකාවේ විකාශය වනවා. ඒ වගේම මගේ ගීත යු ටියුබ් ඔස්සේ අසන්නත් පුළුවන්.‘‘
ඔබ නායකත්වය දෙමින් නිර්මාණය කළ සංගීත කණ්ඩායම ගැන කිව්වොත්.
‘‘මෙහි නම සහාරා ක්ලැසිකල් ( Sahaara Classical ) . මෙය පසුගිය ජනවාරියේ බොදු ගී ප්‍රසංගයක් පවත්වමින් තමයි එළිදැක්වූයේ. මෙහි නිපුනි තිලක්ෂිමා (සිතාර් ), පසිඳු ජයශංඛ ( තබ්ලා ), සුමුදුනී සුලක්ෂා පතිරණ ( වයලීනය ), කණිෂ්ක පැහැසර ( වයලීනය ), ලක්ෂ්මන් කිත්සිරි ( ගායක) ලෙස කටයුතු කරන අතර මම කීබෝඩ් වාදනය කරමින් මෙහි නායකයා ලෙස කටයුතු කරනවා. මෙම සංගීත කණ්ඩායම පිහිටුවිමේ අරමුණ මිහිරි සුබාවිත ගීත අසන්නට කැමැති රසික පිරිසට ඒ සඳහා අපේ දැනුමින් යමක් කරන්නයි. තරුණ පිරිසක් විදිහට කණ්ඩායමේ හැමදෙනාගේම අරමුණ අපේ තරුණ තරුණියන්ට මේ සුභාවිත ගීත, සංගීතය අසන්නට සලස්වලා ඔවුන් උසස් රසවින්දනයකින් යුතු පිරිසක් බවට පත්කිරීමයි.‘‘ සතිෂ් ලක්ෂාන් පිළිබඳව තව තවත් තොරතුරු දැනගන්න Sathish lakshan නමින් Face book මගින් ඔහු සම්බන්ධ කරගත හැකිය.