විදෙස් චිත්‍ර­ප­ටය | සිළුමිණ

විදෙස් චිත්‍ර­ප­ටය

 වීර අද්භූත රසයෙන් පොහොසත් ‘තරු යුද්ධය‘හෙවත් ‘ස්ටාර් වෝර්ස් ‘රසික මනසේ විත්‍රණය වන්නේ 1977 වසරේ සිටය. මන්දාකිනියේ ඇවිළෙන ගිනි දැල්වල උණුසුම විඳින්ට යළිත් ස්ටාර් වෝස් සිනමාපටවලිය මැයි 25 වැනිදා සිට අවස්ථාව උදාකර දී ඇත. සෝලෝ ‘අ ස්ටාර් වෝර්ස් ස්ටෝරි‘ අලුත්ම ස්ටාර් වෝර්ස් වික්‍රමයයි.

හන් සෝලෝ කොරෙල්ලියා ග්‍රහ ලොව නියමුවෙකි. ප්‍රකෝපකාරී හොර බඩු ජාවාරම්කරුවෙකි. එහෙත් නවතම සෝලෝ සිනමාපටයෙන් දැක ගැනීමට ලැබෙන්නේ සෙසු සිනමා පටවලින් දක්නට නොලැබුණු ස්වරූපයේ හන්සෝලෝ කෙනෙකි. ඔහු වඩාත් පරමාදර්ශීය. දකින සිහින මල්පල ගන්වන්නට ඔහුට අවශ්‍ය කරන යථාර්ථයන් ගණනාවකි. එහෙත් එම යථාර්ථයන් ඔහු බලාපොරොත්තු වෙනවාට වඩා අභියෝගාත්මකය.

මුල්ම ස්ටාර් වෝස් සිනමාපටයේ හන් සෝලෝගේ චරිතය නිරූපණය කළේ හැරිසන් ෆෝඩ්ය. මෙවර හන් සෝලෝ ලෙස රඟන්නේ ඕල්ඩන් කලෙබ් එරෙන්රීච්ය. තෝබියන් බෙකට්, හන්ගේ නිර්මාතෘවරයායි. බෙකට්ගේ චරිතය ට්‍රෙෂර් අයිලන්ඩ්හි ලෝ ජෝන් සිල්වර් ප්‍රබන්ධ චරිතය ඇසුරෙන් ගොඩනඟන ලද්දකි. ලෝං ජෝන් සිල්වර් කතාවේ ප්‍රධාන ප්‍රතිවාදියාය.

කුයිරා කිහිප ආකාරයකින් වෙස් පෙරළා ගත්තද ඇය ජීවත් වීමට සටන් කරන්නීය. කුයිරා හා සෝලෝ අතර ඇති සබඳතාව අපූර්වය. විටක ඔවුන් සොහොයුරන්ය. හැදුනේ වැඩුණේ මිතුරන් ලෙසය. අපරාධ කිරීමේදි දෙදෙනා කොටස්කාරයන්ය. මේ සියල්ලට අමතරව ඔවුන්ගේ ප්‍රේමණීය බැඳීමක් ද ඇත. එකට හැදී වැඩුණු නිසා ඔවුන් එකිනෙකා රවටා ගැනීමටද පසුබට නොවේ. එමිලියා ක්ලාක් කුයිරා ලෙස රඟපාන්නීය. ලැන්ඩෝ කැල්රිසියන් මන්දාකිනියේ පාතාල ලෝකයේ අපරාධකරුවෙකි. මුල් සිනමා පටයේ ලැන්ඩෝ ලෙස රැඟුවේ බිලි ඩී විලියම්ස්ය. මෙහි එම චරිත රඟන්නේ ඩොනල්ඩ් ග්ලෝවර්ය. චූවී (චූබකා) ආරූඩනාමයෙන් හඳුන්වන්නේ හන්ගේ හොඳම චිම්පන්සි හිත මිතුරාය. උගේ සැබෑ නම චූ කීය. ඌ උසය. හන් සෝලෝගේ ප්‍රථම ප්‍රධාන නිලධාරියා වූයේ ද චූවීය.

අපරාධ රජු, ඩ්‍රයිඩන් වෝස්, L3-37, වාල්, සිනමා පටයේ යුද උණුසුම අවුලන සෙසු චරිතය. ස්ටාර් වෝර්ස් සිනමාපට මාලාව ආරම්භ වන්නේ 1977 ‘ ස්ටාර් වෝර්ස්‘ සිනමා පටයෙනි. මෙය අභ්‍යවකාශ වීර කව්‍ය ජෝර්ජ් ලූකස්ගේ නිර්මාණයකි. එසේ ඇරැඹි සිනමා පට මාලාවේ දෙවැන්න ද එම්පයර් ස්ට්‍රයික්ස් බැක් (1980), රිටර්න් ඔෆ් ද ජෙඩායි (1983) ද අතිශයින් ජනප්‍රිය විය.

එම ත්‍රිත්වය පාදක කරගෙන තවත් සිනමා පට ත්‍රිත්වයක් තිරගත වූ අතර තරු යුද්ධයට රසික කැළ කෙතරම් පෙම් බැන්දාද කිවහොත් එය සිනමාවට පත් නොවන යුද්ධයක් විය. ද ෆෝස් අවේකන්ස් , ද ලාස්ට් ජෙඩායි, ද ක්ලෝන් වෝර්ස්, රෝග් වන් සිනමා පට එකින් එක තවත් තරු යුද්ධයකට මුල පිරීය. පළමු සිනමා පට අටම ඇකඩම් සම්මාන සඳහා නිර්දේශ වූ අතර වානිජ වශයෙන් ද අති සාර්ථක විය. වැඩිම ආදායමක් ඉපයූ සිනමා පට මාලා අතරින් ස්ටාර් වෝස් දෙවැනි වන්නේ ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිට් වෝ‘ වලට පමණයි. එය වානිජ වශයෙන් සාර්ථක වූ සිනමා පට මාලාව ලෙස ගිනස් වාර්තාවට ද හිමිකම් කියන්නේය.

ජෝර්ජ් ලූකස් විසින් ඇරැඹු සිනමා පට මාලාවේ නවතම වික්‍රමයේ අධ්‍යක්ෂණය රොන් හෝවඩ්ගෙනි. ජෝර්ජ් හා රොන් සමීප මිතුරන්ය. ඔහුගේ ප්‍රථම තරු සංග්‍රාමය මෙයයි. එමෙන්ම ස්ටාර් වෝස් හා සම්බන්ධ වූ ප්‍රථම ඇකඩමි සම්මානලාභියා ද, අධ්‍යක්ෂකවරයා ද ඔහුය. රොන් හෝවඩ්ගේ අ බියුටිෆුල් මයින්ඩ් (2001) සඳහා හොඳම අධ්‍යක්ෂ ලෙසින් ඔස්කාර් සම්මානයට නිර්දේශ විය. ප්‍රථම ස්ටාර් වෝර්ස් තිරගත වී හරියටම හතළිස් එක්වැනි වසර සපිරෙද්දී තිරගත වන නවතම සිනමා පටයට මුල්ම සිනමා පට ත්‍රිත්වයේ සාරය එක් කිරීමට නව අංගයන් එක් කිරීමට වඩා ඔහු උනන්දු වී තිබේ.

ප්‍රධාන චරිතය හෙවත් හන් සෝලෝගේ චරිතයට විසිඅට හැවිරිදි ඕල්ඩන් එක්වන්නේ ප්‍රථම වරටය. මුල්ම හන් සෝලෝ නළුවා පවසන්නේ හැරිසන් ෆෝඩ් ඕල්ඩන්ට ලැබී ඇත්තේ හොඳම අවස්ථාවක් බවයි. සාහසික, නොසැලකිලිවන්ත, නුරුස්සා සහගත, කිසිවකුත් විශ්වාස නොකරන, තරමක් මෝඩ චරිතයට කළ යුතු දේ නොව නොකළ යුතු දේ කරන එම චරිතය තිර රචකයන් වූ කැස්ඩන් දෙපලගේත් ප්‍රියතම චරිතයයි.

ඕල්ඩන්ට මෙය සුවිශේෂී වන්නේ ඔහු හන් සෝලෝගේ රසිකයෙක් නිසයි. ඕල්ඩන් ළග හන් සෝලෝ ක්‍රීඩා භාණ්ඩ එකතුවක් තිබේ. සිනමා පටයේ රූගත කිරීම් ඇරැඹුණේ 2017 ජනවාරි 30 වැනි දිනය බ්‍රිතාන්‍යයේ පයින්වුඩ් චිත්‍රාගාරයෙන් රූගත කිරීම් ඇරැඹුණු අතර මුලින්ම එය නම් කර තිබුණේ ස්ටාර් වෝර්ස් රෙඩ් කප් නාමය යටතේයි. රූ ගත කිරීම් අරඹා මසක් ගතවීමට පෙර නිෂ්පාදනය සඳහා ඩොලර් මිලියන 54.5 ක් වැය වී තිබිණි. මැයි මාසයේ දී අත්ලාන්තික් සාගරයේ පිහිටි කැනරි දූපත්වලදී රූ ගත කිරීම් සිදු කෙරිණි. ලූකස් ෆිල්ම් සමාගම මුලදී ඕල්ඩන්ගේ රංගනයට මනාපයක් නොදැක් වූ අතර රඟපෑම් පිළිබඳ උපදෙස් දීමට පුහුණුකරුවකු ද දර්ශන තලයට කැඳවා ගෙන විත් තිබේ.

සිනමා පටයේ සියලු තනු නිර්මාණය කරන ලද්දේ ජෝන් පවල් විසිනි. එහෙත් දිගු කලක් සිට ස්ටාර් වෝර්ස් තනු නිර්මාපකයා වූ ‘ ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හන්‘ සඳහා තනු නිර්මාණය කර ඇත. සිනමා පටයේ පූර්ව දර්ශනය 2018 මැයි 10 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී පැවැත් වූ අතර මැයි 15 වැනිදා හැත්තෑ එක් වැනි සිනමා උළෙලේදී ද ප්‍රදර්ශනය කෙරිණි. සෝලෝ අ ස්ටාර් වෝර්ස් ස්ටෝරි ට්‍රේලරය යූ ටියුබ් හරහා මිලියන අටකට වැඩි ගණනක් නරඹා තිබේ. සිනමා පටයේ ට්‍රේලරයට ෆෙස් බුක් ගිණුම් හිමියෝ මිලියන 5.9 ක් සිටිති.

ශ්‍රේණි ගත කිරීම්වලට අනුව අයිඑම්ඩීබී ප්‍රේක්ෂක මනාපය 6.3/10 ක් ද රොට්න් ටුමැටෝස් මනාපය 89% ක් ද හිමි වී තිබේ. යොවුන් හන් සෝලෝගේ නවතම වික්‍රමයන් නැරඹීමට ඇත්තේ තව දින පහක් පමණි. මෙවර එය තරුසටන් ඉතිහාසයට කෙබඳු වාර්තාවක් පිහිටවනු ලබාවිද ?

Comments