
බෝනික්කා දිහා බලාගෙන මං ගොඩක් දේවල් හිතපු බව ඇත්ත. නංගි එහෙම කියන්නෙ මං මගේ සිතිවිලි හයියෙන් කියන්න ඇත්ද?
“ඔය බොරු. ‘‘
මං කිව්වා.
“බොරු? මං කියන්නද ඔයා කියපු දේවල්? ‘‘
“කියනවා බලන්න. හැබැයි බොරු කිව්වොත් මං අනිනවා අඬන්න ටොක්කක්.‘‘
“ඒ ගමන දෙන්නා එක්ක රංඩු වෙන්න තියාගත්තද? ‘‘
මම්මා ඇඳෙන් නැගිට්ටා.
“ලීනා. ‘‘
මම්මා මොකක් නමුත් කියන්න වගේ හැදුවත් කට ඇරගෙන බලාගෙන ඉන්න නංගි දිහා බලලා ඒක අමතක වුණා වගේ කණ්ණාඩි මේසෙ ඉස්සරහට ගිහින් හිටගත්තා. රතු පාට හීනි බෝඩරයක් තියෙන ක්‍රීම් පාට සාරිය ඇන්දම අම්මා හරිම ලස්සනයි.
“නළලෙ මොට්ටුවක් තියාගත්තනම් මම්මා ඇරපු අතක් නෑ. නූටාන් වගේම ඉඳීවි. ‘‘කියලා අක්කා කරන විහිළු මට මතක් වුණා.
“කවුද ලීනා කතා කරනවා ඇහෙන්නෙ?‘‘
චුට්ටක් වෙලා අහගෙන හිටිය මම්මා ඇහුවත් ආවෙ වෙන කවුරුවත් නෙමෙයි රිචාඩ් කියන්න මගේ දිව නැමුනෙ නැත්තෙ ඇයි කියන්න මං දැනගෙන හිටියෙ නෑ.
“කවුද ඇවිත් තියෙන්නෙ? ජේසන් ද? රිචාඩ් ද? ‘‘
සාරි පොට ඇදලා ඉණේ ගහගත්ත මම්මා කාමරෙන් පිටවෙද්දි නංගි මා ළඟට හෙමිහිට කිට්ටු වුණා.
“දන්නවද වැඩක්?‘‘
වටපිට බලපු නංගි රහසින් වගේ ඇහුවා.
මං නංගි දිහා බලාගෙන හිටියා. නංගි කියන්න හදන රහස මට හිතාගන්නවත් බැරි වුණත් මං නොදන්න
ගොඩක් දේවල් නංගි දන්න නිසා මට ඕන වුණේ ඇය කියන්න හදන්නෙ මොකක් ද කියලා ඉක්මනටම දැනගන්නයි.
“කියන්නකො. මොකක්ද?”
මං නංගිගෙ අතින් ඇද්දා.
“ඒක රහසක්.”
නංගි කිව්වෙ හරිම කපටි විදියට.
“මම්මා මා එක්ක කියපු රහස ඔයාට කියන්න නම් මට අර පර්ෆියුම් එක ඕන.”
මං ගැස්සුණා. මට පර්ෆියුම් එකකට ලැබිලා තිබුණෙ එදා රිචාඩ් දුන්න පර්ෆියුම් එක විතරමයි. ඒත් ඉඳ හිටලා
පර්ෆියුම් එක අතට අරගෙන බලනවා මිසක් මට ඒක කවදාවත් ආසාවටවත් ගෑවෙ නැත්තෙ ඒක ඉවර වෙයි කියලා බයේ. ඇත්තටම ඒක හරිම සුවඳයි. ඒක රිචාඩ් පිටරටින් ගෙනාපු එකක් කියලා දැනගෙන හිටියත් ඊටත් වඩා මට නොතේරෙන හේතුවක් නිසා මං ඒකට ආදරේ කළා.
“දෙනවා නේද?”
නංගි ආයෙම අහද්දි මං අසරණ විදියට නංගි දිහා බැලුවා.
“මොන පර්ෆියුම් එකද?”
“අර රිචාඩ් ඔයාට දුන්න එක.”
නංගි කිව්වෙ කපටි විදියට.
“අනේ ඒකනම් දෙන්න බෑ. මං තවම ඒකෙ බින්දුවක්වත් ගාලා නෑ.”
“ඒකට කමක් නෑ. එහෙමනම් මං ඒ රහස කියන්නෙත් නෑ.”
නංගි කාමරෙන් එළියට දුවලා ගියා. ඇය කියන්න හදපු රහස මොකක්ද කියලා මගේ හිතට වද දෙන්න පටන් ගත්ත නිසා මං නංගිව හොයාගෙන ගියා.
“මං ඒක ඔයාට දෙන්නම්.”
මං කිව්වම නංගි ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා.
“ෂුවර්?”
ඇය ඇගේ අත මා දිහාවට දික් කළා.
“ෂුවර්.”
“මොකක්ද දන්නවද රහස? අක්කා මැරි කරන්න යනවලු.”
නංගි මෙතෙක් මං නොදන්න රහසක් එළි කළා. මගේ හිතට දැනුණෙ ලොකු සතුටක්. අක්කා මනමාලියක් වුණාම බ්‍රයිඩ්ස් මේඩ් වෙන්න මං ගොඩක් කාලයක් හීන දකිමින් හිටිය නිසා මගේ හිතට සතුටක් දැනෙන්න ඇති.
“බොරු?”
මං කිව්වෙ අක්කා මනමාලියක් වෙන්න යන කතාව වඩාත් තහවුරු කරගන්න. ඒත් මං ඒක අහපු විදියට නංගිට කේන්ති යන්න ඇති.
“බොරු නම් නිකන් ඉන්න.”
“කවුද ඔයාට කිව්වෙ”
“මම්මා. මම්මා කිව්වා අක්කා ගැන රිචාඩ් හිතාගෙන ඉන්නවලු. ඒ නිසාලු රිචාඩ් දැන් නිතරම මෙහේ එන්නෙ.
දෙන්නා කැමැති නම් ඒ දෙන්නව මැරි කරනවට මම්මගෙ අකැමැත්තක් නෑලු.”
“ඔය ඇත්තමද?”
“ඇයි මං බොරු කියන්නෙ? ආ... මං රහස කිව්වනෙ. දැන් මං ඉල්ලුව එක දෙන්න.”
මං කාමරේට ගිහින් අල්මාරිය ඇරලා පර්ෆියුම් එක නංගී අතට දුන්නත් මගේ උගුර හිර වෙන්න පටන් ගත්තා.
මහා හයියෙන් කෑගහලා අඬන්න මට ඕන වුණේ ඇයි කියලා මම දැනගෙන හිටියා. රිචාඩ් අක්කව බඳින්න කැමැත්තෙන් ඉන්නවනම් ඇයි එයා මට කැමැතියි කිව්වෙ? එයා මට විහිළු කරනවද කියන එක මට දරා ගන්න බැරි දුකක් වුණා. මං ඇඳට ගිහින් ඔලුවෙ ඉඳලම පෙරවගෙන නිදාගත්තා. කිසිම කෙනෙක් මාව ඇහැරවන්න ආවෙ නෑ. සමහරවිට ඒ අතරෙ පප්පා එක්ක කතා කරමින් හිටිය රිචාඩ් ගෙදරින් යන්න ඇති.
“ලීනා...”
දිග නින්දකට වැටිලා හිටිය මාව කවුරු හරි ඇහැරවන්න උත්සාහ කරද්දියි මං ඇහැරුණේ. ඒත් ඇස් දෙක
අරින්න උත්සාහ කළත්, මගේ ඇහි පිහාටු කවදාවත් නැති තරමට බරකින් දැනුණා. ඇස් දෙක අරින්න උත්සාහ කරද්දිත්, ඇස් දෙක වැහෙන්න ඇත්තෙ ඒ නිසා.
“ලීනා... ඇයි මේ?”
මාව ඇහැරවන්න උත්සාහ කරලා තියෙන්නෙ මම්මා. මම්මා මගේ පොරෝණය ඇදලා පැත්තකට ගත්තා.
“සනීප නැද්ද ඩාලිං?”
ඇය ඇහුවෙ ඉතාමත් දයාබරවයි. නිදාගන්න යද්දි නොතිබුණු අසනීප ස්වභාවයක් ඒවෙනකොට මට දැනෙමින් තිබුනා.
“මගේ ඔලුව රිදෙනවා මම්මා.”
“ඔලුව? ඇයි ඒ?”
මම්මගෙ සීතල අත මගේ නළලත තියනවා මට දැනෙද්දි මං ඇස් දෙක පියාගත්තෙ සනීපෙට.
“අම්මෝ... උණ නේද?”
මම්මා කෑගැහුවා.
“කොහොමද හිටිගමන් උණ හැදුනෙ?”
ඕඩිකොලොන් ප්ලාස්ටර් එකක් මගේ නළලට දාන ගමන් මම්මා ඇහුවෙ තමාගෙන්මයි.
“අනේ මන්දා. ඩොක්ට ළඟටවත් එක්ක යන්න වේවි.”
නංගි මගේ ඇඳ ළඟට ඇවිත් මං දිහා බලාගෙන හිටියෙ මේ වැරැද්දට හේතුව එයා කියලා වෙන්න ඇති.
“ඔහොම නිදාගන්න ලීනා. මං රිචාඩ් ඉන්නවද බලන්නම්. අපි බෙහෙත් ටිකක් ගේන්න යමු.”
“අපි පප්පා එක්ක යමු.”
මම අමාරුවෙන් කිව්වා. මම්මා මගේ දිහා බලලා මුදු විදියට හිනාවුනා.
“පප්පා? පප්පා ආයෙම නැගිට්ට ගන්න ලේසි වෙන්නෙ නෑ. අන්න බීලා බීලා හොඳටම නිදි. ඔහොම ඉන්නකො. මං ගිහින් එන්නම්.”
මම්මා කාමරෙන් පිට වෙලා ගියාට පස්සෙ නංගි හෙමින් මා ළඟට ආවා. මං එයාට දීපු පර්ෆියුම් එක නංගි හෙමින් මගේ කොට්ටෙ ළඟින් තිබ්බා.
“ඇයි?”
යන්තමින් ඇස් ඇරපු මං ඇහුවා.
“මේක මට එපා.”
“ඇයි? ඔයා ගන්න. ඔයා ආසයිනේ ඒකට.”
“මං ඉල්ලුවෙ නිකමට. මං පුංචි ළමයෙක්නෙ. මට පර්ෆියුම් ඕන නෑ.”
මට නංගි ගැන ඇති වුනේ ලොකු දුකක්. හිටිගමන් මට උණ ගත්තෙ නංගි මගේ පර්ෆියුම් එක ගත්ත නිසා ඇති වුනු දුකට කියලා එයා හිතන්න ඇති. නංගි මං දිහා බලාගෙන හිටියෙ හරිම දුක්බර විදියට. මං ආසම දේවල් මගෙන් බලහත්කාරකමෙන් ගන්න පුරුදු වෙලා හිටිය නංගිට මං අසනීපයෙන් ඉන්න එක දුකක් වෙන්න ඇති.
“ලීනා. වෙලාවට රිචාඞ් ගිහින් නෑ. ඉක්මනට ලෑස්ති වෙන්න.”
ලබන සතියට