මට ලැබී තිබෙන ඉහළ ම සම්මා­නය ජනතා ප්‍රසා­ද­යයි | සිළුමිණ

මට ලැබී තිබෙන ඉහළ ම සම්මා­නය ජනතා ප්‍රසා­ද­යයි

කිරිල්ලියෝ ගීතය

 

අහස සිඹින තුඟු මහල් කවුළු හැර

අලුත් සුළං රොද බදා වැළඳගමු

හතර වටින් වට කෙරුණු පවුරු බිඳ

සතුට සොයාගෙන එන්න ඉගිල යමු

රිදුණු පියාපත් පිරිමදිනාවිට

බිඳුණු සිහින සිහි නොකර හිනාවෙමු

පිපුණු හිනාවක සොඳුරු සිනාවත

තුරුණු උදාවක නිබඳ බෙදා ගමු

සිහින හඹාගෙන ඇදෙන වෙලාවක

හිතක දිරිය බිඳ නොහැර පියාඹමු

ඉතින් අපේ මුළු දිවිය පුරා අපි

එකට නැඟී හිඳ කිරුළ දිනා ගමු

නිලාර් එන්. කාසිම් ගැන වැඩි අටුවාටිකා කියන්නට අවැසි නෑ. ඒ තරමට කලා ලෝකයේ සම්මානනීය ගී පද රචකයෙක් ලෙසට ඔහුගේ නාමය ඉදිරියෙන් ම කියැවෙනවා. මේ දිනවල ජාතික රූපවාහිනයෙන් දිග හැරෙන ‘කිරිල්ලියෝ’ ටෙලි නාට්‍යයත් සමඟ ඔහු පිළිබඳ නැවතත් කාගේත් කතාබහට ලක්වෙලා. මොකක්ද මේ කිරිල්ලියෝ? ‘රසඳුන’ අප ඔහුව සොයාගෙන ජාතික රූපවාහිනියට ගොඩවැදුණේ මේ පිළිබඳව දැනගන්නටයි.

• කිරිල්ලියෝ එක්ක නිලාර් ගැන යළිත් කතාබහට ලක්වෙලා. කොහොමද එයට ලැබෙන ප්‍රතිචාර?

කියන්න සතුටුයි. ඉතාමත් කෙටි කාලයක් තුළ ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ ජාලා අතරද මේ සදහා ‍හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම හිතනවා කිරිල්ලියෝ මෙරට ප්‍රේක්ෂකයන් අතර පවුලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත්වෙයි කියලා.

• මෙහි තේමා ගීතයෙන් කියැවෙන අරු කුමක් ද?

Ode - To - Toy යන නමින් 2016 වසරේදී චීනයේ විකාශය වුණු ටෙලි නාට්‍යයක් තමයි ‘කිරිල්ලියෝ’ කියන්නේ.

කාරුණික හදවතක් ඇති තරුණියක් වටා තමයි මේ නාට්‍ය මාලාව ගෙතී තිබෙන්නේ. නමුත් සාම්ප්‍රදායික තේමාවකට වඩා තරමක් වෙනස් බවකින් ද යුතුයි. කිරිල්ලියෝ සමස්ථ කතාමාලාව දිවෙන්නේ තරුණියන් පස් දෙනකු වටායි. ඔවුන් ජීවත් වන්නේ එකම මහලක, එකම තට්ටු නිවාස සංකීර්ණයක් තුළයි. ඔවුන්ගේ ඇවතුම් පැවතුම්, ජීවන රටාවන් හරිම කෙළිලොල්. විවිධ අරමුණු තිබෙන ඉතාමත් සැහැල්ලුවෙන් ජීවත්වන යුවතියන්. ඒත් මතුපිටට නොපෙනුණත් ඔවුන් එකිනෙකා විවිධ ප්‍රශ්න සමඟ ජීවිතය ගෙවන චරිතයන් පහක්.

ඉතිං ඒ අනුව මම කල්පනා කළා තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන ගීතයක් මේ සඳහා වඩාත් සුදුසුයි කියලා. ‘කිරිල්ලියෝ’ තේමා ගීතයෙන් අරුත් ගැන්වෙන්නේ එයයි.

• කිරිල්ලියෝ ගේය පද සඳහා ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?

මෙහෙමයි ගීත රචකයෙක් විදිහට චිත්‍රපට හා ටෙලිනාට්‍යවලට වගේම සරල ගීතවලට සම්බන්ධ වී තිබෙන අත්දැකීම් එක්ක මේ නිර්මාණය භාරව කටයුතු කරන හඩ කැවීම් ඒකකයේ අනුර ධර්මසේන මට යෝජනා කරනවා තාරුණ්‍යත් එක්ක යන නිර්මාණයක් නිසා එයට උචිත තේමා ගීතයක් රචනා කරලා දෙන්න කියලා. ඒ අනුව තමයි ‘අහස සිඹින තුඟු මහල්’ ගීතය නිර්මාණය සමඟ සම්බන්ධ වෙන්නේ.

• සංගීතය, තනු නිර්මාණය හා ගායනය පිළිබඳවත් කතා කරමු?

ඇත්තටම මගේ පළමු චිත්‍රපට ගීය නිර්මාණයෙ බොහොම දක්ෂ ලෙසට සංගීතවත් කළේ උදාර සමරවීර. ඒ අනුව ‘කිරිල්ලියෝ’ සඳහා ද සංගීතමය දායකත්වය ලබා ගැනීමට අපි උදාර තෝරා ගන්නවා. ගායනයෙන් අපේ රටේ සිටින ජනප්‍රිය ගායන ශිල්පිනියක වන උරේෂා රවිහාරි සමඟ නව පරපුරේ දක්ෂ ගායිකාවක වන උපේක්ෂා නිර්මාණි මෙයට සම්බන්ධ වෙනවා.

• මේ තේමා ගීතයෙහි විශේෂත්වයක් දකිනවාද?

සැබැවින්ම මෑත යුගයේ අපි දුටුවේ නෑ කාන්තා හඬවල් දෙකකින් ගයන යුග ගීතයක්. ‘කිරිල්ලියෝ’ තේමා ගීතයත් එවැන්නක්. විශේෂයෙන් ම සමස්ත කතාවේ අරුත විනාඩි කිහිපයකින් වචන කිහිපයකට පිඬු කරන්නට මට හැකියාව ලැබුණා වගේම යුවතියෝ දෙදෙනාගේ ජීවන රටාවන් ප්‍රකාශ කරන්නට උරේෂාගේ හඬ මනාව ගැළපුණා. ඇයගේ හ‍ඬෙහි තිබෙන්නේ ජීවිතයේ ප්‍රීතිමත් ස්වරය... ගීතය තුළින් එය නින්නාද දෙනවා.. සේම උපේක්කා එයට ආසන්න හඬකින් ඇගේ හඬ විහිදුවනවා.

ඒ වගේම පසුගිය කාලයේ කොරියන් සහ ඉන්දියානු ටෙලිනාට්‍ය වලින් අපේ ප්‍රේක්ෂකයන් හෙම්බත් වෙලා හිටියේ. කාලෙකට පස්සේ තමයි ‘චීන’ ටෙලිනාට්‍යයක් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙන්නේ. තේමා ගීතය වගේම ටෙලිනාට්‍ය තුළ මා දකින විශේෂත්වය එයයි.

• ‍ෙම් ඔබේ කීවැනි තේමා ගී නිර්මාණයද?

සංඛ්‍යාත්මකව ගතහොත් නිශ්චිතව ගණනය කළ නොහැකි තරම්. මගේ මතකයේ හැටියට මේ වන විට ගී නිර්මාණ 700 කට ආසන්න ප්‍රමාණයක් මා අතින් නිර්මාණය ‍වෙලා තිබෙනවා. ඒ අතර චිත්‍රපට 50 කට ආසන්න ප්‍රමාණයක් හා ටෙලිනාට්‍ය ගීත 30 කට ආසන්න ප්‍රමාණ්‍යක්.

විශේෂයෙන් කියන්නට කැමැතියි මේ ගීතවලට අමතර ඉදිරියේදි තිරගත වීමට චිත්‍රපට ගණනාවක තේමා ගීත මේ දිනවල රචනා කරමින් ඉන්නේ. නිර්මාණය කර අවසන් වුණු තාමත් තිරගත නොවුණු චිත්‍රපට ගීත කිහිපයක් ද මගේ ආදරණීය රසිකයන්ට ඉදිරියේදි රසවිඳීමට පුළුවන් වේවි.

• ඔබ රචනා කළ ගී නිර්මාණ අතර අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් කෙටියෙන් සඳහන් කළොත්?

චිත්‍රපට ගීත ගතහොත් ආසයි මං පියාඹන්න / සුවඳ දැනුණා ජීවිතේ / රෝසකැලේ / ආදරණීය කතාවක් / වැනි සිනමාපටයන්හි තේමා ගීත වගේ ම සෙනුරි ටෙලිනාට්‍ය ගීතයත් හිතමනමාලකම් කරයි / ඔබ ගියාම දුක මටදී / කිරිකෝඩු හිතට / උන්මාදනී හැංගුණේ වැනි ජනප්‍රිය වුණු ගීත අතරින් කිහිපයක්.

• නිලාර් ඔබ සම්මානනීය ගී පද රචකයෙක්? ඒ පිළිබඳවත් කතා කළ යුතුමයි?

ඇත්තටම මම විශ්ව විද්‍යාලයේ සිටින අවදියේදී පැවති සියලු කලා උලෙළවල් වලින් සම්මාන හිමිවුණා. ඒ වගේම ස්වාධීන සාහිත්‍ය උලෙළේ හොඳම ගීත රචකයා ලෙසත්, ‘සිග්නීස්’ සම්මාන උලෙළේ හොඳම ටෙලිනාට්‍යය ගීත රචකයා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිරිනැමූ හොඳම ජනමාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් ද Bunka අන්තර්ජාතික සම්මානයෙන් ද පිදුම් ලබා තිබෙනවා.

සාමය හා සංහිඳියාව වෙනුවෙන් කළ නිර්මාණයේ යෙදීම වගේම රයිගම්, සරසවි, රාජ්‍ය සාහිත්‍ය වැනි සම්මාන උලෙළවල් වල අවස්ථා ගණනාවකම හොඳම තේමා ගීත රචකයාට නිර්දේශ වෙලා තිබෙනවා.

එහෙත් මා රචිත නිර්මාණ ජනතාව විඳිමින්, ඒවා ජනප්‍රවාදායට හා ජනප්‍රියත්වයට පත්වීම මේ සියලු සම්මානවලට වඩා ඉහළයි. මා රචිත නිර්මාණ සැලකිය යුතු ප්‍රමාණයක් එසේ ජනතා ප්‍රසාදයට ලක්වෙලා තිබෙනවා. එය තමයි මේ වනවිට මට ලැබුණු ඉහළම සම්මානය.

‘කිරිල්ලියෝ’ ගැන නිලාර් එක්ක කතාබහ කළා වගේම ඔහුගේ ඒ සොඳුරු පදවැල් තව තවත් සුන්දර වන්නට සිය මියුරු හඬ එකතු කළ උරේෂා හා උපේක්ෂා ‍ගැන කතා නොකළොත් අඩුවක් වේවි.

රූපවාහිනී නාට්‍යයකට ගී ගැයූ පළමු අවස්ථාව මෙයයි. එහෙම නේද උරේෂා... ඇය මගේ පැනයට පිළිතුරු ලබා දුන්නේ සුපුරුදු සිනාවෙන්.

• උරේෂා කිරිල්ලියෝ ගීතය ගැන ඔබෙ අදහස දැනගන්නට කැමැතියි?

ඇත්තටම රූපවාහිනී නාට්‍ය හා සම්බන්ධ වුණු පළමු අවස්ථාව මෙයයි. ‘කිරිල්ලියෝ’ කියන්නේ කාන්තාවක් විදිහට ජීවිතයේ එන ප්‍රශ්න හමුවේ ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව මැනැවින් පිළිබිඹු කරන කතාවක් විදිහටයි මා ‘කිරිල්ලියෝ’ දකින්නේ. ‍

• උපේක්ෂා ඒ පැනයම මම ඔයාගෙන් අහනවා?

උ‍ෙර්ෂා අක්කා කීවා වගේ කාන්තාවන්ට අභියෝග හමුවේ ජීවිතයට මුහුණ දෙන ආකාරය අප කාටත් කියා දෙන බොහොම අපූරු නිර්මාණයක් තමයි ‘කිරිල්ලියෝ’ කියන්නේ.

• ඔබ ගැයූ ගීත අතර මේ ගීතයේ විශේෂත්වයක් දකිනවද උරේෂා?

ඇත්තටම මා ගායන ක්ෂේත්‍රයට පිවිස දිගු කාලයක් වුවද වැඩිපුරම යුග ගීත මා ගායනා කළේ විරුද්ධ පාර්ශ්වයන් එක්ක. නමුත් ‘කිරිල්ලියෝ’ තේමා ගීතය ගැයෙන්නේ උපේක්ෂා සමඟ. කාන්තාවන් දෙදෙනෙක් ම යුග ගීත ගැයෙන නිර්මාණ අල්පයි. ඒ අතර කිරිල්ලියෝ ද මට විශේෂ වෙනවා.

• උපේක්ෂා ඔබේ අදහස?

නවක ගායිකාවක් විදිහට ගීත ගායනා කළ මට තවත් ගායිකාවක් සමඟ යුග ගීතයකට සම්බන්ධ වීමට ලැබීමත් විශේෂිත අවස්ථාවක්.

ඒ වගේම උරේෂා රවිහාරි වැනි දක්ෂ ගායන ශිල්පිණියක් එක්ක යුග ගීතයකට සම්බන්ධ වීමට ලැබුණු මගේ පළමු අවස්ථාව මේ.

අපූරු වූ තේමා ගී පදවැල්, සොඳුරුවූ ගායන හඬ, දක්ෂ හඬ කැවීම් සමඟ ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශය නිර්මාණය කළ ‘කිරිල්ලියෝ’ හට ඉතා දිගු ගමනක් පියාසර කරන්නට හැකිවේවායි රසඳුන අප ප්‍රාර්ථනා කරන්නෙමු. 

Comments