
මහනුවර මහියංගණය දහඅට වංගුව මාර්ගයේ කිලෝමීටර් 42ක් ගිය තැන හමුවන හුන්නස්ගිරිය කුඩා නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ අප රැගත් රිය නතර කෙරිණි.
“ඉදිරියෙන් පෙනෙන කඳු ගැටයත් එක්ක වමට තිබෙන ගල්-ගොඩැලි පාරෙන් තමයි මීමුරේට යන්නෙ” ඒ අප කළ විමසුමට ඉන්ධන පිරවුම්හලේ සේවකයාගෙන් ලැබුණ පිළිතුරයි.
සුන්දර මීමුරේ ගම්මානය සොයා හුන්නස්ගිරියේ සිට කිලෝමීටර් 37ක අතිදුෂ්කර මාර්ගය තරණය කිරීමට අපි සූදානම් වීමු. කලෙකට පෙර තාර අතුරා සාදා තිබෙන මාර්ගයේ වර්තමානයේ අලි නෑවිය හැකි වළවල් සේම වැස්සට සෝදාපාළුව නිසා අන්තයටම අබලන් වී තිබේ.
ඇතැම් තැන්වලදී වාහනයෙන් බැස රෝදයට ගල් තබා සීරු-මාරුවට වාහනය ඉදිරියට ඇදුණේ රියැදුරු මහේෂ්ගේ තිබූ දක්ෂතාව නිසාමයි. කඳු හෙල් නඟිමින් බහිමින් අවට සුන්දරත්වය විඳිමින් ගිය අප ඩින්ස්ටන් ප්‍රදේශයේදී නැවතුණේ වන සංරක්ෂණ කාර්යාලය දුටු විටයි.
“මෙතැනින් පුළුවන් පුංචි ලෝකාන්තය බලන්න යන්න...”මඟදී හමුවූ ගැමියෙක් කිවූ වදන් පෙළට එහි කාර්යාලයෙන් ටිකට්පතක් ගෙන අපේ නඩය සැරැසුණේ පුංචි ලෝකාන්තය නැරැඹීමට යාමටයි. අඩි පාරක් දිගේ කිලෝමීටර් එකහමාරක පමණ දුරක් ගිය තැන හමුවන එම පුංචි ලෝකාන්තයේ සිට අවට සිරි නරඹන විට දිස්වන්නෙ ඇස්-පිය නොහෙළා බලා සිටිය හැකි සුන්දරත්වයකි. හෙල්මළු කුඹුරු යායවල් මනස්කාන්ත රූරටා මවද්දී දහඅට වංගුව මාර්ගය ඇදෙන සර්පයෙකු සේ දිස් වේ. කිලෝමීටර් ගණනක් ඈතින් වික්ටෝරියා, සොරබොර වැව, මෙන්ම නකල්ස් කඳු ශිඛරද මනාව දිස් වේ.
පැයක පමණ ගමන් විඩාවකින් පසු නැවතත් මීමුරේ බලා යන මාර්ගයට පැමිණි අප ලූල්වත්ත තේ වත්ත පසු කරමින් දුම්බර කඳු ශිඛර තරණය කිරීමට සැරැසුණෙමු. මීමුරේ ගමනේදී හමුවන උස්ම බිම්කඩ වන කෝබට් ගැප් හෙවත් අට්ටලමෙට්ටුව නමින් හඳුන්වන ස්ථානය සුළං කපොල්ලකි. මීමුරේ බලා යන සෑම දෙනෙක්ම පාහේ අවට සුන්දරත්වය නැරැඹීමට එම ඉසව්වේ පා තබයි. එහි සිට බලන විට දකුණු දෙසින් මීමුරේ ගම්මානය පාමුලින් ඉහළට එසවන සුන්දර ලකේගල ඇතුළු නකල්ස් කඳු ශිඛර මනාව පෙනේ. වම්පසින් ගිනි පෙට්ටි මෙන් ලූල්වත්තේ ලැයිම් නිවාස පෙනෙද්දී හුන්නස්ගිරිය කඳු වළල්ලෙන් දිස්වනුයේ රමණීය දර්ශනයකි.
තෙල්දෙනියේ සිට මීමුරේ බලා දිවෙන තංගප්පුව රංගල මාර්ගයද කොබට් ගැප්හිදී හුන්සස්ගිරිය මාර්ගයට එක්වී එක් මාර්ගයක් ලෙස තවත් කිලෝමීටර් 15ක පමණ දුරින් තිබෙන මීමුරේ බලා ඇදේ. එතැන් සිට ප්‍රපාතයකට බසින්නාක් සේ අධික බෑවුම් සහිත අබලන් මාර්ගයේ ගමන් ගනිද්දී ඇතැම් ස්ථානවලදී වාහන දෙකක් මුහුණට මුහුණ හමුවුවහොත් කිලෝමීටර් ගණනාවක් එක් වාහනයක් ආපස්සට ගත යුතුම වේ. ඒ මාර්ගය එතරම්ම පටු සහ ප්‍රපාතයකට මායිම්ව තිබෙන හෙයිනි.
එවන් ගිරිදුර්ග මාර්ගයේ පැය හතර-පහක පමණ වෙහෙසකර ගමනකින් පසුව කායිකාවල, ගම්මානය පසුකරමින් මීමුරේ ගම්මැද්දෙ පිහිටි මීගස පාමුලින් මාර්ගය අවසන් වේ.
පවුල් එකසිය විසිපහක් පමණ ජනයා ජීවත්වන මීමුරේ ගමට ඇදෙන සිය ගණනක් වන පිටස්තරයන් සෑම දෙනාගේම අවශ්‍යතාවන්ට තිබෙන වෙළෙඳ සල් දෙක යෝධ මීගස සෙවණේය. ඒ අසලින්ම මීමුරේ කනිටු විදුහලයි. පර්චස් තුන-හතර ඉඩකඩේ පිහිටි පුංචි ගෙවල්වල වැට මායිම් සලකුණු වන්නෙ මීමුරේටම අනන්‍ය වූ ගල් වැටි බැමිවලිනි. නියම මීමුරේ ගම්මානයට පැමිණි බව පසක් වනුයේ එවැනි දසුන් දුටු විටයි.
අතීතයේ එනසාල් වගාව වර්තමානයේ ගම්මිරිස් වගාවට හැරී ඇත. මීමුරේ ගම්මානය මැද ලංකාවේ තිබෙන මැදමිදුලක් සහිත පුංචිම වලව්ව යැයි සිතිය හැකි පර්චස් තුනක පමණ ඉඩක වලව්වක් අදද දක්නට තිබේ. මීමුරේ තිබෙන පැරැණිම නිවාසය වන එය අවුරුදු සියයකට වඩා පැරැණි නිවසකි.
ගස්කොළන් අතරින් ලකේගල කඳු ශිඛරය දකිද්දි තේජාන්විත බවක් දිස්වේ. ගම්මු ලකේගල සලකන්නෙ ගමට ආශිර්වාදය ගෙන දෙන දේවතාවියක් ලෙසිනි. ලකේගල ආශ්‍රිතව ජනප්‍රවාද කතා රැසක් ගැන අපව දැනුවත් කළේ මීමුරේ පාසලින් උගෙන වර්තමානයේ විදුහල්පතිවරයකු ලෙස කටයුතු කරන ගාමිණි අභය මහතායි.
“ලකේගල රාවණා රජතුමාගේ දඬු මොනරය ඉහළට නංවපු තැන කියලත් කියනවා. ඒ වගේම නැඟෙනහිර මුහුදේ නාවික යාත්‍රාවන්ට මඟ පෙන්වූ උස් ස්ථානය බවටත් සැලැකෙනවා. ඒ නිසා ඉලක්කගල, ලකේගල ලෙස නම්වර ලැබුවා කියල ජනප්‍රවාද තියෙනවා. ඊට අමතරව ලකේගල ආශ්‍රිතව බොහෝ කවි, කතාන්දර බිහිවී තියෙනවා.”
පූදින්නට ආසන්න හෙල්මළු කුඹුරු යායවල ගමට පැමිණි නගරවැසියෝ ගමන් කරන්නේ නගරයේදී නොලැබෙන ගමේ අසිරිය විඳිමිනි. ගම මැදින් ගලා බසින මීමුරේ ඔය නොහොත් දීඹිගොල්ල ඔය ගමට වාසනාව සේම ඉදිරි අනාගතයේදී අවාසනාව කැන්දාගෙන ඒ යැයි සිතෙන ශීතල දිය පහරයි. ඒ පිටස්තරයන් මීමුරේට ගොස් කරන කියන දේ දුටු විටයි.
ගමට ඇදෙන සෑම දෙනෙකුම එම දිය පහරේ දියබුං ගැසීමට නොතිත් ආසාවක් දක්වයි. 1994 වර්ෂයේ විජය ධර්මශ්‍රී නිපදවූ කස්තිරම ටෙලි නාට්‍යය මීමුරේ, කායිකාවල ගම්මාන ආශ්‍රිතව රූගත කෙරිණි. අනතුරුව 2004 වසරේ සෝමරත්න දිසානායකගේ නිර්මාණයක් වූ සූරිය අරණේ බොහෝ දර්ශන රූගත වූයේ මීමුරේ ගම්මැද්දෙන් ගලා බසින දීඹිගොල්ල ඔය ආශ්‍රිතවයි. එම චිත්‍රපටයෙන් පසුව වර්තමානයේ මීමුරේට නව සංස්කෘතියක් බිහි වෙමින් තිබේ. ඒ හරහා තැන තැන ඇටවූ කූඩාරම් නිවාස ‘කැම්ප් සයිට්’ ලෙසින් මීමුරේට ඇදෙන තරුණ ගැටවු අතර ඉතාම ජනප්‍රියය. එම සංස්කෘතිය නිසා ඉදිරියේදී මීමුරේ සුන්දරත්වය ගැන පවතින්නෙ ප්‍රහෙළිකාවකි.
එම චිත්‍රපටයේ පොඩි සාදු සමඟ වැදි කොලුවා ගඟේ පෑ සියලු සෙල්ලම් අද වන විට මීමුරේ වැසියන්ගේ ආදායම් මාර්ග වී තිබේ. එහෙත් එම ජල ක්‍රීඩාවල ඇති අවදානම ගැන සෑම දෙනාගේම අවධානය යොමු විය යුතුය.
මීමුරේ ගම්මැද්දෙ තිබෙන බෝ ගස විශේෂ තැනකි. ගමේ සෑම විශේෂ කටයුත්තකදී සේම උදේ හවා විවේකයේදී ගමේ ජනයා ආ-ගිය කතා විචාරන්නෙ අසල වෙල මැද්දෙන් හමා එන ශීත සුළං විඳිමිනි. ගමේ කුඹුරට බොහෝ දෙනෙක් අඳින සිරකරු ජම්පරය මෙන් හඳුන්වන්නෙ සරුවාලය ලෙසිනි. ඒ පිළිබඳව ගැමියෙක් කීවේ, “මේක අපේ ගමටම ආවේණික ඇඳුමක්. ගස් නඟින්නත්, කුඹුරු කොටන්නත් ඕනෑම වැඩකට මේක තමයි අපි අඳින්නෙ.” එසේම ගැමියෝ බුලත්විට වෙනුවට හපන්නෙ මදුරුතලා කොළ වැනි මීමුරේට ආවේණික තලා කොළ විටයි.
අපට හමුවූ 50 වියැති කිරිබණ්ඩා අදටත් සිතන්නෙ කොළඹ පිටකොටුව යනු තාප්පයකින් හෝ කිසියම් දේකින් කොටු කළ බිම් කැබැල්ලක් ලෙසයි. ඒ ඔහු ජීවිතයේ කිසිම දිනෙක හුන්නස්ගිරියෙන් මෙපිටට නොගොස් නිසයි. “මෙහේ ගැමියෝ බොහෝ දෙනෙක් කොළඹ දැකලා නැහැ. ඒත් පාසල් දරුවොනම් පහුගිය කාලේ කොළඹ ගෙනිච්චා මහත්තයලාගේ පත්තරේ උදව්වෙන්...”ගැමියෙක් සිහිපත් කළේ 2016 වසරේදී අප පුවත්පතේ හිසින් ලියූ ලිපිය මඟින් මීමුරේ ඇතුළු අවට පාසල් තුනක දරුවන් දින කිහිපයක චාරිකාවක් සඳහා කොළඹ රැගෙන ඒමේ කතාවයි.
එහෙත් මීමුරේ ඉපදුණු තැනැත්තෙක් වර්තමානයේ එංගලන්තයේද ජීවත් වේ. “අපේ මල්ලි ජීවත්වෙන්නෙ එංගලන්තෙ... එයාට දැන් වයස 40 යි. ඔහු එකේ පන්තියේ ඉඳන්ම කොළඹ රාජකීය විද්‍යාලයට ගියේ. අපේ ගම්මානය එතරම් දියුණු නැතිවුණත් අපේ අම්මටයි තාත්තටයි අපිට හොඳට උගැන්විය යුතුයි කියන අදහස එදා ඉඳන්ම තිබුණා.” ඒ ගාමිණි සර් අපට කියූ අතුරු කතාවකි.
මීමුරේට ගමන නුවර දෙසින් වුවත් මීමුරේට ආසන්න මාතලේ ප්‍රදේශයයි.
“අපි දැනුත් හැතැප්ම හතක් විතර ඈතින් තියෙන අඩි පාරෙන් ලග්ගලට පයින් යනවා. ලකේගලින් එහා පැත්ත ලග්ගල.”ගැමියෙක් කීය.
මීමුරේ අසිරිය විඳිමින් ගම පුරා ඇවිද්ද අප දුටු ඛේදනීය දසුන්නම් එමටය. තැන තැන පිටස්තරයන් ගමට ගෙන ගිය බෝතල්, පොලිතින් බෑග් සෑම තැනමය. ඊට අමතරව අපට දැනගන්නට ලැබුණේ තරුණ තරුණියෝ නොයෙක් ආකාරයේ දුරාචාරයන්ද ඒ සුන්දර ගමට රැගෙන එන බවයි. ඊට වහා වගකිවයුත්තෝ වැට බැඳිය යුතුය. එසේම අප සිටි දිනවලදී ඇතැම් තරුණ තරුණියෝ කා-බී මත්වී අශෝභන හැසිරීම්වල නිරත වූ බවට ද වාර්තා විය. මේ නිසා පරිසරයට ආදරය කරන්නන්ට නෙත්පුරා දැකබලාගෙන සිත්පුරා සතුටු විය හැකි මීමුරේ සුන්දරත්වය මෙවැනි බාල දේවල්වලින් විනාශ නොකරන්නැයි සිදාදියෙන් මෙහි එන සංචාරකයින්ගෙන් ඉල්ලීමක් කරන්නට මෙය අවස්ථාවක් කරගනිමු.
ඒ සුන්දර ගම රැකගැනීම අප කාගේත් යුතුකමයි. එසේම ගමේ අයවලුන් ද ගමට පැමිණෙන ආගන්තුකයන්ට නගරයේ තිබෙන විච්චූර්ණ කෑම-බීමවලින් තොරව නියම ගමේ කෑම වේලකින් වගේම ගමේ සිරිත්-විරිත්වලින්ම සංග්‍රහ කරනවානම් පිටතින් මීමුරේට එන අයට ගමේ තිබෙන වෙනස හොඳින්ම අත්විඳිය හැකිය.