
ආයෙ අමුතුවෙන් මොකටද?
“අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔය අනිත් ගෙවල්වලට කැවිලි පෙවිලි පිඟන් ගෙනිච්චට අල්ලපුවත්තෙ සෝමා ඇන්ටිලගෙ ගෙදරට නං ආයෙ අමුතුවෙන් ඒවා ගෙනියන්ඩ ඕනෑ වෙන්නෙ නැහැ අම්මේ.” ප්‍රමෝද් තම මව දෙස බලා කීවේ කිරිබත් කමින් සිටියදී ය.
“ඒක හරි අපූරු කතාවක් නෙ. ඒ ගෙදරට විතරක් ඒවා නොදෙන්නෙ අහවල් හේතුවක් හින්දද?” ශාන්ති තම පුතු දෙස බලා ඇසුවේ විමතියෙනි.
“ඇයි, ඊයේ, පෙරේදා දවස් දෙකේම අපේ මී කතුරට අහුවෙලා හිටපු මැරුණ මීයෝ දෙන්නවම පාන්දර යාමේ විසිකෙරුවේ සෝමා ඇන්ටිලගෙ වත්තට නේද? ඉතින් ආයෙ අමුතුවෙන් තවත් කැවිලි පෙවිලි ගිහින් දෙන්නෙ මොකටද?” ප්‍රමෝද් ඇසුවේ සිනාසෙමිනි.
දැන් මොකටද?
“ඇයි තාත්තෙ අර අලුත්ම හෙල්මට් එක රාමනායක අන්කල්ට දීලා දැම්මේ? තාත්තා ඔය ළඟ පාත ඡන්දදායකයෝ මුණ ගැහෙන්ඩ සමහර වෙලාවට යන්නෙ බයික් එකෙන් නේද? එතකොට හෙල්මට් එක ඕන වෙනවනෙ?” නිමල් තම පියා දෙස බලා ඇසුවේ විශ්මය පළ කරමිනි.
“ආසනේ අය මුණ ගැහෙන්ඩ යනකොට දැන් මොකටද පුතේ හෙල්මට් දාගෙන යන්නෙ? මම දැන් ඇමැතිකමෙන් ඉල්ලලා අස්වෙලානෙ ඉන්නෙ” හිටපු ඇමැතිතුමා කීවේ සැහැල්ලු සිනාවක් පාමිනි.
දෙක පැටලිලා
වෙසක් පෝ දිනයේ පන්සලේ දී සිල් ගත් උපාසක උපාසිකාවන් හට දහවල් දානයෙන් පසු නියමිත වූයේ මෛත්‍රී භාවනාව වැඩීමට ය. ඒ අනුව දයානන්ද මාමා සමඟ සිල් සමාදන් වූ රූපසිංහ කැටුව බෝ මළුවේ නිදහස් තැනකට ගොස් එරමිණිය ගොතා වාඩි වී මෙසේ මුමුණන්නට විය.
“සාදුකින් පෙළනවුන් - දැන් ඉතින් නැගිටියව්...”
“සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා - නීරෝගී වෙත්වා” කියල කියනවා වෙනුවට මොනවද උඹ ඔය කියවන්නට ගත්තෙ?” වහා දයානන්දට අවහිර කරමින් රූපසිංහ ඔහු වළකාලූයේ වැලමිටින් ඔහුගේ ඉළයට අනිමිනි.
“හුටා...” වෙසක් ඉවර වුණු ගමන්මනෙ බං මෙදා සැරේ මැයි දිනේ යෙදිලා තියෙන්නෙ. මට ඔය දෙක පැටලුණා” දයානන්ද කීවේ විචිකිච්ඡාවෙන් වටපිට බලමිනි.
සංක්‍රමණයත් වෙනස් වෙලා
“සිංහල අවුරුදු උදාවෙදි මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වෙනවයි කියල නේද අනේ කියන්නෙ?” තෙල් තාච්චිය ඉදිරිපිට බංකුවේ වාඩි වී කැවුම් බඳිමින් සිටි ශාන්ති, ඒ දෙස බලා සිටින සැමියා දෙස බලා ඇසුවා ය.
“ඒ ඉස්සර නොවැ හාමිනේ. දැන් අලුත් අවුරුදු උදාව එනකොට ඒ පැත්තෙ ඉඳලා මේ පැත්තට සංක්‍රමණය වෙන්නෙ අපේ මැති ඇමැතිවරුනෙ” චන්ද්‍රසිරි සිනාසෙමින් කීවේ තෙල් තාච්චිය අසල වට්ටියේ තිබූ කැවුමක් ගෙන හපමිනි.