සමා­ජ­යට සේවය කිරීම අපේ පද­නමේ අර­මු­ණයි | සිළුමිණ

සමා­ජ­යට සේවය කිරීම අපේ පද­නමේ අර­මු­ණයි

'සිතාරා ගී දැහැන' 20 වැනිදා ටවර් රඟහලේදී

 

ටවර් රඟහල පදනම හා සිතාරා කලායතනය එක්ව සංවිධානය කරන පැරැණි සුභාවිත ගීතයේ මිහිර ඒ අයුරින්ම විඳගන්නට සූදානම් කරන මියුරු සරින් හද පිරිමදින 'සිතාරා ගී දැහැන' සංගීත ප්‍රසංගය මේ මස 20 වැනි දින ප.ව 6.00ට මරදාන ටවර් රඟහලේදී පැවැත්වීමට නියමිතයි.ඒ පිළිබඳව සිතාරා අධ්‍යාපන හා සංස්කෘතික කලා පදනමේ අධ්‍යක්ෂ ලසන්ත දේවප්‍රිය අල්විස් සමග කළ කතාබහකි මේ.

'සිතාරා ගී දැහැන' ප්‍රසංගය මොනවගේ අත්දැකීමක්ද... ?

සිතාරා අධ්‍යාපන හා සංස්කෘතික කලා පදනම පිහිටුවා ලබන වසරට වසර විසි පහක් සම්පූර්ණ වෙනවා.ඊට අමතරව කොහුවල සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා වසරක් පිරෙනවා.ඒ නිමිත්තෙන් තමයි මේ මස 20වැනිදා සවස 6.00ට මරදාන ටවර් රඟහලේදි සිතාරා ගී දැහැන ප්‍රසංගය පවත්වන්නේ. මෙම ප්‍රසංගය නොමිලයේ පවත්වන නිසා ඕනෑම කෙනකුට සහභාගිවිය හැකියි.

මෙම ප්‍රසංගයට සහභාගිවන කලාකරුවන් සිහිපත් කළොත්..

දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් දස දෙනෙක් මෙම ප්‍රසංගයට සහභාගිවෙනවා.හෙළයේ ගී කෝකිලාවිය ලතා වල්පොල, ඉෂාග් බෙග්, කලාවතී, රූපා ඉන්දුමතී, සූරියකුමාර මුත්තලගේ, එම්. පී චන්ද්‍රලතා, ත්‍යාගා එන්. එඩ්වඩ්, කුමාරි පෙරේරා, රොජර් සෙනෙවිරත්න, නුවන්ගි ලියනගේ, සමදරා ආරියවංශ, රංජනී පෙරේරා සහ ක්‍රිස්ටෝපර් පෝල් යන ගායක ගායිකාවන් සමග සිතාරා කලායතනයේ සාමාජික සාමාජිකාවන් මෙහිදී ගීත ගායනා කරනවා. සංගීත විශාරද ලලිත් ශාන්තප්‍රිය ප්‍රමුඛ ගුවන්විදුලි වාදක මණ්ඩලය සංගීතය සපයන අතර ප්‍රවීණ කලාකරු කලාශුරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ කථනයෙන්සහභාගි වෙනවා.

*සිතාරා සංස්කෘතික පදනමෙන් සිදුකෙරෙන කලා කටයුතු මොනවාද...

අපේ පදනමේ සාමාජික සාමාජිකාවන් එකසිය අටදෙනෙක් සිටිනවා.අපි සියලු දෙනාගේම අරමුණ සමාජ සුබ සිද්ධිය සඳහා යම්කිසි සේවයක් කිරීමයි. ඒ අතර අපොස සා.පෙළ සහ උසස් පෙළ සිසුන්ට සහ සංගීත විශාරද දක්වා ඉගෙන ගන්නා තරුණ තරුණියන්ට නොමිලයේ සංගීත දැනුම ලබාදෙනවා.කොහුවල මධ්‍යස්ථානයේ සෑම සෙනසුරාදාවකම උදේ 8.00සිට සවස 5.00දක්වා පන්ති පැවැත්වෙනවා. මෙහි පැවැත්වෙන පන්තියට ඕනෑම ගායන හැකියාවක් ඇති අයකුට සහභාගිවිය හැකියි. මෙයට අමතරව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පාසලකින් හෝ සමීතිවලින් සංගීතය පිළිබඳ වැඩමුළුවකට අප සංවිධානයට ආරාධනා කළහොත් ඒවාට නොමිලයේ සහභාගි වී නොමිලයේ සංගීත දැනුම ලබාදෙන්නත් අප පදනම සූදානම්.

*පාසල් සිසුන්ට පමණද සංගීත දැනුම ලබාදීමට ඔබ පදනමෙන් තෝරාගන්නේ..

නැහැ. සංගීතය ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනකුට අප පන්තියට සහභාගිවිය හැකියි. ඒ වගේම අපේ පදනමෙන් විවිධ සද්ක්‍රියාව රැසක් සිදුකරනවා. පසුගිය කාලයේ සියල්ලෝම මනුෂ්‍යයෝය යන මාතෘකාව යටතේ සමාජයේ සිදුවන විවිධ මාතෘකා පිළිබඳව රටේ විවිධ පළාත්වලට ගොස් වීදි නාට්‍ය රඟ දක්වා ජනතාව දැනුම්වත් කළා. නාට්‍ය හා රංග කලාව පිළිබඳව අසූව දශකයට කලින් නිර්මාණය වු නූර්ති, නාඩගම් සහ පැරැණි චිත්‍රපට ගීත සිංහල, දෙමළ , හින්දි භාෂා තුනෙන්ම ගායනා කිරීමට ඕනෑම කෙනෙක් පුරුදු පුහුණු කරනවා. දැනටත් රුක්මණී දේවි ප්‍රසංගයට ගායනයෙන් සහභාගිවන ශිල්පීන් සහ ශිල්පිනියන් පුරුදු පුහුණු කරවන්නේ අප පදනමෙන් . පසුගිය වසරේ කතරගම මහා දේවාලයේ පැය දෙකක භජන් ගායනයක් කළා. එය වාර්ෂිකව සිදුකිරීමට කතරගම මහා දේවාලයෙන් අපට අවසර ලබා දී තිබෙනවා. මෙවරත් ජුනි මස තිස්වැනි දින එය පැවැත්වීමට නියමිතයි.ඒ වගේම වැඩිහිටි නිවාසවල වෙසෙන වයෝවෘධ මවුපිය වරුන්ගේ මානසික සුවතා නැංවීමේ වැඩසටහන් පවත්වනවා. මෙවැනි සද්ක්‍රියා රැසක් අප පදනමෙන් සිදුකරනවා.

*මෙවැනි සමාජ සත්කාර වෙනුවෙන් දායකත්වය ලබාදෙන පිරිස සඳහන් කළොත්..

අප සංගමයේ නාට්‍ය කලා උපදේශක ලෙස පසුගිය කාලයේ කටයුතු කළේ ආචාර්ය ගාමිණි හත්තොට්ටුවේගම සහ සමරනායක යන මහත්වරු. පසුගිය වසරේ සිට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුරේෂ් අබේසේකර සහ මම ගුරු උපදේශකවරු ලෙස කටයුතු කරනවා.පාසල් සිසුන්ට සංගීත දැනුම ලබාදීම සිදුකරන්නේ මා විසින්මයි. පසුගිය වසරේ තමයි අප සංගමයට ස්ථීර ස්ථානයක් ලැබුණේ. එය ලබා දුන් දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ මංගල විජය කුලරත්න මහතාට ස්තූතිවන්ත වනවා.ඒ වගේම මෙහි පුහුණුවීම් ලබාදෙන සංගීත උපදේශක ජීවානන්ද කුලරත්න,සංගීත මාස්ටර් විල්මන්ද අල්විස්, සංගීත විශාරද රවී ශාන්තප්‍රිය, සංගීත විශාරද ලසන්ත දේවප්‍රිය අල්විස් යන මහත්වරු ස්වේච්ඡාවෙන් කිසිම ලාබ ප්‍රයෝජනයක් නොගෙන අපේ සංවිධානයට සහයෝගය ලබාදෙනවා. විශේෂයෙන් සිතාරා ගී දැහැන සංගීත ප්‍රසංගයට සංගීතය සපයන්නේ රවි ශාන්තප්‍රිය ප්‍රමුඛ ගුවන්විදුලි සංගීත කණ්ඩායම. ප්‍රසංගය සහභාගිවීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් 077-4502577 දුරකථන අංකයෙන් මා ඇමතිය හැකියි.

 

Comments