සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

හිරු නුඹ කොයි වෙලාවේද බැහැල යන්නේ. නුඹ බලයි මම නුඹත් එක්ක තරහ වෙලා කියලා. ඇත්තට ම නැහැ මම නුඹත් එක්ක තරහ වෙලා නෙවෙයි රෑට නිදියන්න මට මගේ පුංචි මාලිගාව හදාගන්න ඕනි. ඒකයි මම සඳ එනකම් බලන් ඉන්නේ. එහෙම නොවුණොත් මට රෑ ගෙවන්න වෙන්නේ නින්දක් නැතුව. තට්ටු ගෙවල් නැති වුණාට, විසිතුරු දේවල් නැති වුණාට මේ පුංචි කඩ පිලේ එලාගන්න කාඩ්බෝඩ් ටික රත්තරං වගේ. ඒමත වැතිරුවාම දැනෙන සුවය හරියට සක්විති රජකම ලැබුණා වගේ. නිදි මැරු නෙතට- මුළු රැය පුරාවට, කඩ පිලේ ඉඳන්- සක්විති වෙනවා. ඒකයි මම කිව්වේ නින්ද නැති වුණත් මම කඩ පිලේ ඉඳන් සක්විති වෙනවා කියලා. හැබැයි යළි උදා හිරු එද්දි ඒ සක්විති රජකමට ලැබුණු ඔටුන්න බිමට වැටෙනවා. එහෙම වුණා කියල මම කවදාවත් දුක්වෙන්නේ නැහැ. මොකඳ මම දන්නවා කවද හරි මේ කඩ පිල රජ මැදුරක් කරගෙන ඉන්න පුළුවන් වේවි කියලා.

මේ මියුසික් වීඩියෝව මෑත කාලේ ආව ගීත අතර තිබුණු වෙනස්ම ආරේ ගීතයක්. ඒ නිසාම කොහේද බොහෝ දෙනෙක් මෙම ගීතය නරඹලා තිබුණා. වීදියක ජීවිතය ගෙනියන දරුවෙක් වටා ගෙතුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වුණ මෙහි පදරචකයාත්, ගායකයාත් යන භූමිකා දෙකම චන්ද්‍රසිරි හෙට්ටිආරචිගේ වීමයි මෙහි ඇති සුවිශේෂත්වය. මෙහි සංගීතය නුවන් පීරිස්ගේ වගේම රූප රචනය සම්පත් කුමාරගේ. පාඨකයන්ගේ කතාබහට ලක්වෙලා තිබෙන මේ ගීතය ගැනත් චන්ද්‍රසිරි හෙට්ටිආරච්චිගෙන් විමසුවා.

# චන්ද්‍රසිරි කොහේද ගම් පළාත ?

අත්තනගල්ල නිකනැටිය කන්ද කියන සොඳුරු ගම්මානයේ

# අධ්‍යාපනය හැදෑරුවේ ?

නිකනැටිය කන්ද කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයන්ගෙන් ඉගෙන ගත්ත මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. අද වෙන කොට අධ්‍යාපන සංවර්ධන නිලධාරියෙකු ලෙස බටේපොල මහා විද්‍යාලයේ සේවය කරනවා.

# සංගීතයට යොමුවෙන්නේ ?

පුංචි කාලේ ඉඳලා සංගීතයට ලොකු අසාවක් තිබුණා. ඒ නිසාම පාසලේදිත් සංගීතය හැදෑරුව විතරක් නෙවෙයි විවිධ තරගවලට එකතු වෙලා ජයග්‍රහණ පවා ලබාගත්තා. ඊට පස්සේ සරසවියෙන් ඉවත් වුණත් සමඟ සංගීතය පැත්තට වැඩි කාලයක් යෙදෙව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස මුල්ම ගීතය වීදිකොනේ කඩපිලමත කියන ගීතය එළිදක්වන්න පුළුවන් වුණා.

# වීදි දරුවන් වෙනුවෙන් ගීතයක් ලියැවුණේ ඇයි ?

මම කැලණිය සරසවියේ ඉඳලා සවස යද්දි පිටකොටුවේදි දැක්ක සිදුවීමක් පාදක කරගෙන තමයි මෙම ගීතය නිර්මාණය කළේ. මෙය මගේ ඇස් දෙකෙන් දැක්ක සත්‍ය සිදුවීමක්. ඇත්තටම අපේ වීදි දරුවන්ගේ දෛනික ජිවිතය දැක්කම පුදුම හිතෙනවා.

# අපේ රටේ ජනප්‍රිය ගායකයකුගේ රූපයටත්, හඬටත් ඔබේ රූපයත්, හඬත් සමාන යැයි බොහෝ දෙනකු කියනවා. ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ ?

ඔබ කියන දේ ඇත්ත. බොහෝ දෙනෙක් මට එහෙම කියලා තිබෙනවා. ඒ නිසා සංගීත සංදර්ශනයකට ගියත් එතුමාගේ ගීත ගායනා කරන්න කියලා ඉල්ලීම් එනවා. හැබැයි මම කවදාවත් එතුමන්ට හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. එතුමන්ගේ හඬ අනුකරණය කරන්නෙත් නැහැ. මම ගීත ගායනා කරන්නේ මට උපතින්ම හිමිවෙච්චි හඬෙන් විතරයි.

# ගීත කොපමණ කරලා තිබෙනවා ද?

සිරවෙලාද නුඹ ආලකමන්දාවේ, දෑස නුඹ සොයන තරම්, අප්පච්චී, මා හා තනිවී, තනියහන මත එදා, මල්සූටික්කන් වැනි ගීත කිහිපයක් කරලා තිබෙනවා.

# ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මගේ රැකියාවත් කරන ගමන් තව තවත් හොඳ ගීත රසිකයන් වෙත දෙන එක තමයි මගේ එකම අරමුණ.

# කවුද අතහිත දුන්නේ ?

මගේ බිරිය, දරුවන්, ඥාතීන් වගේම ප්‍රේමලාල් විජේසුන්දර, ප්‍රියංකා නිල්මිණි. මිහිරි සහ මහින්ද යන සහෘදයන් හැමදාම මට ශක්තියක් වුණා.

 

Comments