මිනිස්සු චිත්‍ර­ප­ට­යක් බලන්නේ ප්‍රශ්න තව වැඩි­ක­ර­ගෙන එන්න නෙවෙයි | සිළුමිණ

මිනිස්සු චිත්‍ර­ප­ට­යක් බලන්නේ ප්‍රශ්න තව වැඩි­ක­ර­ගෙන එන්න නෙවෙයි

 යම රජ සිරි චිත්‍රපටයට පාදක වන කතා වස්තුව කුමක් ද?

ජෝන් සහ මාටින් කනත්ත මුර කරන සේවකයන් දෙදෙනෙක්. ඒ දෙන්නගේ බිරින්දෑවරුන් තමයි සෝමා සහ පත්මා. මේ පවුල් දෙක ජීවත් වෙන්නේ දැඩි ආර්ථික අපහසුතාවයෙන්. දිනක් ඔවුන් කනත්ත මුර කරමින් සිටින විට ආලෝකයක් විහිදුවමින් රජ ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙක්, සෙනවියෙක් සමඟ දිස්වෙනවා. මේ දෙපිරිස අතර වාද විවාද යද්දි යමරජ ගිනි ජාලා මවා තමන් යම රජු බව පෙන්වනවා. ඉන් පස්සේ තමන් නරලොවට පැමිණි හේතුව කියනවා. තමන් වසර දෙකකට වඩා කාලයක් යමදේවිය සමඟ ඒකාකාරී ජීවිතයක් ගෙවමින් සිටින බවත්, ඉන් මිදීමට නව ලොවෙන් පංචකල්‍යාණියක් සොයා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වෙනුවෙන් මුරකරුවන් දෙදෙනාට වරයක් ලබා දී අතුරුදන් වෙනවා. මේ මුරකරුවන් දෙදෙනා ඒ බලය යොදාගෙන කරන අකටයුතුකම් ගැන තමයි මේ චිත්‍රපටය පුරා දිවයන්නේ.

මෙවැනි හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙළඹුණේ ඇයි ?

අපේ රටේ මිනිස්සු ඉන්නේ ප්‍රශ්න රැසක. ඒ නිසා වැඩි දෙනෙක් ඉන්නේ මානසික පීඩනයෙන්. එහෙම ඉන්න පිරිස් හට තව තවත් පීඩනයක් ඇති වෙන නිර්මාණ කරලා පලක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා මානසික සැහැල්ලුවක් ලබාදෙන්න පුළුවන් නිර්මාණයක් කරමු කියලා. ඒ අනුව තමයි යම රජ සිරි කියන හාස්‍ය උත්පාදන චිත්‍රපය නිර්මාය කළේ. අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ චිත්‍රපටය නරඹන රසිකයන්ට තමන්ගේ ප්‍රශ්න ටික මොහොතකට හෝ අමතක කරලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කම ලැබේවි කියලා.

මේ චිත්‍රපටයේ විශේෂත්වයක් තිබෙනවා නේද?

ඔව්. මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ ඉන්න දක්ෂ හාස්‍ය උත්පාදන නළුවන් දෙදෙනකු වන බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එක්ව මෙහි රඟපෑම. මේ දෙන්නා එකට රඟපාන්නේ වසර දහයකට පමණ පස්සේ වීමයි මෙහි ඇති සුවිශේෂත්වය. අපේ රටේ වැඩිහිටියගේ ඉඳලා පොඩි දරුවා පවා දන්නවා බන්දු-ටෙනී කිව්වම හාස්‍යයට උපන් හපන් දෙන්නෙක් කියලා. මේ දෙන්නා එකට එක් වුණ තැන සිනා සාගරයක් ඇති වෙන එක අලුත් දෙයක් නෙවෙයි. අනිත් කාරණය තමයි අපේ රසිකයෝ මේ අයගේ රඟපෑම් බලන්න පුදුම කැමැත්තක් දක්වනවා. ඒ වගේම හොඳ හාස්‍ය උත්පාදන චිත්‍රපටයක් විදියට පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන්කම තිබෙනවා.

බන්දු සහ ටෙනි වර්තමාන රසිකයන් හමුවේ මාකට් කරන්න පුළුවන් කියලා හිතනව ද?

ඇයි බැරි. ඒ දෙන්නා අපේ රටේ ඉන්න දක්ෂ හාස්‍ය උත්පාදන නළුවෝ දෙන්නෙක්. ඒ දෙන්නා අදටත් මොන දේ කළත් රසිකයන්ගේ ප්‍රතිචාරයේ කිසිඳු අඩුවක් නැහැ. ඔවුන් රඟපාන වේදිකා නට්‍ය බලන්න කොයිතරම් පිරිස් යනවද ? ඒ නිසා අපි දන්නවා හොඳ තෝරාගැනීමක් කළේ කියලා.

වර්තමානයේ තිබෙන චිත්‍රපට සමඟ ‘යම රජ සිරි‘ චිත්‍රපටයට තරග කරන්න පුළුවන් ද ?

පසුගිය කාලය පුරාවටම අපි දැක්කේ එක්කෝ රජ කතා, නැත්නම් ළමා කතා. ඒ නිසා ඒකාකාරී රැල්ලක් නිර්මාණය වෙලා තිබුණා. එයින් මිදිය යුතුයි කියන තැන අපි හිටියා. අනෙක තමයි මම මුලදිත් කිව්වා මිනිස්සු චිත්‍රපටයක් බලන්න යන්නේ ඒකාකාරිත්වයෙන් මිදිලා විනෝදාස්වායක් ලබන්න. එහෙම නැතුව තියෙන ප්‍රශ්න තව වැඩි කරගෙන එන්න නෙවෙයි. ඒ නිසා මම හිතනවා ප්‍රශ්න අමතක කරල සැහැල්ලුවෙන් විනෝද වෙන්න කැමැති පිරිස් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය නරඹාවි කියළා.

මෙහි රූගත කිරීම් සිදුකළේ කුමන ප්‍රදේශයන්හිද ?

අම්බුලුවාව, මහරගම, පමුණුව, ජයවර්ධනපුර රෝහල් ප්‍ර දේශයේ වගේම කොළඹ ප්‍රදේශ කිහිපයකම මෙහි රූගත කිරීම් සිදුකළා.

අපේ රටේ ෆිල්ම් බලන්න වෙනද තරම් රසිකයෝ සිනමා ශාලාවලට නොයන්නේ ඇයි ?

ඒකට හේතු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනී චැනල් කීයක් තිබෙනවද? ඔවුන් නිතර නිතර චිත්‍රපට ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා රසිකයෝ සිනමා ශාලාවල්වලට යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අනෙක් කාරණය ආර්ථික ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා යන්නෙත් නැහැ.

මේ තත්ත්වය වලක්වා ගන්න නම් රජය මැදිහත් වෙලා රූපවාහිනිවල යන චිත්‍රපට සීමා කරන්න ඕන. එහෙම නොවුණොත් සිනමා කර්මාන්තය බිඳවැටීම වලක්වා ගන්න බැරි වෙනවා.

ඔබේ වෘත්තිය චිත්‍රපට හදන එකද ?

මම වෘත්තියෙන් රක්ෂණ ආයතනයක නිලධාරිවරයෙක් ලෙස කටයුතු කරනවා. පොඩි කාලයේ ඉඳලා සිනමාවට පුදුම අසාවක් තිබුණේ. ඒ වගේම චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ බොහෝ පිරිසක් ඇසුරු කරන්නත් අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපටක් නිෂ්පාදනය කරන්න. මම මෙහි සම නිෂ්පාදකවරයෙක් විතරයි. අනෙක් සම නිෂ්පාදකවරයා තමයි සංගීත් අල්ගම. අපි දෙන්නා එකතු වෙලා තමයි මෙය නිෂ්පාදනය කළේ. ඒ වගේම ඉදිරියෙදිත් තව තවත් නිර්මාණ රසිකයන් වෙත ලබාදෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා.

 

Comments