
අක්කා ගෙදර හිටියත් නැතත් රිචාඩ් හැම සති අන්තයෙම අපේ ගෙදර ආවා. සමහර දවස් වලට සතිය මැදත් ආවා.
“වත්තට යන ගමන් ආවා ලීනා.‘‘
තේ කෝප්පයක් අරගෙන යන අම්මට රිචාඩ් කියනවා මම අහලා තියෙනවා. ඒක හරිම පුදුම ඇමතීමක්. රිචාඩ් අම්මට නම කියලා කතා කරනවට මගේ සිතේ තිබුණෙ අකැමැත්තක්. වැඩිමහල් අයට නම කියලා කතා කරන්න හොඳ නෑ කියලා අපිට කොලේජ් එකේදි උගන්නලා තියෙනවා. ඒත් පිටරට වලදි හැමකෙනෙක්ම තම තමන් අමතන්නෙ නමින් බව කියලා දුන්නෙ අක්කා. ඒක වරදක් නෙමෙයි කියලත් අක්කා කියලා තියෙනවා.
“නමක් තියෙන්නෙ එක එක්කෙනාව අඳුන්වන්නනෙ. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?‘‘
අක්කා හැමදාම හිතුව වෙනස් විදියට මං කැමැති වුණත් මේ විදියට වැඩිමහල් අයට නම කියලා කතා කරනවට නම් මගේ හිතේ තිබුනෙ අකැමැත්තක්.
“එහෙමනම් මං ඔයාටත් මීටපස්සෙ ජෙනී කියලා කියනවා. මම්මට ලීනා කියලා කියනවා.‘‘ කියලා මං කිව්වම අක්කා මගේ කන රිදෙන්න අල්ලා ගත්තා.
“ඔයා කළු සුද්දො හැදෙන තාලෙට හැදෙන්න ඕන නෑ. තේරුණාද?‘‘
කකුළුවො හරහට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කියනවා කියලා මං අහලා තිබුණ උපහැරණයක් මතක් වුණත් අක්කා එහෙම කරන්නෙ මොකක් නමුත් හේතුවක් ඇතිව කියන එක මගේ මතකයට ආවා. ඒත් කවුරු කාට නම කියලා කතා කළත් රිදුනෙ නැති මගෙ හිත රිචාඩ් අම්මට නම කියලා කතා කරද්දි රිදුනෙ ඇයි කියන එක මට කවදාවත් හිතාගන්න බැරිවුණා. මගේ බිග් ගර්ල් පාටියට ආව හැමකෙනෙක්ම මගේ හිත අත හැරලා ගියත් රිචාඩ් තවමත් මගේ හිත හැර නොයා ඉන්න නිසා මට එහෙම හිතෙන්න ඇති කියලා මට හැමවෙලේම හිතුණා.
“ලීනා. ‘‘
දවසක් හැන්දෑවෙ රිචාඩ් කලබලෙන් වගේ අපේ ගෙදර ආවා. ඒ වෙලාවෙ මම්මා ගෙදර හිටියෙ නෑ. නංගි එක්ක ගෙදරින් පිට ගිහින්.
“මම්මා ගෙදර නෑ.‘‘
පපුව හිරවෙමින් හුස්ම ගන්න අපහසු ගතියක් රිචාඩ් දැක්කට පස්සෙ මට දැනුණත් මං ආයාසයෙන් කියා ගත්තා.
“මං දන්නවා ලීනා. ඒකම තමයි මං ආවෙත්. මට ඔයාට කියන්න කාරණයක් තියෙනවා.‘‘
රිචාඩ් හති දමමින් කිව්වා.
කවදාවත්ම නොදැනුන විදියෙ බයක් ඒ වෙලාවෙ මගේ හිතට ඇති වුණේ ඇයි කියලා මං දැනගෙන හිටියෙ නෑ. රිචාඩ්ට මා එක්ක කියන්න තියෙන කාරණාව මොකක්ද කියලා අහන්න හිතුණත්, මගේ තොල කට වියළිලා වගේ තිබුණු නිසා මගේ මුවින් වචනයක්වත් පිට වුණේ නෑ. මං වටපිට බැලුවා. සිසිලින් ඒ වෙලාවෙ පේන්න හිටියෙ නෑ. ගෙදර වැඩපළ ඉවර කළාට පස්සෙ සිසිලින් වත්තට ගිහින් ඇය වගාකරපු පැළ වලට සාත්තු කරනවා.
එහෙමත් නැත්නම් අලුතින් එළවළු පැළ, මල් පැළ හිටවනවා. ඒ වගේ වෙලාවට සිසිලින් පැයකට දෙකකට ගේ ඇතුළට එන්නෙ නෑ. පප්පා ඒ වෙලාවෙත් ඉන්න ඇත්තෙ උඩ. පප්පගෙ තිබුණු එකම විනෝදාංශය උඩට වෙලා උදේ දවල් රෑ නැතිව බොන එක විතරයි.
“ඔය විදියට බීලා අක්මාව දැන් දියවෙලා ගිහින් ඇති.‘‘
කියලා අම්මා සමහර වෙලාවට අඬන්න වගේ පප්පා එක්ක කියනවා මට ඇහිලා තියෙනවා.‘‘
“ඔහෙ දියවෙලා ගියදෙන් ලීනා. මොකද තව අවුරුදු සීයක් ජීවත් වෙන්නයැ?‘‘
ඒ වෙලාවට පප්පා කියන්නෙ හිනා වෙවී. ඇත්තටම පප්පා රැයක් දවාලක් නැතිව බොන්නෙ ඇයි කියලා සමහර වෙලාවට මායි නංගියි කතා වෙලා තියෙනවා.
“සමහර මිනිස්සු හිතේ අමාරුවට බොනව.‘‘
නංගි පණ්ඩිතයා වගේ කිව්වත් පප්පට හිතේ අමාරුවක් වෙන්න දෙයක් තිබුණෙ නැති බව මම දැනගෙන හිටියා. ඇත්තම ආර්ථික වශයෙන් අපේ ගෙදර අඩුපාඩුවක් තිබුනෙ නෑ. පප්පගෙ පෙන්ෂන් එක මාසයකට සැරයක් ලැබුණා. ගමමිරිස් වතු වල, සාදික්කා වතුවල ආදායම ලැබෙන බවත් මම දැනගෙන හිටියා. මම්මා, පප්පව කසාද බැඳලා එද්දි ලොකු ඩව්රි එකක් අරන් අවා කියලා සමහර වෙලාවට මම්මා අක්කා එක්ක කියනවත් මට ඇහිලා තියෙනවා.
“ලීනා. ‘‘
රිචාඩ්ගෙ කතාවට ඇතිවුණු හිතේ චකිතය නිසා මම එක එක දේවල් කල්පනා කර කර ඉඳිද්දි රිචාඩ්ගෙ කටහඬ මගේ ළඟින්ම ඇහුණා.
“ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ. මං කියන්න හැදුවෙ මං ලීනට කැමැතියි කියලා විතරයි.‘‘
මගේ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න පටන් ගත්තා. මට බිම බැලුණෙ ඉබේටම. රිචාඩ් තව ටිකක් මට ළං වුණා.‘‘
“ඇහුනද ලීනා? මං කියන්නෙ... මං... මං ඔයාව... මැරි කරන්න කැමැතියි. ‘‘
රිචාඩ් ගොත ගගහ කිව්වා. ඒ වෙලාවෙ මගේ හිතට ජේසන් අංකල් ආවෙ ඇයි කියලා කියන්න මං දැනගෙන හිටියෙ නෑ. සමහර විට ඒ පුංචි දවස් වල මං කවදාහරි මැරි කරන්නෙ ජේසන් අංකල් කියලා මම කියපු නිසා වෙන්න ඇති.
“කියන්න ලීනා. ඔයා කැමැතියි නේද?‘‘
රිචාඩ් ඇහුවා. මට කියන්න උත්තරයක් තිබුණෙ නෑ. ඇත්තටම ලොකු ළමයෙක් වෙලා හිටියත් හිතින් මං ඒවෙනකොටත් හිටියෙ පුංචි කාලයේ. මැරි කරනවා කියන එක පුංචි කාලෙ දැක්කට වඩා වෙනස් විදියකට ඒවෙනකොට මට දැනෙමින් තිබුණා.
“ඔයා තව ටිකක් ඉගෙන ගත්තට පස්සෙ අපි මැරි කරමු. මං අපේ මම්මලාට ඔයා ගැන කියනවා.‘‘
ඇත්තටම මට කෑගහලා අඬන්න හිතුණෙ ඇයි කියලා මං දැනගෙන හිටියෙ නෑ. පුංචි කාලෙ ලස්සන, සුදු පාට දිග ලේස් ගවුමක් ඇඳලා මනාලයාගෙ අතින් අල්ලගෙන චර්ච් එකේ ඉඳලා ඇවිත් ලස්සනට සරසපු කාර් එකක නැගලා යනවට වඩා ගොඩක් දේවල් මැරේජ් එකක තියෙනවා කියන එක පුංචි වුණත් මගේ ගැහැනු හිතට දැනෙමින් තිබුණු අවධියක් ඒක. රිචාඩ්ගෙ යෝජනාව මගේ හිතට මහා බයක් ගෙන ආවත්, ඒ යෝජනාව ප්රතික්ෂේප කරන්න මට හිතුණෙ නැත්තෙ ඇයි කියලා මට හිතාගන්න බැරිවුණා.
“මං දන්නවා ලීනා. ඔයා මට කැමැතියි. මට පුළුවන් ඔයා ප්රින්සස් කෙනෙක් වගේ බලාගන්න.‘‘
රිචාඩ් කිව්වා.
“මං පප්පා මීට් වෙන්න යනවා. ඔයාගෙ ඇස් දෙකෙන් මට පේන්නෙ ඔයාගෙ කැමැත්ත ලීනා. ‘‘
රිචාඩ් මගේ අත අල්ලා ගත්තත් මං අත තදින් ඇදලා ගත්ත පාරට රිදුණෙ මටමයි.
“ඇත්තමයි ලීනා. ඔයා හරිම ලස්සනයි. මං ඒ ලස්සන දැක්කෙ එදා පාටි එක දවසෙ. මං යනවා.‘‘
රිචාඩ් උඩට යන පඩි පෙළ දිගේ උඩට දිව්වෙ හරියට දඟකාර පුංචි ළමයෙක් වගේ. උඩම පඩියට නැග්ග එයා ආපහු හැරිලා ෆ්ලයින් කිස් එකක් පාකරලා එව්වෙ මගේ හිතේ ගැස්ම වැඩි කරමින්. මම කාමරයට දුවලා ගිහින් දොර වහ ගත්තා. ඒවෙනකොටත් මගේ ඇඳ උඩ තිබුණු ග්රීම් බ්රදර්ස්ලගෙ ෆෙයරි ටේල් පොතත්, උදේ ඇඳෙන් නැගිටිද්දි කොට්ටෙ උඩ නිදි කරවපු ලොකු බෝනික්කාත් දකිද්දි මට මං ගැනම ඇති වුණේ කළකිරීමක්. මං තවම පුංචි ළමයෙක්
නේද කියලා නැවත නැවතත් මට සිහිපත්වුණා. ඒත් රිචාඩ්ගෙ කතා කරන ඇස් දෙකෙන් මිදිලා යන්න බැරි විදියෙ ඇලීමක්, බැඳීමක් තව පැත්තකින් මට ඇති වෙමින් තිබුණා. මං ගිහින් නතර වුණේ කණ්ණාඩි මේසය ළඟ. රිචාඩ් කොහොමද මං ලස්සනයි කියලා කියන්නෙ. ඇත්තටම මං හිතාගෙන හිටියෙ අපේ පවුලෙන් ලස්සනම ගෑනු ළමයා අක්කා කියලා. ඒත් කණ්ණාඩිය පෙන්නලා දුන්න දිලිසෙන ඇස්, රෝස පාට තොල් යන්තමින් රෝස පාටවුණු මගේ පිරුණු මූණ... අක්කට වඩා මං ලස්සන බව නැවත නැවතත් සිහිපත් කළා. කවදාවත් ඇති නොවුණු විදියෙ ආඩම්බරයක් මගේ හිතට දැනෙමින් තිබුණා. මං ඇඳේ දිගා වුණා. ෆෙයරි ටේල්ස් වල ඉන්න ලස්සන කුමාරිකාවක් ලස්සන රාජ කුමාරයකුගෙ අතින් අල්ලගෙන සුදු අශ්වයො දාපු ලස්සන අශ්ව කරත්තයකින් යන හැටි මං හිතේ මවා ගත්තා. ඒ හීනෙ හිටිය කුමාරිකාව මං.. කුමාරයා විදියට මං රිචාඩ්ව මවාගන්න හැදුවත් බලහත්කාරයෙන් වගේ එතැනට ආවෙ ජේසන් අංකල්වයි. නොයෙකුත් දේවල් සිතමින් නින්දත්, නොනින්දත් අතරෙ පාවෙවී ඉඳිද්දි දොරට තට්ටු කරන හඬ මට ඇහුණා. මං දුවලා ගිහින් දොර ඇරියා. දොරකඩ හිටගෙන හිටියෙ මම්මා.
“මේ මොකද මෙයා මහ දවල් නිදි?‘‘
කියලා අහපු මම්මා කාමරේට ඇවිත් මගේ ඇඳ උඩින් වාඩිවුණා. ගෙදරින් එළියට යද්දි ඇඳගෙන ගිය සාරියවත් ඒවෙනකොට මම්මා මාරු කරලා තිබුණෙ නෑ.
“නිකන්.‘‘
මං කිව්වා.
“නිකන් වුණත් ගෑනු ළමයි දවල් තිස්සෙ නිදාගන්න එක හොඳ පුරුද්දක් නෙමෙයි.‘‘
“මට කම්මැලියි මම්මා.‘‘
“කම්මැලි නම් කරන්න දේවල් කොච්චර තියෙනවද? පොතක් පතක් බලාගන්න එපැයි?‘‘
“මං පාඩම් කරලා ඉවරයි.‘‘
“පාඩම් කළා?‘‘
මම්මා ඇඳ උඩ තිබුණු සුරංගනා කතා පොත අතට ගත්තා. ඇගේ තොල් අග තිබුණෙ සඟව ගන්න උත්සාහ කරන සිනාවක්.
“පාඩම් කරන්නෙ ෆෙයරි ටේල්ස්ද? මොනවද බෝනික්කා දිහා බලාගෙන මං ගොඩක් දේවල් හිතපු බව ඇත්ත. නංගි එහෙම කියන්නෙ මං මගේ සිතිවිලි හයියෙන් කියන්න ඇත්ද?
“ඔය බොරු. ‘‘
මං කිව්වා.
“බොරු? මං කියන්නද ඔයා කියපු දේවල්? ‘‘
“කියනවා බලන්න. හැබැයි බොරු කිව්වොත් මං අනිනවා අඬන්න ටොක්කක්.‘‘
“ඒ ගමන දෙන්නා එක්ක රංඩු වෙන්න තියාගත්තද? ‘‘
මම්මා ඇඳෙන් නැගිට්ටා.
“ලීනා. ‘‘
මම්මා මොකක් නමුත් කියන්න වගේ හැදුවත් කට ඇරගෙන බලාගෙන ඉන්න නංගි දිහා බලලා ඒක අමතක වුණා වගේ කණ්ණාඩි මේසෙ ඉස්සරහට ගිහින් හිටගත්තා. රතු පාට හීනි බෝඩරයක් තියෙන ක්රීම් පාට සාරිය ඇන්දම අම්මා හරිම ලස්සනයි.
“නළලෙ මොට්ටුවක් තියාගත්තනම් මම්මා ඇරපු අතක් නෑ. නූටාන් වගේම ඉඳීවි. ‘‘කියලා අක්කා කරන විහිළු මට මතක් වුණා.
“කවුද ලීනා කතා කරනවා ඇහෙන්නෙ?‘‘
චුට්ටක් වෙලා අහගෙන හිටිය මම්මා ඇහුවත් ආවෙ වෙන කවුරුවත් නෙමෙයි රිචාඩ් කියන්න මගේ දිව නැමුනෙ නැත්තෙ ඇයි කියන්න මං දැනගෙන හිටියෙ නෑ.
“කවුද ඇවිත් තියෙන්නෙ? ජේසන් ද? රිචාඩ් ද? ‘‘
සාරි පොට ඇදලා ඉණේ ගහගත්ත මම්මා කාමරෙන් පිටවෙද්දි නංගි මා ළඟට හෙමිහිට කිට්ටු වුණා.
“දන්නවද වැඩක්?‘‘
වටපිට බලපු නංගි රහසින් වගේ ඇහුවා.
ලබන සතියට