HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

ටේලර් ස්වි‍ෆ්ට් පසුපස ආ සොරා අල්ලයි

ගායිකා ටේලර් ස්විෆ්ට් පසුපස ලුහුබැඳි ජූලියස් ඇලෙක්සැන්ඩර් සැන්ඩ්‍රොක් නැමැත්තා පසුගියදා අත්අඩංගුවට පත්වී තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගත් බෙවර්ලි හිල්ස් පොලීසිය පැවසුවේ ඔහු, ටේලර් ස්වි‍‍ෆ්ට්ගේ නිවසට ඇතුළුවීමට උත්සාහ කළ බවයි. ටේලර් සතු කැලිෆෝනියා නිවසට මේ පුද්ගලයා ඇතුළු වී ඇත්තේ මුහුණට ආවරණයක් යොදාගෙනයි. ඒ විතරක් නොවෙයි. පිහියක්, තුවක්කුවක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් රැගෙන තමයි ඔහු නිවසට ඇතුල්වී තිබෙන්නේ. වාසනාවට ටේලර් ස්විෆ්ට් ඒ මොහොතේ නිවසේ සිටියේ නැහැ. අත්අඩංගුවට ගත් ජූලියස් පසුගිය ‍අප්‍රේල් 17 දා ඩොලර් 150,000 ක ඇපයක් මත නිදහස් කර තිබෙනවා‍.

 

පෝලාගේ අනාවැකිය හරි ගිහින්

තවත් රාජකීය මංගල්‍යයක් මැයි 19 දා සිදුවන බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා. සිනමා රසිකයන්ගේ අවධානය දිනාගත් ඒ විවාහ මංගල්‍යය සිදුවන්නේ හැරී කුමරු සහ හොලිවුඩ් නිළි මෙගන් මාක්ල් අතරයි. එංගලන්තයේ වින්ඩ්සර් මාලිගයේදීයි එය පැවැත්වෙන්නේ.

ජනප්‍රිය නිළි පෝලා පැටන් ‍නම් මෙගන් ගේ විවාහය ගැන අනාවැකියක් මීට පෙර ප්‍රකාශ කර තිබුණාලු. මේ බව ඇය යළි සිහිපත් කර තිබුණා. මෙගන් කවදා හෝ දවසක එංගලන්තයේ රාජකීය පවුලේ සාමාජිකාවක වන බව තමන් මීට පෙර ප්‍රකාශ කළ බවයි, පෝලා පැටන් පවසන්නේ. 2005 දී තමන් සහ තම පෙම්වතා වූ ගායක රොබින් තික් ගේ විවාහ මංගල්‍යයේ ඇරයුම්පත්වල ආරාධිතයන්ගේ නම් ලිවීම මෙගන්ට භාරදුන් මොහොතේ මේ අනාවැකිය සිතට නැගුණු බවයි පෝලා පැටන් සිහිපත් කළේ.

 

කරාටේ ශූර බීබර්

‘කෝචෙලා’ නමින් එක්තරා උත්සවයක් කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉන්දු - කැලිෆෝනියා වෙරළේ දී වාර්ෂිකව පැවැත්වෙනවා. මෙය, සංගීතය හා වෙනත් කලා අංග කැටිවූ උත්සවයක්.

මෙයට එක්වී සිටියා, යොවුන් සුපිරි ගායක ජස්ටින් බීබර්. ඔහු එයට සහභාගි වුණේ පෙම්වතිය සමඟයි. ඇය සෙලීනා ගෝමස් නම් ව‍‍ූ යොවුන් ගායිකාව නම් නොවෙයි. ඇගේ නම බෑස්කින් චැම්පියන්. 22 වැනි වියෙහි පසුවන ඇය, නිරූපිකාවක්. 2014 දී මිස් ඇලබාමා ලෙස අබිසෙස් ලැබුවේ ඇයයි.

ඇය සමඟ තවත් මිතුරන් කිහිප දෙනෙකුත් කැටුව කෝචෙලා උලෙළට පැමිණි බීබර් ටික වේලාවක් විනෝදයෙන් කාලය ගත කළා. තවත් මොහොතක් ගතවෙද්දී ඔහු සිටි තැනට නුදුරින් එක්තරා කාන්තාවක් යම් පුද්ගලයකු සමඟ පොර බදිමින් කෑ ගසන්නට පටන් ගත්තා. බීබර් එදෙසට නෙත් යොමු කළේ ක්ෂණයකින්. අර පුද්ගලයා කාන්තාවගේ ගෙල සිරකරන්නට උත්සාහ දරනු බීබර් දුටුවා. එය නවත්වන්නැයි බීබර් ඉල්ලා සිටියත් ඒ පුද්ගලයා එය නැවැත්වූයේ නැහැ.

කෝපය ඉහවහා ගිය බීබර් වහාම එතැනට පැන ඒ දාමරිකයා වැරෙන් ඇදගෙන ගොස් අසල තිබූ බිත්තියට හේත්තු කර ඔහුට වෙර යොදා පහරක් ගැසුවා. එයින් ම ඔහු අකර්මණ්‍ය වුණා.

පසුව, ආරක්ෂක නිලධාරීන් එතැනට පැමිණ ඔහුව අත්අඩංගුවට ගත්තා.

 

ගිවිසුමක ගැටගැසුණු ප්‍රේමයක්

 

හොලිවුඩ් තරු යුවළක් ලෙස ප්‍රකටව සිටින ජෝන් සීනා සහ නිකි බෙලා, ‍ෙරස්ලින් ක්‍රීඩා ලොව තුළ ද ජනප්‍රියයි. මේ දෙදෙනා වසර 5 ක් තිස්සේ ආලයෙන් වෙලී සිටියා. නමුත් පසුගියදා මේ ආදර කතාවට නැවතීමේ තිතක් තිබුණේ කවුරුත් විස්මයට පත් කරවමින්. මේ බව නිල වශයෙන් නිවේදනය කර තිබුණේ නිකි බෙලා සහ ඇගේ සොයුරිය වන බ්‍රී බෙලා ගේ ට්විටර් පිටුවෙයි.

“මේ තීරණයට එළඹීම ඉතාම අමාරු කටයුත්තක් වුණා. අපි දෙන්නා වෙන් වුණත් එකිනෙකාට ගෞරව කිරීමට මැළි වෙන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ මේ කාලයේ අපි දෙන්නාගෙ පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලයි” නිකි, ඒ ඉල්ලීම කළේ රසික පරපුරෙන්.

ජෝන් සහ නිකි ආදරයෙන් බැඳුණේ 2013 දීයි. මේ පෙම් කතාව ඇරැඹුණු පසුව දෙදෙනා ලිඛිත ගිවිසුමකට අත්සන් තබා ඇතැයි හෙළිවී තිබෙනවා. ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව පිටු 75 කින් යුතුවූ මේ ගිවිසුම පරිදි නිකි, ජෝන් සමඟ එකම වහලක් යට දිවි ගෙවා ඇත්තේ නවාතැන්කාරියක ලෙසින්ලු. ජෝන්ට අවශ්‍ය මොහොතකදී තම නිවසින් පිටවී යන ලෙස ඉල්ලීමක් කළොත් නිකි වහාම පිටවී යා යුතු යැයි එම ගිවිසුමෙහි සටහන් වී තිබෙනවාලු.

 

Comments