මගේ පස්සෙන් මෝටර් බයික් එකක කවුරු හරි කෙනෙක් ආවා | සිළුමිණ

මගේ පස්සෙන් මෝටර් බයික් එකක කවුරු හරි කෙනෙක් ආවා

ෆියෝනා මඳ වේලාවක් කල්පනා කරමින් සිට දුරකතන ඇමතුම හා සම්බන්ධ වූවාය. අරවින්ද් කතා කළේ බියමුසු පහත් කටහඬකිනි.

“මිසිස් ජැෆර්ජි.”

ඔහු රහසක් පවසන්නාක් මෙන් තමා අමතන අයුරු ඇසුණු සැනින් කිසියම් අහේතුක බියක් ෆියෝනාගේ සිත තුළ ඇති වී නැති වී ගියේය.

“ඇයි මිස්ට අරවින්ද්?”

“ප්‍රශ්නයක්. මම දැන් ගෙදරින් යනවා. පරෙස්සමෙන් ඉන්න.”

ෆියෝනාගේ දෙපතුළෙන් පටන් ගත් ගින්නක් සැනෙකින් සියොළඟම දවන බවක් ඇයට දැනිණ. ඇගේ තොල කට සැනින් වියළී ගියේය.

“මං කියන දේ ඇහෙනවද මිසිස් ජැෆර්ජි?”

“මම අහගෙන ඉන්නෙ. ඇයි? මොකක්ද ප්‍රශ්නෙ?”

ෆියෝනා ඇසුවාය.

“මගේ පස්සෙන් මෝටර් බයික් එකක කවුරු හරි කෙනෙක් ආවා. අපේ ගේට්ටුව ළඟ සෑහෙන වෙලාවක් ඉඳලා මිනිහා යන්න ගියා.”

“ඉතින්?”

“ඉතින් කියන්නෙ? ඒ මිනිහා ආවෙ ඔත්තු බලන්න.”

“ඔත්තු බලන්න? කාගෙද?”

“වරදක් කියලා හිතුවෙ නැතිවටයි මම මිසිස් ජැෆර්ජි එක්ක සුපර් මාකට් යන්න ආවෙ. දැන් මට තේරෙනවා මං කළේ වරදක් කියලා. සුපර් මාකට් එකේදි ඔයාට ඉස්සරහින් හිටිය මනුස්සයා කවුද කියලා දැක්කද?”

අරවින්ද් ඇසුවේය.

“නෑ. මම දැක්කෙ නෑ.”

“ඒ මනුස්සයා තමයි මොකක්ද ඩොකියුමන්ට් එකක් ගෙනියන්න ඕන කියලා උදේ ඔයාලගෙ ගෙදරට ආවෙ.”

“මොනවා?”

ෆියෝනාට කියවිණ.

“හැරිලා බලද්දි මං ඒ මනුස්සයව දැක්කා. ඒ නිසයි මං එහා පෝලිමට ගියේ.”

“ඔයාට වැරදීමක් වෙන්න ඇති මිස්ට අරවින්ද්. ඒ ආව මනුස්සයා අසාර්ගෙ කසින් කෙනෙක්. ඩොකියුමන්ට් එකත් අරගෙන නුවර යනවා කියලයි ගියේ.”

අරවින්ද් සිනාසෙන හඬ ඇසිණ.

“කියන්න ඇත්තෙ නම් එහෙම තමයි. ඒ වුණාට මං දැක්කනෙ. ඒ හිටියෙ එයාම තමයි. එයා කවුරු හරි කෙනෙක් මා පස්සෙන් එව්වා. මගේ විතරක් නෙමෙයි. ඔයාගෙත්.”

“අනේ මිස්ට අරවින්ද්. මාව බය කරන්න එපා.”

“මං බය කරන්න කිව්වා නෙමෙයි. ගිය මනුස්සයා ආයෙම එන්න පුළුවන්. මිනිහා ඔයාට අනතුරක් කරන එකක් නෑ. ඒත් මා දිහා බලපු හැටියට නම් මම අද රෑ මෙහේ ඉන්න එක අවදානම්.”

“ඔයා මොකක්ද කරන්න හදන්නෙ?”

“තව ටිකකින් මම යනවා.”

“කොහේද?”

ෆියෝනා හැඬුම් හඬින් ප්‍රශ්න කළාය.

“යාළුවකුගෙ ගෙදර. මං සමහරවිට හෙට උදේ එන්නත් පුළුවන්. එහෙම නැත්නම් දවසක් දෙකක් නොඑන්නත් පුළුවන්. ප්‍රවේශමෙන් ඉන්න. මං තියනවා.”

අරවින්ද් දුරකතනය විසන්ධි කළේය. සහල් ස්වල්පයක් දැමූ බත් පිසින උඳුනේ වූ බත උතුරමින් එහි මූඩිය උස් පහත් වෙමින් තිබිණ. ෆියෝනා සෙමෙන් සෙමෙන් උඩු මහලට ගියාය. තවමත් අරවින්ද් නිවසේ විදුලි පහන් එකක්වත් දල්වා නොමැති බව ඇය දුටුවාය.

“බය ගුල්ලෙක්.”

ඇය තමාටම පවසා ගත්තාය. මෙතෙක් දිනක් ඔහු පිළිබඳව සිත තුළ වූ පහන් හැඟීම් සියල්ල ක්ෂය වී යන බවක් ඇයට දැනිණ.

“මං ගෑනියෙක්. තනියෙන් ඉන්න ගෑනියකුට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉඩ දීලා මග ඇරලා යන්න යනවා.”

ඇය තමාටම පවසා ගත්තාය. අරවින්ද් පිළිබඳව සිත තුළ අප්‍රසාදජනක බවක් ඇති වෙමින් පවතින බව ඇයට දැනිණ.

“පිරිමි හැමෝම එක වගේද? තමුන්ගෙ ජීවිතේ ආරක්ෂා කරගෙන කොටින්ම කිව්වොත් ඇඟ බේරගෙන මඟඇරලා යන්න යනවා.”

හිටිහැටියේම තද සුළඟක් හමා ගියේ අරවින්ද් නිවසේ මිදුලේ තිබූ අඹ ගසේ වියළි කොළ ෆියෝනාගේ නිවසෙහි සඳැල්ලට ද පා කර හරිමිනි. ඒ හා සමගම වැහි පොද වැටෙන්නට පටන් ගත්තේය. හිරිකඩින් මුළු සිරුරම තෙමෙන්නට වුව ද, සිටි තැනින් ඉවතට යන්නට ෆියෝනාට නොසිතිණ. මාවතෙහි වූ විදුලි පහන් කණු වල ආලෝකයෙන් වැස්ස වැටෙන ආකාරය ඇය බලා සිටියාය.

“අද මුළු රෑම වහීවි.”

ඇය තමාටම පවසා ගත්තාය. කෙතෙරම් වැසි ඇද වැටුණද සිතට බියක් නොදැනුණද, විදුලි කෙටීමත් අහස ගෙරවීමත් යන සංසිද්ධීන් දෙකම සිත තුළ බිය උපදවන්නේ කුඩා අවධියෙහි සිටමය. අසාර් පවා මෙම බිය පිළිබඳව කරන විහිළු තහළු ඇයට සිහියට නැගිණ.

“අකුණු ගහනවට ඔය හැටි බය වෙන්නෙ මොකක් හරි අහස පොළව නුහූලන අපරාධයක් එහෙම කරලා තියෙනවද?”

නිදන කාමරයේ වීදුරු ජනේල අතරින් බිත්ති මත මවන අකුණු රේඛා දකිත්ම දෑස් තද කර පියා ගන්නා ෆියෝනාට අසාර් සරදම් කරයි.

“මං ඒ එළියට බයයි. සද්දෙට බයයි.”

“ඕක අසනීපයක්. මානසික වෛද්‍යවරයකුට පෙන්නලා ප්‍රතිකාරයක් ගන්න වේවි.”

අසාර් පවසන්නේ සැබෑවටමද, නොඑසේනම් සරදමටදැයි තවමත් සිතා ගත නොහැකි තරම්ය. හිරිකඩ එන්න එන්නම වැඩි වන්නට වූයෙන් ෆියෝනා සඳැල්ලෙන් මෑත් වන්නට සැරසුනද, මෝටර් රියක ඉදිරිපස පහන් වලින් නිකුත් වන ආලෝකය අරවින්ද් නිවසේ මිදුලට පතිත වන අයුරු දුටුවෙන් ඇය නතර වුවාය.

“කවුද ඒ? හැන්දෑවෙ ඇවිත් ගේට්ටුව ළඟ හිටියා කිව්ව මනුස්සයාවත්ද?”

තම පපුව ගිඩි ගිඩි හඬින් ගැහෙන හඬ ෆියෝනාට දැනිණ. අසාර්ගේ මස්සිනා යයි පැවසූ පුද්ගලයා එතරම් ප්‍රියමනාප පුද්ගලයකු නොවේ. කෙතරම් හොඳින් ඇඳ පැළඳ සිටිය ද, ඔහුගේ මුහුණින් පළ වූ මැර ස්වභාවය සිහිවෙත්ම ඇගේ හුස්ම නතර වන්නාක් මෙන් දැනිණ. ෆියෝනා අරවින්ද්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගත්තාය. එහෙත් එය කාර්ය බහුලව තිබිණ.

“මොකක් නමුත් ප්‍රශ්නයක් වෙන්න ඕන.”

ඇයට සිතිණ. ගෙතුළට යන්නට සිතුණද, අරවින්ද් නිවසේ කිසියම් කලබැගෑනියක් ඇති වනු ඇතැයි සිතුණෙන් ෆියෝනා හිරිකඩ වදිමින්ම තවදුරටත් සඳැල්ලේ රැඳී සිටියාය. ඒ හා සමගම අකුණක් පුපුරා ගියේ ඇගේ හදවත කීරි ගස්වමිනි. එහි ආලෝකයෙන් කුඩයක් ඉහළාගෙන නිවස තුළ සිට පිටතට පැමිණෙන කිසියම් පුද්ගලයෙක් දුටු නමුදු ඔහු කවරෙක්දැයි හඳුනා ගැනීමට ඇය අපොහොසත් වූවාය. එම තැනැත්තා ගේට්ටුව අසළ නතර කර තිබූ මෝටර් රියට නැග ගැනීමත් සමගම එය පිටත්ව ගියේය. කවරෙක් හෝ අරවින්ද් ගේ නිවසට පැමිණ ඔහුට කිසියම් කරදරයක් කර පළා ගියේය යන සිතිවිල්ලෙන් මිදීමට ෆියෝනාට නොහැකි විය. ඇය ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමට උත්සාහ කළාය.

ලබන සතියට

Comments