කලා­වෙන් ඉවත් වුණත් හොඳ නිර්මා­ණ­යක් නම් සල­කලා බල­නවා | Page 2 | සිළුමිණ

කලා­වෙන් ඉවත් වුණත් හොඳ නිර්මා­ණ­යක් නම් සල­කලා බල­නවා

අද වෙසක් පොහොය දිනය. බෞද්ධයින් හැටියට අපි කවුරුත් පොහොය දිනයට පන්සල් යන්නට අමතක කරන්නේ නැහැ. බුවිනි චාපා දියලගොඩ විවාහ ගිවිස ගත් කසුන් දේවින්ද ගාල්ලගේ සමඟ පොහෝ දිනයේ පන්සල් ගිය මොහොතක රසඳුන කැමරාවට හසුවුණා. බුවිනි මෑත කාලයේ කලාවට පැමිණි දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය රයිගම් සම්මාන උළෙලේ දී ඇය නැඟී එන නිළිය ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා. කවදත් රසඳුනත් එක්ක ළෙන්ගතු ඇයව අද රසඳුනේ කවරයේ කතාවට එකතු කර ගත්තා.

දැන් බුවිනි වෙනදාටත් වඩා කාර්ය බහුල වෙලා වගේ ?

ඔව්. මේ දවස් ටිකේ නම් ගොඩක් කාර්ය බහුල වෙලා ඉන්නේ. කලා කටයුතුත් එක්ක නෙමෙයි ලබන මාසේ මාගේ විවාහ උත්සවය. එහි වැඩකටයුතුත් එක්ක මේ දවස්වල ගොඩාක් ම කාර්ය බහුලයි.

පසුගිය මාසය බුවිනිට ගොඩක් සුවිශේෂී වුණා නේද?

ඔව්. මට කලා ජීවිතේට ලැබුණු වටිනාම දේ පසුගිය රයිගම් ටෙලීස්හි දී ලැබුණා. ඒ වසරේ නැඟී එන නිළිය සම්මානයයි. ඇත්තටම ගොඩක් සතුටුයි. මට මේ සම්මානය හම්බවෙන්නේ ස්වාධීන රුපවාහිනියේ විකාශය වුණු 'මේ මමයි' ටෙලි නාට්‍යට. ඇත්තටම මට මාගේ ජීවිතේ ලොකු හීනයක් හැබෑ වුණා කියලා කියන්න පුළුවන් මේ සම්මානෙන්. මොකද ඕනෑම කලාකරුවෙක් බලාපොරොත්තුවෙන දෙයක්. තමන්ගේ දක්ෂතාවට ඇගයීමක් ලැබෙනවා නම් ඒක ගොඩක් වටින දෙයක්. ඉතින් ඒ භාග්‍ය මට ලැබුණා. මගේ දක්ෂතාවයට වටිනාකමක් ලැබීම ගැන පිළිබඳව ඇත්තටම නිහතමානී සතුටකින් ඉන්නේ.

හොඳම කාලේදී ද බුවිනිට මේ සම්මානය ලැබුණේ?

මම හිතන්නේ මට හොඳම කාලේදී මේ සම්මානය ලැබුණා කියලා.

මීට කලින් අපිත් එක්ක ඔබ කිව්වා, විවාහයත් සමඟ කලාවට සමුදෙනවා කියලා. නමුත් සම්මානය එක්ක ඒ ගත්ත තීරණයේ වෙනසක් වේවිද?

මම කලින් කිව්වා වගේ විවාහයත් එක්ක රංගනයෙන් මං ඉවත්වෙනවා. මට පවුල තුළ ලොකු වගකීමක් තියෙනවා ඉටු කරන්න. මාගේ පවුලත්, මාගේ සැමියාගේ පවුලත් කියන පවුල් දෙක මුලිකත්වය දුන්නා. ඉතින් මට ඇත්තටම ගොඩක් කාර්ය බහුල වෙන්න අමාරු වෙයි ඉදිරි කලා කටයුතුත් එක්ක. ඒ නිසා ජීවිතේ වැඩි කාල සීමාවක් පවුල වෙනුවෙන් කැප කරන්නයි මාගේ බලාපොරොත්තුව. ප්‍රේක්ෂකයන්ට මාව නිතර දකින්න ලැබෙන අවස්ථාව අඩු වෙයි. නමුත් බලමු හොඳ නිර්මාණයක් ලැබුණොත් මං ඒ ගැන සළකලා බලයි.

සම්මානයත් එක්ක සැමියා කිව්වොත් බුවිනිට නැවත රංගනයට එන්න කියලා. බුවිනි ඒ අවස්ථාව ලබා ගන්නවද?

මම හිතන් නැහැ ඔහු එහෙම කියයි කියලා. නමුත් මම කලාවෙන් අයින් වෙනවා කියලා තීරණය කළේ සැමියාගේ බලපෑම මත නෙමෙයි. ඒක මම කලින් ඉඳන්ම තීරණය කළ දෙයක්. කලාවයි පවුලයි දෙකම සමබරව ගෙනියන්න මට අමාරුයි. කලාවේ ඉන්නවත්, කලාවෙන් අයින් වෙන්නවත් හස්බන්ඩ් කිසිම බලපෑමක් කරලා නැහැ. එයා මාගේ කැමැත්තට ඉඩ දීලා තියෙනවා. මාගේ කැමැත්ත තමා කලාවෙන් අයින් වෙන එක.

නැඟී එන නිළිය සම්මානයත් එක්ක රංගන ශිල්පිනියකට රංගනයේ විවිධ මාවත් විවර වෙනවා. නමුත් ඔබ ගන්න සමහර තීරණ නිසා ඒ දේවල් ඔබට අහිමි වෙනවා. ඒ ගැනන් දුකක්, කලකිරීමක් නැද්ද ?

ඔව්. දුකක් නැතිව නෙමෙයි. නමුත් මම මගේ පවුලට මුල් තැන දෙන කෙනෙක්. මම හිතන විදියට ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙන්නේ නැති වෙයි. ඒ මම අලුතින් නිර්මාණ භාර ගත්තේ නැති වුණාට, මං කරපු නිර්මාණ රැසක්ම එන්න තියෙනවා ඉදිරියේදී. ඉතින් ඒ දේවල් අනිවාර්යෙන්ම මේ වසර දෙක ඇතුළත ප්‍රේක්ෂකයින්ට බලාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන කලාවට අලුත් අය එනවා නේ. ඒ අයටත් ඉඩක් දෙන්න ඕන. කලාව කියන්නේ හැමදාම අලුත් වෙන දෙයක්.

ජනප්‍රියත්වය ලබා ගැනීමේ අරමුණින්ද බුවිනි කලාවට එන්නේ ?

නැහැ. මම කලාවට එන්නේ ජනප්‍රිය වෙන්නවත් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන්වත් නෙමෙයි. කලාවට තියෙන ආදරේට, ආසාවට සහ කලාවට තියෙන ළැදියාව නිසයි කලාවට එන්නේ.

අක්කත් එක්ක බලද්දී බුවිනි දැන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා නේද?

අක්කා තමා මට කලින් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉතින් එයා මේ වෙනකොට කලාවෙන් ඈත් වෙලා ඉන්නේ යම් තරමක් දුරට. නමුත් එයාට ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර අඩු වෙලා නැහැ. මේ වෙනකොට ඒ ආදරේ කිසිම අඩුවක් වෙලා නැහැ. ඉතින් මම හිතන්නේ අක්කගේ දක්ෂතාවයේත්, ජනප්‍රියත්වයේත් කිසිම අඩුවක් නැහැ. මම හිතන්නේ නැහැ මම එයාට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා. මොකද මාව අදටත් වත්සලා දියලගොඩ ගේ නංගි කියලා හඳුනා ගන්න පිරිසකුත් ඉන්නවා. ඉතින් එයා ඉදිරියෙන්ද මම ඉදිරියෙන්ද කියලා දෙයක් නැහැ. එයාගෙයි මගේ අතර ගේම් එකකුත් නැහැ. එයාට දෙයක් ලැබුණොත් මට සතුටුයි. මට දෙයක් ලැබුණොත් එයාට සතුටුයි.

 

Comments