ළඟදීම මම මනා­ලි­ය­ක් ­වෙ­නවා | Page 2 | සිළුමිණ

ළඟදීම මම මනා­ලි­ය­ක් ­වෙ­නවා

ගෙවුණු මාස කිහිපය පුරා රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු හැඬවෙන්න නියමිතයි. ඇය තිසුරි යුවනිකා. ළමා නිළියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණෙන ඇය වර්තමානයේ නැතිවම බැරි රංගන ශිල්පිනියන් අතරින් එක් කෙනෙක් කිව්වොත් නිවැරැදියි. අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ තිසුරි තමන්ගේ අනාගතය පිළිබඳව සැලසුම් කර ඇත්තේ කොහොමද කියලා හා හා පුරා කියලා රසඳුනට කිව්වා.

 සුබ අලුත් අවුරුද්දක් තිසුරි !

එසේම වේවා.

මේපාර අවුරුද්ද සමරන්න විශේෂ අමුත්තෙක් එකතු වුණා කියලා ආරංචියි.

නෑ නෑ... විශේෂ කෙනා එකතු වෙන්නේ ලබන අවුරුද්දේ.

තිසුරිත් නොබෝ දිනකින් මනාලියක් වෙනවා. මේ දිනවල වැඩ වැඩි ඇති නේද ?

ඔව්.. තව මාස කිහිපයකින් මාත් මනාලියක් වෙනවා. වැඩ කියන්නේ... වැඩ වැඩිත් නැහැ.. වැඩ අඩුත් නැහැ..

විවාහයට ප්‍රමාද වුණා වැඩි නැද්ද?

නැහැ. මම හිතනවා හොඳම කාලය තමා මේ ඇවිත් තියෙන්නේ කියලා. සමහරුන් ගේ මතයක් තියෙනවා ගැහැනු ළමයෙක් අවුරුදු 20, 21 ක වෙද්දී විවාහ වෙන්න ඕන කියලා. මම කිසිම වෙලාවක ඒ තැන හිටියේ නැහැ. මගේ වාසනාවට මාගේ අම්මයි තාත්තයි එතැන හිටියෙත් නැහැ. මගේ පෞද්ගලික මතය නම් අත්දැකීම් කෙසේ වෙතත් වයස පොඩ්ඩක් යනතුරු ඉන්න ඕන. මාගේ වාසනාවට මාගේ අම්මටයි තාත්තටයි මාව කලින් බන්දලා දෙන්න කිසිම හදිස්සියක් තිබුණේ නැහැ. සුදුසු වයස තමා මේ ඇවිත් තියෙන්නේ කියලා මම හිතනවා.

තිසුරි බලාපොරොත්තු වුණු සහකරුවමද ලැබුණේ?

හ්ම්.. ඔව්. කොහොමත් මම ඉස්සර ඉඳලම හිතාගෙන හිටියේ මම යාළු වුණොත් යාළු වෙන්නේ කවදාහරි විවාහ වෙන්න බලාගෙන කියලා. ඉතින් ඒ දේවල් හැම දෙයක්ම ඒ විදියට වුණා. සුදුසු කෙනා තමා මට මේ ලැබිලා ඉන්නේ.

ආදරය ගැන කතා කරමු ද?

කතා කරමු. අපේ ආදරේට අවුරුදු 4 ක් වෙනවා. ඔහු සුරාජ් විජේසිංහ. එයාගේ තාත්තයි මාගේ තාත්තයි හොඳ යාළුවෝ. ඒ නිසා අපිත් පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ. යාළුවෝ විදියට අපි ගොඩක් කල් හිටියා. කාලයත් එක්ක එයා එයාගේ හිතේ තියෙන දේ මට කිව්වා.

යාළුකම ආදරේට පෙරලෙද්දී තිසුරි ඔහු ගෙන් විශේෂයෙන් බලපු දේවල් ඇති නේද?

අපි පොඩි කාලේ ඉඳන්ම හඳුනන නිසා එයාගේ හැමදේම මම දන්නවා. එයත් එහෙමයි. ඉතින් මම හිතනවා ඒ දැන හැඳුනුම්කම උඩ තමා අපි දෙන්නගේ කැමැත්ත ඇති වුණේ. මාගේ යාළුකම ආදරයකට පෙරලූනෙත් ඒ නිසා වෙන්න ඇති.

ඒ වගේම මම හැමදාම කිව්වේ සහ හෙව්වේ මාගේ අම්මටයි තාත්තටයි පුතෙක් වෙන්න ඕන කෙනෙක්ව. මම පවුලේ එකම ළමයා. ඉතින් පවුලට සම්බන්ධ වෙන කෙනා අනිවාර්යෙන්ම හොඳ කෙනෙක් වෙන්න ඕන. සුරාජ් ඒ වගේ කෙනෙක්. මාගේ හිතේ මැවුණු කෙනා එයා තමා කියලා මට හිතුණා. එයා මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි. ඒ හැමදේම මත යාළුකම ආදරේකට පෙරළුණා. ඒ දේවල් තමා ඉතින් විශේෂ වුණේ මට.

කලාව පැත්තෙන් මොනවද මේ දිනවල කරන වැඩ?

මේ දවස්වල සමන් කුමාර අයියගේ නේත්‍රා කියලා නාට්‍යයක් කරනවා. ඊට අමතරව මේ දිනවල විකාශනය වන උරුමයක අරගලය කියලා ටෙලි නාට්‍යක වැඩ කටයුතු සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම මම ඉදිරිපත් කරන විවාහ වැඩසටහන කරගෙන යනවා.

දැනටමත් රංගනය වෙනුවෙන් සිමා මායිම් පනවා ගෙන ඇති නේ?

නැහැ එහෙම එකක් නැහැ. එයා දන්නවා මම රඟපානවා කියලා. මම කවුද කියලා දන්නවා. ඉතින් ඒක නිසා මාගේ රැකියාවට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මම භාර ගත්ත නිර්මාණ මම කරනවා. විවාහ වුණා කියලා මාගේ රංගන ජීවිතය බාධාවක් කර ගන්නේ නැහැ. හොඳ නිර්මාණ ලැබුණොත් මම කරනවා.

Comments