හොඳ, නරක ප්‍රති­චාර නිහ­ඬව බාර­ග­න්නවා | Page 2 | සිළුමිණ

හොඳ, නරක ප්‍රති­චාර නිහ­ඬව බාර­ග­න්නවා

‘සූර්ය මංගල්‍යය 2018’ හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබීමට තරම් වාසනාවන්ත වූයේ ඔහු ය. මෙතෙක් පැවැති අවුරුදු උලෙළවල සියල්ල අබිබවා ඔහු ලබාගත් මේ ජයග්‍රහණය පිළිබඳ අද කාගේත් කතාබහට ලක්වෙලා. මොහොමඩ් හනීපා සුනෙර්ධීන් හිරු TV නාළිකාවේ වසන්තයේ කුමරා බවට පත්වූයේ ඔහු ය. සිව්දෙසින් සුබපැතුම් ගලා එන මොහොතක රසඳුන අප ද ඔහුට සුබපැතුම් එක් කරන්නෙමු. මෙවර රසඳුන වෙන්වන්නේ ඔහු වෙනුවෙන්...

මොහොමඩ් කොහොමද ඔයා හිරු අවුරුදු කුමාරයා වුණේ?

සාමාන්‍ය විදිහට අයදුම් පතක් යොමු කළා. ඊට පස්සේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවැති පළමු වටය සඳහා මාව කැදෙව්වා. එයින් තේරී දෙවැනි වටයෙන් අවසන් පස් දෙනා අතරටත් තේරුණා. එහිදී මට පුළුවන් උපරිම දේ මම කළා. විනිශ්චය මණ්ඩල‍යයේ අවසන් තීරණය අනුව තමයි මෙවර 2018 – ‘හිරු’ අවුරුදු කුමාරයා ලෙසට ‘මොහොමඩ්’ කිරුළ හිමිකර ගත්තේ.

ඒ සතුට වචනවලට පෙරළුවොත්?

ඇත්තටම මට ඒ සතුට වචනවලට පෙළගැස්විය නොහැකි තරම්. ඒ වගේ ම මට මම ගැනම ලොකු අභිමානයක් ගෞරවයක් ඇති වුණා. මොකද විශේෂයෙන් කියන්නට ඕනෑ අවුරුදු කුමාරයා විදිහට ‘මොහොමඩ්’ කෙනෙකු කිරුළු දිනාගැනීම තනිකර උඩු යටිකුරු කරන සෙල්ලමක් වගේ. නමුත් දක්ෂතාවය තියෙන කෙනා හිරු අවුරුදු කුමරා විය යුතුයි කියලා විනිසුරු මඬුල්ල ස්වාධීන තීරණ ගත්තා. ඒ තීරණය වෙනස් කරන්න ඔවුන්ට ඕනෑ තරම් ඉඩ තිබුණා. නමුත් එයට ඇඟිලි තුඩකින්වත් බලපෑමක් නොකර එය තමයි තීරණය කියලා භාරගන්න තරම් නිහතමානී මාධ්‍ය ආයතනයක් තමයි ‘හිරු’ කියන්නේ.

ඒ නිසා ඇත්තටම ඒ ගැන බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා...

ඔබ මීට කලින් මේ වගේ තරග සඳහා ඉදිරිපත් වෙලා තියෙනවද?

ඇත්තටම නැහැ. ‘හිරු’ අවුරුදු කුමරා තමයි මගේ පළමු ඉදිරිපත් වීම. මම මේ වෙනුවෙන් ගොඩක් කැපවුණා... මහන්සි වුණා. ලැබුණු දෙයට උපරිමයෙන් මගේ දායකත්වය ලබා දුන්නා. මම හිතන්නේ එහි අවසන් ප්‍රතිඵලය තමයි මම අවුරුදු කුමරා බවට පත්වීම.

ලංකාවේ පළමුවැනි වතාවට මුස්ලිම් තරුණයෙක් ‘අවුරුදු කුමරා’ බවට පත්වෙනවා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

හොඳ ප්‍රතිචාර ගොඩක් තිබෙනවා. ඒ වගේ ම නරක ප්‍රතිචාර ද ලැබෙනවා. ඒ අතර ගොඩක් අය මා පිටුපස ඉඳලා තවමත් මට ශක්තියක් වෙනවා. ඒ නිසා හොඳ හා නරක යන දෙපැත්තෙන්ම විවිධ අදහස් හා ප්‍රතිචාර මට ලැබෙනවා. මොන දේ වුවත් මධ්‍යස්ථව මා භාරගන්නවා කියලයි කියන්න තිබෙන්නේ.

මේ දිනවල ෆේස් බුක් ඇතුළු අන්තර්ජාලය තුළ ද ඔබ වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතය බව පත්වෙලා නේද?

ඇත්තටම මා මුලින් කීවා වගේ එකිනෙකාගේ විවිධ අදහස්, ප්‍රතිචාර Face book හරහා මට ලැබුණා. සමහරු ඉතා ආවේගශීලීව Post දමනවා. මම නිතරම හිතන්නේ. මම නිවැරැදි නම් මිනිසුන්ට නිදහසට කරුණු දක්වන්නට ඕනෑ නෑ. ඒ නිසා මට ලැබුණු ඒ ප්‍රතිචාර වලට මම පිළිතුරු ලබා දෙන්නට යන්නෙත් නෑ. අදහස් දැක්වීමට ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවනේ. නිහඬ ගමනක් යෑම වගේ ප්‍රතිපත්තියක්. වෙන දේ කුමක්ද කියලා බලාගෙන ඉන්නවා. මට ලැබුණ FB ප්‍රතිචාර සියල්ල සඳහා ලබා දිය හැකි හොඳම පිළිතුර එය කියලයි මා හිතන්නේ.

* තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරාවී කියන විශ්වාසයක් ඔබට තිබුණ ද?

ඇත්තටම අවසන් 5 දෙනා අතරට තේරුණු පසුවවත් මට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නෑ. මොකද අවසන් තීරණය අනුව අවුරුදු කුමාරයා මම කියලා මගේ Number එක කීවත් මට එය විශ්වාස කරගන්නට බැරිව තප්පර පහක් විතර මගේ අත දිහා බලාගෙන හිටියා.

ජයග්‍රහණය ලැබෙයි කියලා මුල සිටම ආත්ම විශ්වාසයක්, තිබුණේ නෑ. ඒත් මට මේ දේ කරන්නට පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. රටේ තිබුණු වාතාවරණයත් එක්ක මට ජයග්‍රහණය ලැබෙයි ද කියන ප්‍රශ්නය මගේ හිතේ තිබුණා. ඒත් නොසිතූ විදිහට දෙවියන් වහන්සේ සියල්ලම හොඳ ආකාරයට සිදු කළා කියලා මා හිතනවා.

* අනෙක් තරග කරුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඒ අයගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර මට ලැබුණා. මමත් එක්ක හිටපු තරග කරුවන් 23 දෙනාගෙන් මම ජයග්‍රහණය ලබන්නට ඇති? නමුත් සම්පූර්ණ Event එක ගොඩක් ලස්සන වුණේ ඒ සියලු දෙනාගෙම ශ්‍රමය දායකත්වය නිසා කියලා කිව යුතුමයි.

මගේ ජයග්‍රහණයට ඔවුන්ගේ ද ඒ ලැබුණු දායකත්වය මට ශක්තියක් වුණා. ඔවුන්ට ආදරෙයි... ඒ බව මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

* කවුද මේ ‘මොහොමඩ්’ කියන්නේ?

හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ. මොහොමඩ් කියන්නේ කවුද කියලා දන්න මිනිස්සු දන්නවා. ‘මොහොමඩ් හනීපා මොහොමඩ් සුනෙර්ධීන් මගේ සම්ප‍ූර්ණ නම. නුවර ගෝණිගොඩ තමයි මගේ උපන් ගම. ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය ලැබුවේ නුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්... මගේ දෙමාපියන් ජීවතුන් අතර නෑ. පවුලේ ඉන්න එකම දරුවා මමයි. දැනට වෘත්තීය වශයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.

* මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

රංගනය පැත්තෙන් ඉදිරියට යන්නට ආසයි. ඒ වගේ ම මිනිසුන් ආදරය කරන චරිතයක් වෙන්නටත් ආසයි. මේ වනවිට නිරූපණය ශිල්පය පිළිබඳ හැදෑරීම් කරනවා. මට හොඳයි කියලා හිතෙන දේ පිළිබඳ හැදෑරීම් කරන්න මේ කාලයේ සූදානම් වෙනවා?

* ඔබට ශක්තියක් වුණු පිරිස ගැනත් කතා කරමු?

පළමුවෙන් ම ස්තුති කරන්න ඕන මගේ දෙවියන් වහන්සේට. මොකද අද මම මෙතන ඉන්නේ දෙවියන් වහන්සේ නිසා. ඊළඟට මගේ යාළුවෝ ගොඩක් හිටියා මාව පිටුපසින් ඉඳලා මාව දිරිමත් කරපු විශේෂයෙන් හිරු නාළිකාවේ සභාපති තුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමැතියි. ඔවුන්ගේ කැපවීම, දායකත්වය නිසා තමයි 2018 සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරා ලෙස මොහොමඩ්ව අභිෂේක ලැබුවේ. ඒ නිසා වචනයකින් හරි මට ශක්තියක් වුණු සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.

Comments