සමීප රූප | සිළුමිණ

සමීප රූප

පළමුවෙන්ම නාලකගෙ සමීපරූපය ඉන්ද්‍රචාපගෙ සමීප රූපාවලියෙ. නාලක කිව්වම ඔහු නාලක ස්වර්ණතිලක, ගුවන්විදුලි රූපවාහිනී මාධ්‍යයෙ කලකට ඉස්සර හොඳට හුරුපුරුදු නමක්. මෑත කාලයෙ නාලකගෙ නම එක්ක සමීපරූපයෙ ඇඳෙන්නෙ වයිටෙලීෆ් ඇකඩමිය Whiteleafe Performing Arts Academy. ඒකෙ ඉගෙනගන්න පුංචි දුවල පුතාලගෙ, යෞවන යෞවනියන්ගෙ විස්මිත දක්ෂකම් එක්ක මුහුණු. මේ ඇකඩමිය 2011 දි පටන් අරගෙන අද දක්වාම කොළඹත්, කොළඹින් පිට නගර කීපයකත් පවත්වගෙන එනව ඉන්ද්‍රචාප දකිනවා.

ළමා පෞරුෂත්ව වර්ධනයේ පුරෝගාමියෝ - ඒක ඔහුගෙ ඇකඩමියට හරියටම ගැළපෙනවා, ඒ බව ඔප්පු කරල තියෙන බව ඉන්ද්‍රචාප පහුගිය අවුරුදු ගණනාවක් තිස්සෙ දැකල තියෙනවා. ළඟදී දවසක, මාර්තු 10 වැනිදා ඉන්ද්‍රචාප නාලකගෙ ඇකඩමියෙ දක්ෂකම් දැක්කා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙදි.

හතරවැනි වතාවට පවත්වපු Whiteleafe Excellence Awards උත්සවය සමග. ඇකඩමියෙ වටිනාකම දෙගුණ තෙගුණ කරන උත්සවයක් විදියට ඉන්ද්‍රචාප ඒක දකිනවා. අවුරුදු පතා තමන්ගෙ හෙවනෙ ඉගෙනගන්න දුවල පුතාලගෙ, යෞවන යෞවනියන්ගෙ අපූරු නිර්මාණශීලී කුසලතා වේදිකාව මත සජීවීව ගෞරවාන්විත ආරාධිතයන් සමූහයක් හමුවේ ජනගත කිරීම ඉතා වටිනා සද් ක්‍රියාවක්.

මේ වතාවෙත් ඉන්ද්‍රචාප ඒ දස්කම්, විස්කම් දැක්කා. ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන නාලකට වගේම ඔහුත් එක්ක මේ දුෂ්කර ගමනට එක් වෙලා ඉන්න සියලුම ගුරු ගුරුවරියන්ට. උත්සවය සාර්ථක කරගන්න උදව් උපකාර කරන දරුවන්ට, දෙමාපියන්ට.

වයිටෙලිෆ් ඇකඩමියෙ නිර්මාණ ශක්‍යතා වර්ධනයට බැඳෙන දරුවො කාණ්ඩ කීපයක අය. අවුරුදු 3 1/2 - 5, 5-7,8-11,12 -16 වයස් කාණ්ඩවල.මේ හැම වයස් කාණ්ඩෙකම දූල පුතාල සිංහල ඉංග්‍රීසි භාෂා චතුර විදියට හසුරුවනවා, රංගනයෙ, නර්තනයෙ, ගායනයෙ, වාද විවාද කිරීමේ, නිවේදනයේ,විචාරයෙ, යෞවන ව්‍යවසායකත්ව ව්‍යාපෘති සම්පාදනයේ, ඔවුන්ගෙ වයස ඉක්මවා යන තරමේ විසාල දස්කම්, හැකියාවන් පෙන්වනවා.

ඒවාට ඇගයීම් ලබනවා. එපමණක් ද? මේ හැම දෙනාගෙම වාගෙ, දස්කම් ගුවන් විදුලියෙන්, රූපවාහිනී මාධ්‍යය‍යෙන් විසාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියට ගෙන යන්නත් නාලක උත්සාහ ගන්නවා සමීපරූපයෙ සටහන් වෙලා තියෙනවා.

ඒ හැරෙන්න මේ දස්කම් එකතු කරගෙන නාට්‍යානුසාරයෙන් වේදිකාව මත රඟ දක්වනවාත් ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ සටහන්වෙලා තියෙනවා. දඟ මල්ල කාලෙකට ඉස්සර නිෂ්පාදනයක්. පහුගිය අවුරුද්දෙ, පොත්ගුල්ලී නිෂ්පාදනය කරලා වරින්වර වේදිකාවෙ ඉන්ද්‍රචාප දකිනවා.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙ කලාව, සාහිත්‍යය, සිනමාව, සංගීතය ආදී විෂය පිළිබඳ දැනුම හුඟාක් පහළ මට්ටමක තියෙන බව ඉන්ද්‍රචාපගෙ සමීපරූපයේ සටහන් වූ වාර අනන්තයි. ඇරැව්වල නන්දිමිත්‍ර ලේඛකයාගෙ අවමඟුල දවසෙ ඔහු ගැන දැන නොසිටි, උසස් පෙළ සිංහල නිර්දේෂයට ඔහුගේ කතා කියවන, ශිෂ්‍ය ශිෂ්‍යාවො ඉන්න බව ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ සටහන් වෙලා වැඩි ඈතක් නෙවි. එහෙම තත්වයක් යටතෙ, නාලකගේ ඇකඩමියෙ දූ පුතුන්ගෙ, මේ කලා ක්ෂේත්‍ර ගැන තියෙන දැනුම හරි ඉහළයි. ඒ අය විචාරය කළේ, අලුත් චිත්‍රපට, ධර්ම යුද්ධය වගේ කොපි චිත්‍රපට ගැන හොඳ නරක දෙකම දැක්කා.

වේදිකා නාට්‍ය, අලුත් ගීත, ඉංග්‍රීසි සාහිත්‍යය, මොනලිසා වගේ ලෝ ප්‍රකට කලා නිර්මාණ ඔවුන් විචාරයට ලක් කළ මාතෘකා. ඔවුන්ගෙ වාද විවාද, යෞවන ව්‍යවසායයකයන්ගෙ ව්‍යාපෘති ප්‍රේක්ෂාගාරය මවිතයට පත් කළා කියල ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ මෙවරත් සටහන් වී හමාරයි. නාලක ස්වර්ණතිලකගෙ ඇකඩමියෙන් බිහිවෙන නව නීමාණශීලී පරම්පරාව, අපේ කලා ක්ෂේත්‍රයෙ අනාගත අස්වැන්න බව ඉන්ද්‍රචාපට විශ්වාසයි.

Comments