සතියේ මියු­සික් වීඩි­යෝව | Page 2 | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

මතකද අපි තනි වුණ හැටි. ඒ තනි වුණ හැම මොහොතකම නුඹ මට කිව්වේ නුඹේ ජීවිතේ මම විතරමයි කියලා. ආදරේ මහ සාගරේ වගේ ළදේ කීව සඳ මගේ. මතකද නුඹ අනන්තවත් එහෙම කිව්වා. ඇත්තමයි මමත් ඒ ආදරේට වහ වැටුණා. නුඹ මත්තෙම නැහුණා. නුඹට නොදැවැනිව මමත් ආදරේ කළා. මා හදේ ප්‍රාර්ථනා දිය බිංදු වගේ විසිරිලා, නෙත් අගින් ගිලිහෙනා කඳුළු සිඳු දියට මුසු වුණා. ඇත්තම කියන්න. මට මේ විදියට විඳවන්න බැහැ. මාව දාල ගියේ ඇයි විතරක් කියන්න. හැබැයි නුඹ මාව දාල ගියත් මගේ ආදරේ කවදාවත් නිම වෙන්නේ නැහැ. ඒ මම ආදරේට පණ වගේ ආදරේ කළ නිසා. සිය ජීවිතේ දෙවැනි කොට ආදරේ කරත් අවසානයේ ඒ ආදරේ අහිමි වන පෙම්වතියකගේ කතාව රැගත් ‘වේදනා හද වේදනා‘ ගීතය මේ දිනවල රසිකයන් අතර ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ. නව පරපුරේ ගායිකාවක් වන දේශානි විතානගේ හඬින් ගීතවත් වන මෙම ගීතයේ පදරචනය අමල් නිරෝෂිත අල්මේදා දේශානි මෙහි සංගීතය පසන් ලියනගේ ගෙනි.

• දේශානි ගම කොහේද ?

මොරටුව

• එතකොට පාසල් ගියේ ?

මොරටුව වෙල්ස් කුමරි විද්‍යාලයට වගේම කොළඹ විශාඛා විද්‍යාලයට

• සංගීතයට යොමු වුණේ ?

පාසල් කාලයේ දී විෂයක් විදියට සංගීතය හැදෑරුවා. ඒ වගේම මේ වන විට විශාරද අවසන් කර තිබෙනවා.

• ගීත කොපමණ කරල තිබෙනව ද ?

විල් තෙර අද්දර, කෝකිලයානනි, මගේ සිත ඇතුළේ වැනි ගීත 26 ක් විතර කරලා තියෙනවා. අපේ රටේ ප්‍රවීණ පදරචකයන් වගේම සංගීතවේදීන් රැසක් මේ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. මීට අමතරව හින්දි බසින් ගීත රචනා කරනවා.

• කවුද මේ තරම් දුර එන්න අතහිත දුන්නේ ?

මගේ පවුලේ සියලු දෙනාම, සංගීත ගුරුවරු, මට ගීත ලියල දුන්න පදරචකයෝ වගේම සංගීතවේදියෝ මේ දුර එන්න ශක්තිය ලබාදුන්නා.

වේදනා හද වේදනා ඇස් අගින් සිත්තමක් වෙලා

හිත වෙලා මගේ හිත පෙලා නුඹ ගියා දුරට නුඹ ගියා

ළං වෙලා අත්වැල් වෙලා උන්නු හැන්දෑව සිහි වුණා

නෙතු වසා ඉකි ගසා නාඬනු දෑස මා

මා හදේ ප්‍රාර්ථනා දිය බිංදු වගේ විසිරිලා

නෙත් අගින් ගිලිහෙනා කඳුළු සිඳු දියට මුසු වුණා

ආදරේ මහ සාගරේ වගේ ළදේ කීව සඳ මගේ

බැස ගියේ ඇයි බැස ගියේ අඳුරු වූ අහස හද මගේ

ඇස් දෙකේ ඔය රුව මැවේ මොහොතකින් යළි සැඟවුණේ

නිම නොවේ පිදු පෙම මගේ නුඹ ගියත් මා දමා

මා හදේ ප්‍රාර්ථනා දිය බින්දු වගේ විසිරිලා

නෙත් අගින් ගිලිහෙනා කඳුළු සිඳු දියට මුසු වුණා

මා හදේ ප්‍රාර්ථනා දිය බින්දු වගේ විසිරිලා

නෙත් අගින් ගිලිහෙනා කඳුළු සිඳු දියට මුසු වුණා

 

ගායනය- දේශානි විතානගේ

පදරචනය- අමල් නිරෝෂිත අල්මේදා

සංගීතය- පසන් ලියනගේ

Comments