මිනි­සුන්ගේ සිත් සුව­පත් කිරී­මට සිත නිවන ගී ගායනා කළා | Page 2 | සිළුමිණ

මිනි­සුන්ගේ සිත් සුව­පත් කිරී­මට සිත නිවන ගී ගායනා කළා

ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් 1968 සිට ළමා ගායිකාවක ලෙස කලඑළි බැස දශක පහක් පුරාවටම රසික ආදරය දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පීනී දමයන්ති ජයසූරිය වසර දොළහකට පමණ පසුව කළ 'සිත නිවන ගී 'සංයුක්ත ගීත එකතුව එළිදැක්වීමේ ප්‍රසංගය හෙට(23)සවස 5.00ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදි පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව කළ සංවාදයකි මේ.

●'සිත නිවන ගී'එකතුව ඔබ විසින් කලකට පසුව ගායනා කල විශේෂිත වු ගීත එකතුවක්. මෙවැනි අලුත් ගීත එකතුවක් කිරීමට කිසියම් හේතුවක් බලපෑවාද?

මෙවැනි ගීත එකතුවක් කිරීමටත් ප්‍රසංගයක් පැවැත්වීමටත් මූලික අඩිතාලම වැටුණේ සියඹලාපේ සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය හන්තානේ ධම්ම ගවේසී හිමි සහ එම විහාරස්ථානයේ දායක පිරිසගේ ආරාධනයයි.ඒ අය මගෙන් ඉල්ලීමක් කළා මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බෞද්ධ ගීත කිහිපයක් ගායනා කරමු කියා.

ඔවුන්ගේ ඉල්ලීම මම බොහොම සතුටෙන් පිළිගත්තා. මගේ සිතේ කලක සිට ආසාවක් තිබුණා බොදු ගීත කිහිපයක් ගායනා කිරීමට.එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැයවන නිසා එය ප්‍රමාදවුණා. නමුත් සිතුම් පියස බෞද්ධ මධ්‍යස්ථානයේ දායක මහත්ම මහත්මීන් ඒ සඳහා බර පැන දරන නිසා එම ගීත එකතුව කිරීමට පහසුවුණා.

ප්‍රවීණ ශිල්පීන්ගේ ගී පබැදුම් සහ තනු නිර්මාණයෙන් සැදුණු ඉතා අලංකාර බොදු ගීත දොළහක් මෙහි අන්තර්ගත වෙනවා.එම ගීත හෙට පැවැත්වෙන ප්‍රසංගයේදි ගායනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධක්ෂිකා අනුෂා ගෝකුල මැතිනියගේ මැදිහත්වීමෙන් රාජ්‍ය සංස්කෘතිකාංග අංශයේ ජානක ෆොන්සේකා ප්‍රමුඛ වාදක මණ්ඩලය ප්‍රසංගයේ සංගීතය ලබාදීමෙන් මට සහාය වේවි.

● මෙම ප්‍රසංගය නැරඹීමට බොහෝ රසික රසිකාවියන් කැමැත්තෙන් ඇති. ඒ සඳහා ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවද?

ප්‍රසංගය පැවැත්වෙන ශාලාවේ ඉඩ පහසුකම් සීමිත නිසා මගේ ආදරණීය රසිකයන්ට සුව පහසු ලෙස ප්‍රසංගය නැරඹීමට නොහැකි වෙන්න පුළුවන්. එහෙත් කැමැති කෙනකුට සහභාගිවී බොදු ගීයෙන් සිත පහන් සංවේගයෙන් ප්‍රරවාගත හැකියි.

හෙට (23)සවස 5.00ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ පිහිටි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදි තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ.සිත නිවන ගී සංයුක්ත තැටියත් එදින දොරට වඩිනවා.

එහි ඇතුළත් ගීත දොළහම ප්‍රසංගයේදි ගායනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහිදී මා සමග විශාරද එඩ්වඩ් ජයකොඩි සහාය ගායනයෙන් සහභාගි වෙනවා.

මෙහි විශේෂ දේශනා මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි සහ කථිකාචාරිනි නාවලපිටිය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ විසින් සිදුකිරීමට නියමිතයි.

● මෙහි අන්තර්ගත ගීත පදරචනය සහ සංගීතවත්කර ඇති සියලුම නිර්මාණ ශිල්පීන් අපේ රටේ සිටින ප්‍රවීණයන්. ඒ අය පිළිබඳව සඳහන් කරමුද?

රඹුකන සිද්ධාර්ථ හිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනායක හිමි, මඩපාත ධම්මසාරි හිමි, වෙන්නප්පුව චන්ද්‍රානන්ද හිමි, මහාචාර්ය සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, ජයම්පති අල්ගම, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර යන ගී පද රචකයන් සහ ආචාර්ය රෝහණ වීරසිංහ, ලයනල් අල්ගම, එච්.එම් ජයවර්ධන, ආචාර්ය නන්දා මාලිනී, චූලසිංහ, අජිත් දර්ශන ජයවීර, දර්ශන වික්‍රමතුංග, ඉන්ද්‍රජිත් මිරිහාන යන සංගීත වේදීන් මේ ගීත සඳහා සංගීතය නිර්මාණය කළා.

● ඔබ ගායන ක්ෂේත්‍රයට පිවිස දශක පහක්. එහෙත් ගායනාකර ඇති ගීත සංඛ්‍යාව සීමිතයි.එයට හේතුව තෝරා බේරාගත් ගීත පමණක් ගායනා කිරීමද?

සමහරවිට තෝරාගත් ගීත ගායනා කළ අවස්ථාත් තිබෙනවා.මම හැට අටේ ගායන ක්ෂේත්‍රයට පිවිසුණේ ගුවන්විදුලියේ ළමා මණ්ඩපයෙන් සරළ ගී ශිල්පිනියක් ලෙස. එදා සිට මේ දක්වා ටෙලි නාට්‍ය, චිත්‍රපට,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකටම අදාළ විරහ ගීත, ප්‍රේම ගීත ගායනාකර තිබෙනවා. මාලනී ෆොන්සේකාගේ පටන් සංගීතා ඇතුළු නවක් රංගන ශිල්පිනියනට පවා පසුබිම් ගීත ගායනාකර තිබෙනවා. මෑතකදී තිරගත වු පත්තිනි චිත්‍රපටයටත් ගීත ගායනාකළා.

ප්‍රමාණයෙන් විශාල ගීත සංඛ්‍යාවක් ගායනාකර නැතත් ගැයු ගීත රසිකයන්ගේ හදවතේ අමරණීයයි. ඒ නිසයි එදා තිබූ ජනප්‍රියත්වයම අදත් මට තිබෙන්නේ. ඒ ගැන නිහතමානී සතුටක් තිබෙනවා.

● සිත නිවන ගී නිර්මාණ එකතුව එළිදැක්වෙන්නේ වසර දොළහකට පසුවයි. මෙපමණ කාලයක් නිහඬව සිටින්නට හේතුව.

මම සාමාන්‍යයෙන් ජීවිතය සමබරව ගෙනියන්න උත්සාහ කරන කාන්තාවක්. පවුල් ජීවිතයට තමයි හැමදාමත් මගේ ජීවිතයේ මුල් තැන දුන්නේ.අදත් බිරියක, මවක සහ මිත්තණියක ලෙස මා විසින් කළ යුතු ‍යුතුකම් කොටස ඉටු කර තමයි පසුව අනෙක් දේවල් ගැන සිතන්නේ.

නමුත් එහෙම කළා කියා නිර්මාණ දිවිය අතපසු කරගත්තේ නෑ. හොඳ නිර්මාණ පමණක් තෝරාගෙන බොහොම නිෂ්ශබ්දව හෙමින් ගමනක් තමයි මේ දශක පහ පුරාම ආවේ.

● ඔබ කියනවා සිත නිවන ගී ඔබ ගායනාකරන අවසාන ගීත එකතුව කියා.හදිසියේම මෙවැනි තීරණයක් ගත්තේ ඇයි ?

කිසිම හේතුවක් බලපෑවේ නෑ. මගේ තීරණවලට කිසිම කෙනෙක් විරුද්ධ වෙන්නේත් නැහැ. මොකද ඔවුන් දන්නවා මම තීරණයක් ගත්තොත් එය හොඳට හිතල ගන්නේ කියා.

මට හිතුණා දැන් මෙලොවට බොහෝ දේ කළ නිසා එළොව යන තැනටත් කිසියම් දෙයක් කරගත යුතුයි කියා.වත්මන් සමාජයේ සිටින මිනිසුන් බොහොම කාර්ය බහුලයි, උදේ පටන් ගත්තාම රාත්‍රී නින්දට වැටෙනතුරුම යන්ත්‍ර මෙන් එකදිගටම වැඩ.

මේ මිනිසුන් අතර බොහෝ පිරිසක් පසුවන්නේ විශාල කණස්සලකින් සහ පසුතැවීමකින්.මේ අවිවේකී, මිනිසුන්ගේ සිත සුවපත් කිරීමට මා විසින් යමක් කළයුතු යැයි කියා කලක සිටම අදහසක් තිබුණා.

එසේ සිතුණු සිතුවිල්ල මල්පල ගැනීමක් තමයි 'සිත නිවන ගී'එකතුව. මට මේ ලෝකෙදි හොඳ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණා. හොඳ සැමියෙක්, දරුවෙක් සහ පවුලක් ලැබුණා. කවදාවත් කිසිවකු විවේචනයකර කිසිවෙක් සමග තරහවී නැහැ.

ඒ නිසයි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නවකයන් මා සමග සුහද. මම මේ සමාජයේ එක චරිතයක් විතරයි. මම නැතිවුණා කියලා සමාජයේ සිදුවන කිසිම ක්‍රියාවක් නතරවන්නේ නෑ. එසේ නම් අපි දැනගත යුතුයි නවකයන්ට අවස්ථාව දී අපි අපටත් යමක් කරගැනීමට. ඒ නිසයි මට හිතුණේ මේ බෞද්ධ ගීත දොළහ ගායනා කිරීමෙන් පසුව ගීත ගායනයෙන් ඉවත්විය යුතුයි කියා.

● ඔබගේ මේ තීරණය ආදරණීය රසිකයන්ට කරන අසාධාරණයක් කියා හිතෙන්නේ නැද්ද..

මම කලිනුත් කිව්වේ මම එක්තරා චරිතයක් විතරයි.තව චරිත රාශියක් මේ සමාජයේ සිටිනවා. අලුතෙන් බිහිවන ගායක ගායිකාවන් හොඳ නිර්මාණ කරනවා. ඒ අයටත් අපි අවස්ථාවක් දිය යුතුයි. ඒ නිසා මම හිතනවා මගේ තීරණය රසිකයන්ට කරන අසාධාරණයක් නෙමෙයි කියා.

● දමයන්ති ජයසූරිය කියන ප්‍රවීණ ගායිකාව ජීවිතයේ අවසාන භාගය පිනට දහමට පමණක් නැඹුරු වු දිවියක්ගත කිරීමටද කල්පනාව

දැනටත් මම සෑම පොහොයකටම සිල් සමාදන් වෙනවා.ගෙදර ජීවත්වුණාට බොහොම සරළ සියලු දේ අත්හල දිවියක් තමයි ගෙවන්නේ. බැඳීම් යනු තවකාලික දෙයක්. අවසානයට ඉතුරුවන්නේ අප කළ හොඳ පමණයි. ඒ නිසාවෙන් ජීවිතයේ මේ ගෙවෙන අවසාන කාලයේ කුසල් වලට මුල්තැන දී දැහැමි දිවයක් ගත කිරීමයි බලාපොරොත්තුව .

 

Comments