පුංචි ශ්‍රී ගේ නර්තන හැකි­යා­වෙන් සිනමා නර්තන ශිල්පීන් විස්ම­යට පත්වෙයි | සිළුමිණ

පුංචි ශ්‍රී ගේ නර්තන හැකි­යා­වෙන් සිනමා නර්තන ශිල්පීන් විස්ම­යට පත්වෙයි

කුඩා ශ්‍රී ගේ තනි නොතනියට 1972 වසරේ සිට මව සමඟ තවත් පුංචි අමුත්තියක් දර්ශන තලයට පැමිණියාය. ඇය අන් කිසිවකු නොව ශ්‍රී ගේ එකම නැගණිය ශ්‍රී ලතාය. ශ්‍රී දේවියගේ තරමටම සුරූපී නැතත් ඇයද සුන්දර දැරියක වූවාය.

දේවි හා ලතා දෙසොහොයුරියන් මෙතෙක් නිවෙසේදී හමුවූයේ පැයක් දෙකක් වැනි කෙටි කාල සීමාවකටය. දිනෙන් දින ශ්‍රීට ලැබෙන සිනමාපට ගණන වැඩිවීමෙන් නැගණිය හා කාලය ගත කිරීමට ඉඩක් නොලැබුණු තරම්ය. දර්ශන තලවලදී කොතෙක් ළමයින් මුණ ගැසුණත් නැගණිය හා ගත කරන කාලය ඒ සියල්ලටම වඩා ශ්‍රීට අගනේය. දැන් දෙසොහොයුරියන් ට දර්ශන තලවල සිත්පුරා සෙනෙහස බෙදා හදාගැනීමට ඉඩ ලැබී තිබේ. එහෙත් ඒ ඩිරෙක්ටර් සර්ලාගේ සීමා පැනවීම්වලට යටත් වෙමිනි.

අධ්‍යක්ෂවරයාගේ සිට සියල්ලන්ට ම ශ්‍රී දේවියත්, ශ්‍රී ලතාත් සිහි ගැන්වූයේ අක්කා නඟාලාට වඩා නිවුන් සොහොයුරියන්ය. ශ්‍රී ලතා, ශ්‍රී දේවි එකිනෙකාට තුරුළුවී නොසිටියේ රූගත කරන අවස්ථාවලදී පමණි. රාජේශ්වරී මෙන්ම ශ්‍රී ලතා ද ශ්‍රී දේවිගේ රඟපෑම්වල පළමු විවේචිකාවන් විය.

වයස අවුරුදු නවයක් වනවිට ශ්‍රී රැඟූ සිනමාපට 24 ක් තිරගතවී අවසන්ය. ඇය හුදෙක් ළමා නිළියක නොව රාජ්‍ය සම්මානයෙන් පුද ලද පුංචි තාරකාවකි. ඒ නිසා ශ්‍රී ට ලැබෙන සිනමාපට ගණන සංඛ්‍යාවෙන් වැඩිවූයේ ළමා නිළියක ලෙස ලැබෙන ගෙවීමද වැඩිවෙමිනි.

මධ්‍යම පාන්තික අයියප්පන් පවුලට පුංචි ශ්‍රී රන් පිහාටු සහිත හංස පෝතිකාවක විය. සිනමා පටයෙන් සිනමා පටයට ශ්‍රීට ලැබෙන ආදායමෙන් ඔවුන් හැකි තරම් දේපළ මිලදී ගත්හ. ආදායම් බදු ප්‍රශ්න ආදී විවධ හේතූන් නිසා මාපියන් දේපළ ලියා පදිංචි කළේ ශ්‍රී ගේ නමට නොවේ. අයියප්පන් අයියන්ගාර් සහ රාජේශ්වරී අයියන්ගාර් නම්වලටය. තම රංගන ප්‍රතිභාවෙන් ලැබෙන ආදායම මෙලෙස නිවාස, දේපළ, ඉඩකඩම් වෙද්දී ශ්‍රී කැමරාව ඉදිරියේ තව තවත් රංගනයේ යෙදුණාය. සියල්ල සාපයක් වී බූම රංගයක් මෙන් යළි තමන් වෙතම පැමිණෙන බව අහිංසක දැරිය දැන සිටියේ නැත.

1972 වසරේ තෛපොන්ගල් දිනයේ ( ජනවාරි 14 වැනිදා ) ශ්‍රී රඟපෑ ‘අගත්තියාර්‘ තිරගත විය. එම වසරේ ශ්‍රී රැඟූ දමිළ සිනමාපට හතරක්ද, මලයාලම් සිනමා පටයක්ද, තෙළිඟු සිනමා පට දෙකක්ද තිරගත වූ අතර අගත්තියාර් දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වූ අතර සිනමාපටය මෙන්ම ශ්‍රී ගේ රංගනයත් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය විය. ශ්‍රී එම වර්ණ සිනමා පටයේ ස්කන්ධ කුමරාගේ ළමා විය නිරූපණය කළාය. එහි ස්කන්ධ කුමාරයා ලෙසින් හා වෙස්වලාගත් බ්‍රාහ්මණ දරුවකුසේ පෑ රංගන කුසලතාව බොහෝ දෙනාගේ මතකයේ රැඳිණි.

මැයි 26 වැනි දින තිරගතවූ ‘ගනිමුතු පප්පාහි‘ පුංචි දඟකාරිය, 1972 වසරේ ඇගේ රංගන අතරට එක්වූ තවත් එක් සුවිශේෂී රංගනයකි. එහි ශ්‍රී රඟන ගීතමය ජවනිකාද අන්තර්ගත විය.

‘මලෙයි නාට්ටු මන්ගායි‘ සිනමා පටයේ මෙන්ම ‘වසන්ත මාලිගෙයි‘සිනමා පටයේද ශ්‍රී ට යළි මහා නළු ශිවාජි ගනේෂන් සමඟ රඟපෑමට ලැබිණි. වසන්ත මාළිගෙයි ( විනෝද මන්දිරය) 1971 දී අතිශය ජනප්‍රිය වූ ‘ ප්‍රේම් නගර් නම් තෙළිඟු සිනමා පටයේ ප්‍රති නිර්මායයි.

තීර්ථ යාත්‍රා එම වසරේ තිරගතවූ බේබි ශ්‍රී දේවි රැඟූ එකම මලයාලම් සිනමා පටයයි.

බාඩි පන්තුලු හෙවත් පාසල් ගුරුවරයා 1972දී තිරගත වූ ශ්‍රී රැඟූ සුපිරි ලෙස ආදායම් වාර්තා පිහිටවූ තෙළිඟු සිනමා පටයකි. ‘බූච් දම්මා බූචමු‘ ගීතයට නර්තනයේ යෙදෙමින් ඇය රඟන අන්දම නැවත නැවත නැරඹීමට බොහෝ දෙනෙක් පෙළඹුණහ. ළමා වුවද එහි ශ්‍රීට නිරූපණය කිරීමට ලැබුණේ සංකීර්ණ චරිතයකි.

1972 වසරේම තෙළිඟු සිනමා පට අතරට එක්වූ ‘බාලා භාරතම්ද සුවිශේෂීය. එහි බොහෝ චරිත නිරූපණය කරන ලද්දේ ළමා නළු නිළියන් විසිනි. බේබි ශ්‍රී දේවියගේ නම සිනමා නාමාවලියේ මුලින්ම සඳහන් විය. භාරතයේ සුප්‍රසිද්ධ මහා භාරත පුරාවෘතයේ කුරු පාණ්ඩවයන්ගේ ළමා අවධිය ඇසුරින් සිනමා පටය නිර්මාණය වී තිබිණි. ශ්‍රී එහි රඟනු ලැබුවේ දුසාලා කුමරියගේ චරිතයයි.

දෙවියන්ගේ කුඩාවිය නිරූපණය කරන ශ්‍රී ට කුමාරියකසේ රඟන්නට ලැබෙන් අවස්ථා සීමා සහිත නිසා දුසාලාගේ චරිතයෙන් ශ්‍රී ලැබුවේ අසීමිත සතුටකි. අධ්‍යක්ෂවරුන් ශ්‍රීගේ රංගන හැකියාවෙන් , නර්තන හැකියාවෙන්ද මේ වන විට උපරිම ඵල නෙළා ගැනීමට සමත්විණි. ශ්‍රී රඟන ළමා චරිත බොහොමයකට ඇයගේ අසම සම නර්තන ලීලාවන්ද ඔවුහු එක්කර ගත්හ.

දුසාලා කුමරිය ලෙස රැඟූ ශ්‍රී තාරන්ගම් ගීතයට පෑ නර්තනය, සුපිරි බොලිවුඩ් තාරකාවකගේ නර්තනයට නොදෙවැනි විය. ඇය මේ සියලු හපන්කම් පෑවේ විෂයක් ලෙසින් නර්තනය හැදෑරීමෙන් නොවීම ඇයට නර්තන පුරුදු පුහුණු කරන සිනමා නර්තන ශිල්පීන්ගේද විස්මයට කරුණක් විය. ශිල්පීය දැනුමක් නැතත් සංසාරිකව අවදිවුණු ශ්‍රී ගේ නර්තන, රංගන හැකියාවන් අවදි කිරීම සිනමා නර්තන පුහුණු කරුවන්ට මෙන්ම අධ්‍යක්ෂවරුන්ට ද ඉතා පහසු කරුණක් විය.

නිළියක් ලෙස තමන්ට ස්ථාවර වීමට නොහැකි වුවත් දියණියගේ දිනෙන් දින ඔප මට්ටම් වන හැකියාවන් දෙස බලාසිටීම රාජේශ්වරීගේ ජීවිතයේ එකම සතුට බවට පත්විය. දැන් ඒ සතුට බෙදා ගැනීමට කුඩා ශ්‍රී ලතා ද එක්වී සිටියි.

රංගනයෙන් නර්තනයෙන් ඉහළටම පිය නගන බේබි ශ්‍රී තවමත් නව හැවිරිදි දැරියකි. එසේ වුවත් ප්‍රධාන තාරකාවන්ගේ උරහිස තරමට දැන් ඇය උස් මහත් වී ඇත. අනාගතයේ සුරූපී නව යෞවනියක වන බවට පෙර නිමිති ශ්‍රී ළමා වියේදීම විදහා දැක්වූවාය. ශ්‍රී ගේ හෙට දවස ගැන දකුණු ඉන්දීය සිනමාවේදීහු මහත් බලාපොරොත්තු දල්වා බලා සිටින්නට වූහ.

 

ලබන සතියේ තවත් කොටසක්

Comments