
පුංචි අන්දරේ චිත්‍රපටයත් සමඟ එහි අධ්‍යක්ෂ සුමිත් රෝහණ තිත්තවැල්ගල මේ දිනවල තරමක් කාර්ය බහුලයි. ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන පුංචි අන්දරේ මේ වන විට සිනමාහල් රැසක තිරගත වීමට පටන් ගෙන තිබෙනවා.
● 'පුංචි අන්දරේ'අවුරුදු කාලයට දරුවන්ට පිදෙන නවතම චිත්‍රපටයක්?
පුංචි අන්දරේ'සිනමා සිත්තම නිර්මාණය වෙන්නේ කුඩා කල සිට අන්දරේ ගැන අසා තිබූ සුන්දර කතා නිසා.මං හැදී වැඩුණු කැළණි ගං මිටියාවතේ දී මගේ ආච්චි අම්මා අන්දරේ ගැන නිතරම වීර කතා,ප්‍රඥාවන්ත කතා,විහිළු කතා කියනවා. මේ කතා නිසා අන්දරේ කුඩා කළ සිට කරපු කියපු දේ අපිට අහන්න ලැබෙන විට අපේ කුඩා සිත්වල ඔහු නොදැනීම වීරයෙක් බවට පත් වුණා. අන්දරේ මට දැනෙන චරිතයක් බවට පත් වුණා. ඒ නිසා අන්දරේ ගැන කවදා හෝ යම් නිර්මාණයක් කළ යුතුයි කියලා මගේ හිතේ තිබුණා.
● අන්දරේ වැනි චරිතයක් සිනමාවට නැඟීම තරමක් අභියෝගාත්මකයි නේද?
ඇත්තටම.මම අන්දරේගේ කුඩා කාලය ගැන කරුණු කාරණ බොහොමයක් සෙව්වා. පොත පත විශ්ලේෂණය කළා. අලුත් දේවල් හිතන්න පටන් ගත්තා.අන්දරේ ගැන සමහර දේවල් ලියමින් සිටියා. මේ අතරතුර තමයි මහින්ද කුමාර දළුපොත මට මුණ ගැහෙන්නේ. ඒ අනුව මහින්ද අයියා තිර රචනය ලියන්නට කටයුතු කරනවා. එයින් පසුව අපි දෙදෙනාගේම එකතුවෙන් මේ සිනමා නිර්මාණය එළි දැක්වෙනවා.
● අන්දරේ සිනහ සාගරයක් ?
අන්දරේ කියලා අපි හිතන්නේ විහිළුකාරයෙක් කියලයි. ඒත් මං හිතන්නේ අන්දරේ අපේ සාහිත්‍ය ඉතිහාසයේ බිහි වූ ප්‍රඥාවන්තම චරිතයක්. මං හිතනවා ඔහු තුළ විශාල ප්‍රඥාවක් තිබුණා කියලා.එය ඔහු ඉතා දක්ෂ විදිහට සමාජ ගත කළා. ඔහුගේ ළමා කාලය තුළ එය මනාව ප්‍රකට වෙනවා. ඊටත් වඩා එහාට ගිහින් ඔහුගේ ප්‍රඥාවන්තකම ගැන කතා කළොත්, අන්දරේ කියන්නේ ඉතාම නැණවත් පරිසරවේදියෙක්. පරිසරයට බොහෝ සේ ඇලුම් කළ කෙනෙක්. ඔහු පරිසරයත් එක්ක නිතරම බද්ධ වෙලා අපේ පැවැති කෘෂිකාර්මික පරිසරය, ගොවිතැන මූලික වෙච්ච සංස්කෘතියට, ආගමට මුල්තැන දී ළමා විය ගත කරපු නැණවත් දරුවෙක්.
● ඔබ කටයුතු කරන්නේ කුඩා දරුවන් පිරිසක් සමඟයි?
ඇත්තටම මේ කතාව ගොඩ නගද්දී මේ චරිතවලට දායක වූ සමහර ළමයින් හිටියා අන්දරේ ගැන කිසිවක්ම දැන නොසිටපු. අද තිබෙන ශෝචනීයම තත්ත්වය එයයි. අන්දරේ ගැන නොදන්න දරුවන් හිටියත්, මට ඒ ගැන කණගාටුවක් තිබුණත්, මම ඒ හැම දරුවෙක්ටම අන්දරේ ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. අන්දරේ මොන වගේ චරිතයක් ද, කොහොමද ඔහු අපිට, සාහිත්‍යයට වැදගත් වෙන්නේ කියන අවබෝධය ඒ දරුවන්ට වගේම මේ චිත්‍රපටය නරඹන ඕනෑම දරුවෙකුට අවබෝධ වෙන ලෙස අපි එය නිර්මාණය කළා.ඒ වගේම මෙහි රූගත කිරීම් කරත් දී මම ටිකක් සැරෙන් තමයි දරුවන් ටික ටික හැසිරෙව්වේ. මොකද මෙහි ගීත දෙකක් කැමරා තුනක් යොදාගෙන දැවැන්ත ලෙස රූගත කිරීම් කළා. එතනදී සමහර වෙලාවට කුඹුරු දිගේ, ගංගා දිගේ, කඳුවැටි දිගේ දරුවන්ට දුවන්නට සිදු වුණා. සමහර දරුවෝ දුවපු දිවිල්ලට ආපහු ආවේ අමුඩ කෙටි නැතුව. තවත් අයට සිහියක් තිබුණේ නැහැ මේක රූපගත කිරීමක් කියලා. පීනන්න කිව්වම දවසම වතුරට වෙලා නටනවා. මේ දේවල් එක්ක දරුවෝ ආම්බන් කරන එකත් මට සුන්දර අත්දැකීමක් වුණා.
● අන්දරේ රූගත කිරීම් කළේ කොහේද?
ගල්ගමුව, ඇහැටුවැව වගේ දුෂ්කර ප්‍රදේශවල තමයි මේ චිත්‍රපට රූගත කළේ. මේ ප්‍රදේශවල නිතරම අලි කරදර ඇති වෙනවා. ඒ නිසා යම් අවදානමක් සහිතව තමයි මේ චිත්‍රපටය රූගත කිරීමට අපිට සිදු වුණේ. මොකද චිත්‍රපටයේ එන සමහර දර්ශනවලට අලංකාරවත් ස්වභාව සෞන්දර්ය අනූන ස්ථාන සොයා යාමට අපිට සිදු වුණා. ඒ අතර අපට අමතක නොවන රසවත් සිදුවීම් වගේම භයානක දේටත් අපිට මුහුණපාන්නට සිදු වුණා.මේ ප්‍රදේශයේ දින 16 ක් නේවාසිකව රූගත කිරීම් සිදු කරත්දී ඇහැටුවැව ගම්මානයට අලි ගම් වැදිලා ගමේ ලොකු කලබලයක්. අපිටත් කර කියා ගන්න දෙයක් නැහැ. චිත්‍රපටයේ රඟපාන කුඩා දරුවන් දහයක් දොළහක් විතර ඉන්නවා. මේ අයව ආරක්ෂා කරගන්න අපි වෙහෙස වුණා. අපි මොන තරම් කලබල වුණත් දරුවන්ට නම් ගානක්වත් නැහැ. මොකද ඇලේ දොලේ පීනලා, දුවල පැනලා ඒ අය කාලය ගත කළේ සතුටින්. කොහොම හරි එදා රූගත කිරීම් නිම කරලා වාහනවලට නගින තුරුම දැඩි විමසිල්ලකින් තමයි අපි සිටියේ. මේ වගේ සිදුවීම් ගොඩක් තිබුණා. මොකද පාන්දරින්ම ෂූටින් පටන් ගන්න නිසා කැලේ යද්දී අලි ප්‍රශ්නයට නිතරම අපි මුහුණ පෑවා.
ඒ වගේම මේ චිත්‍රපටයේ රඟපාන්නේ කොළඹ පරිසරයේ හැදී වැඩෙන දරුවන්. ගම ගැන අවබෝධය අල්පයි. ඒ අයට අමුඩය ගහන එකත් ලේසි වුණේ නැහැ. සමහරුන් හරිම ලැජ්ජාවක් දැක් වූවා. ඒත් පස්සෙ පස්සෙ චරිතවලට අනුගත වෙන කොට හරි ගියා. ඒත් මට පොඩ්ඩන්ගෙන් නිතරම කරදර ආවා. 'අනේ අපි අමුඩේ ගහගෙන ඉන්න රූප රාමු දාන්න එපා' කියලා ඉල්ලන්න ගත්තා. ඒ වෙලාවට මම ෂේප් වුණා.
● 'පුංචි අන්දරේ'ට ලැබෙන ප්‍රතිචාර ?
හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැනටමත් බොහෝ පිරිසක් මේ චිත්‍රපටය නරඹා තිබෙනවා. මොකද මේ චිත්‍රපටය ලොකු කැපවීමක් කරලා, ගවේෂණයක් කරලා නිර්මාණය කළ චිත්‍රපටයක්. එදා අතීතයේ පැවැති සමාජ පරිසරය පිළිබඳවත්, ඒ සමාජ පරිසරයට බද්ධ වෙලා දරුවකු හැදෙන වැඩෙන අයුරුත්, ඔවුන්ට ලැබෙන නිදහසත් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. ඒ වගේම දුෂ්කර ගම්මානයක ඉපදිලා රජවාසල සේවය සඳහා යන්නට අන්දරේට ලැබෙන හැකියාව ගැනත් මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම දරුවන් හැම දෙනාම මේ චිත්‍රපටය නැරැඹිය යුතුම චිත්‍රපටයක් කියලයි. දැනට ලැබෙන ප්‍රතිචාර අනුව දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ප්‍රයෝජනවත් චිත්‍රපටයක් කියලා මට හිතෙනවා.