
ස්වභාව සෞන්දර්යයේ අසිරිය විඳගන්නට ඕනෑම කෙනකු කැමැතියි. කෙසේ හෝ විවේකයක් සොයාගෙන මෙවැනි සොඳුරු ස්ථානවල සංචාරය කරන්නට සියලු දෙනාම කැමැති නමුත් ගේ දොර වසාදමා, තිබෙන වැඩකටයුතු අතපසු කර සති ගණන් ගත කිරීමට හැකියාවක් තිබෙන්නේ ඉතාමත් අතළොස්සක් පිරිසකටයි.
ඔබගේ දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට වඩා වැඩි නම් ඔබට නිවසේ සුව පහසුව ඒ ආකාරයෙන්ම විඳිමින් ලෝකය පුරා සංචාරය කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ තමයි ‘ද වර්ල්ඩ්’ (The World) නමින් හැඳින්වෙන සුපිරි නෞකාවේ නිවසක් මිලදීගෙන එහි පදිංචි වීම.
ලොව තිබෙන අනෙකුත් සුපිරි මගී නෞකා මෙන් නොව මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙහි තිබෙන්නේ ස්ථිර නිවාස වීමයි. පෞද්ගලික නිවාස 165කින් සැදුම්ලත් මෙම නෞකාව ලොව පුරා ගමන් කරන අතර ඒ සමහර සංචාරයන් ලොව තිබෙන ඉතාමත් දුෂ්කර හා සාමාන්‍ය ජනයා ගමන් නොකරන ස්ථාන වෙත ගමන් කරන්නේ මෙම නැවෙහි පදිංචිකරුවන්ට නව අත්දැකීමක් සෑම දිනකදීම ලබා දීමටයි.
ඇමෙරිකානු ඩොලර් මිලියනයේ සිට මිලියන 13 දක්වා මිල ගණන් වලින් යුක්ත වෙන මෙම නිවාස 165 ලොවපුරා රටවල් රැසකින් පැමිණි ධනවත් පවුල් 130කට අයත් වන අතර සෑම වසරකම මින් නිවාස කිහිපයක් නැවත විකිණීමද සිදු වනවා. කුඩා නිවාසවල සිට නිදන කාමරය 3ක් හා 6ක් සහිත විශාල නිවාසද මෙහි තිබෙනවා.
මෙහි නිවෙස් හිමියන්ගෙන් වාර්ෂිකව ගාස්තුවක්ද අය කරන්නේ ඔවුන්ගේ නිවසේ වර්ග අඩි ප්‍රමාණය අනුවයි. නිවාස වලට අමතරව අංග සම්පූර්ණ ටෙනිස් ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාක, විශාල කාය වර්ධන මධ්‍යස්ථානයක් හා ඉස්තරම් වයින් බෝතල් 12,000ක එකතුවක්ද මෙහි තිබෙනවා.
ඇමෙරිකානු සමාගමක් වන ROW කළමනාකරන ආයතනය මගින් රැකබලා ගන්නා මෙම මහල් 12කින් යුතු නෞකාව සතුව ආපනශාලා 6ක්, තැබෑරුම් හා තේ පැන් සාද තිබෙන ස්ථාන මෙන්ම පුස්තකාලයක්, සිනමා ශාලාවක් හා ගොල්ෆ් ක්‍රීඩා කළ හැකි ස්ථානයක්ද තිබෙනවා.
නිවෙස් අයිතිකරුවන්ට තම නෑදෑ හිතමිත්රයන්වද මෙහි ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා. මේ නිසා ඕනෑම අවස්ථාවක මෙහි 150-200 අතර පිරිසක් සිටින අතර නිවෙස් හිමියෙකු මෙම නැවෙහි එකදිගට මාස 3ත් 6ත් අතර කාලයක් ගමන් කරනවා.
සෑම වසරකට පෙර ඉදිරි වසරේදී නැවෙහි ගමන් මාර්ගය නිවෙසියන්ට ලබාදෙන අතර ඕනෑම අවස්ථාවක නෞකාව ළඟා වන වරායකින් නැවට ඇතුළු වීමට හෝ පිටවීමට නිවැසියන්ට අවස්ථාව තිබෙනවා. ලොව වටා ගමන් කරන විට මෙහි නිවැසියන්ට නෞකාවෙන් එළියට පැමිණ රටවල් තුළට ගොස් සංචාරය කිරීමටද අවස්ථාව හිමිවෙනවා.
පරිසර හිතකාමී නෞකාවක් වන මෙය සාගරයට හානි නොවන ඉන්ධන (Marine Diesel) භාවිතා කරන නිසා හා අපද්‍රව්‍ය පිරිපහදු කරන නිසා සාමාන්‍ය නෞකා වලට ගමන් කළ නොහැකි සංවේදී පරිසර පද්ධති සහිත ස්ථාන වලට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. මෙම නෞකාවේ විශේෂත්වයක් වන්නේ එම ගමන් කරන ස්ථානය පිළිබඳව ඉතා හොඳ වැටහීමක් හා අධ්‍යාපනයක් මෙම නිවැසියන් වෙත ලබාදීමට විද්‍යාඥයන් හා විශේෂඥන් පැමිණ දේශන ලබාදීමයි.
මුදල් තිබූ පමණින්ම මෙම නැවෙහි සාමාජිකයෙකු විය නොහැකි අතර නිවෙසක් ලබාදීමට පෙර එම පුද්ගලයා හා පවුල් පසුබිම කෙරෙහිද විශාල අවධානයක් යොමු කරන නිසා මෙම නෞකාව තුළ සිටින්නේ සාධාරණ ලෙසින් මුදල් උපයාගත් ඉහළ වෘත්තීන් වලට අයත් උගත් බුද්ධිමතුන් පිරිසකි.
2002 වසරේ සිට නොනවත්වා ලොව පුරා ගමන් කරනා මෙම නෞකාව ඇන්ටාර්ක්ටිකාව දෙසට වන්නට දක්ෂිණ මුහුදේ වැඩිම දුරක් ගමන් කරන ලද නෞකාව බවට ලෝක වාර්තාවක්ද තබා ඇති අතර 2019 වසරේ පෙබරවාරියේ දී ලංකාවේ කොළඹ හා ගාල්ල වරායන් වෙත ද පැමිණීමට නියමිතයි.