තනි­යම රෑ වෙලා එහේ මෙහේ ඇවි­දින්න තියා­ගන්න එපා | සිළුමිණ

තනි­යම රෑ වෙලා එහේ මෙහේ ඇවි­දින්න තියා­ගන්න එපා

නතර කරන ලද ත්‍රිරෝද රථයෙන් එබී බැලූ තැනැත්තා එක්වරම හඳුනා ගැනීමට ෆියෝනාට නොහැකි විය. ඔහු හිසෙහි තොප්පියක් පැළඳ සිටියෙන් දෙනෙත් ආවරණය වී තිබුණද, කිසියම් හුරුපුරුදු බවක් ඇයට දැනිණ.

ඉදිරියට යාමට පියවරක් තැබූ නමුත් ඔහු අරවින්ද් බව හඳුනා ගත් ෆියෝනා ඉදිරියට තැබූ පය ආපසු පසුපසට ගත්තාය.

“මිසිස් ජැෆර්ජි කොහෙද මේ රෑ වෙලා යන්නෙ?”

අරවින්ද් ත්‍රිරෝද රථයෙන් බිමට බැස ගත්තේය. ඔහුගේ එක් අතක වයලීනයක් විය.

“මට එකපාරටම මිස්ට අරවින්ද්ව අඳුන ගන්නත් බැරි වුණා.”

ෆියෝනා පැවසුවාය.

“එහෙම තමයි. ගොඩක් අය මාව අඳුන ගන්නෙ පමා වෙලා. මිසිස් ජැෆර්ජි ගෙදර යනවනම් නගින්න.”

“මම සුපර් මාකට් එකට යන්නෙ. මිස්ට අරවින්ද් යන්න.”

අරවින්ද් බිම බලාගෙන කල්පනා කළේය. ත්‍රිරෝද රථ රියැදුරා නොඉවසිල්ලෙන් තමා දෙසත්, අරවින්ද් දෙසත් බලන අයුරු ෆියෝනා දුටුවාය.

“පරක්කු වෙනවනෙ. මිස්ට අරවින්ද් යන්න. මං යන්නම්.”

“නෑ. ඉන්න. මාත් එනවා.”

ත්‍රිරෝද රථ රියැදුරාට මුදල් ගෙවූ අරවින්ද් ඔහු පිටත් කර හැරියේය.

“අපරාදෙ බැස්සෙ. මිස්ට අරවින්ද්ට ගෙදර යන්න තිබුනනේ.”

“නෑ. ඒකට කමක් නෑ.”

අරවින්ද් සිය දකුණත එල්ලාගෙන සිටි වයලීනය අනෙක් අතට මාරු කර ගත්තේය.

“මටත් සුපර් මාකට් යන්න ඕනකම තිබුණා. මිසිස් ජැෆර්ජිත් එක්කම ගියාම ලේසියි. අනික තනියම රෑ වෙලා එහේ මෙහේ ඇවිදින්න තියාගන්න එපා.”

“ඇයි?”

“දන්නෙ නැද්ද? ඊයෙත් එහා පාරෙ ඔෆිස් ගිහින් එන ගෑනු කෙනකුගෙ මාලයක් කඩාගෙන ගිහින්. බයික් එකකින් ඇවිත්.”

“මං මාලයක් දාන්නෙ නැති නිසා මට බය වෙන්න දෙයක් නෑ.”

“එහෙමද මිසිස් ජැෆර්ජි හිතාගෙන ඉන්නෙ? නොදැන හිටියට මිසිස් ජැෆර්ජිට හතුරො ඉන්නවා කියලා මට හිතෙනවා.”

“හේතුවක් නැතිව එහෙම හිතන එක වැරැදියි.”

“හේතු නැතිවම නෙමෙයි. අද ආව මනුස්සයා ගැන මට සැකයි.”

“ඇයි?”

“ඩොකියුමන්ට් එකක් ගන්න ආවා කියලා කිව්වට ඒ මනුස්සයගෙ හැසිරීම සැක සහිතයි. කෝකටත් ප්‍රවේශමෙන්.”

සුපිරි වෙළෙඳ සල ආසන්නයටම පැමිණ සිටි බැවින් අරවින්ද් කතාව නතර කළේය. ඔහු සිය වයලීනය භාණ්ඩ කවුන්ටරයෙහි තබා පැමිණෙන තුරු ෆියෝනා ට්‍රොලියක්ද තල්ලු කරගෙන සුපිරි වෙළෙඳ සල තුළට ගියාය. නිවසේදී ඉඳහිට අක්කලා සමග හෝ පියවතී සමග ගොස් නිවසට ඇවැසි දේ මිල දී ගත්තද, තනිව මෙසේ පැමිණි පළමු අවස්ථාව මෙය බව ෆියෝනාට සිහිපත් විය. විවාහ වූ මුල් අවධියේදී අසාර් සමග පැමිණ භාණ්ඩ තේරීම හා මිල දී ගැනීම සිතට බොහෝ සතුටක් ගෙන දුන්නේය. අසාර් භාණ්ඩ වල මිල ගැන සළකන්නෙක් නොවේ. ඔහු මිල අධිකම භාණ්ඩ වඩාත් හොඳ ඒවා සේ සිතන්නට ඇතැයි දැන් සිතෙයි.

“ඔච්චර ගණන් ඒවා ගන්නෙ ඇයි?”

මිල අධික යමක් ගෙන ට්‍රොලියට දමා ගනිද්දී තමා විමසන අයුරුත් එයට ඔහු දෙන පිළිතුරත් ෆියෝනාට සිහිපත් විය.

“අපි ඔය කුමාරිහාමිලා වගේ ලෝබ උදවිය නෙමෙයි. හොඳම දේ ගන්නවා මිසක් බාල බඩු ගැනිල්ලෙ පුරුද්දක් අපට නෑ.”

එම දිනවල නොවැටහුනද, එම වදන් වල කැටි වී තිබෙන්නට ඇත්තේ අවඥාවක් විය යුතු යයි දැන් සිතෙයි.

ෆියෝනා සිතිවිල්ලේම අවශ්‍ය දෑ ට්‍රොලියට දමාගෙන අවසන් වන විට අරවින්ද් ද ඇය අසලට පැමිණියේය.

“මිසිස් ජැෆර්ජි බඩු අරගෙන ඉවරද?”

“ඉවරයි.”

“මෙච්චර ටිකක්?”

“ඉන්නෙ මං විතරනෙ. මහ ගොඩක් ගන්න ඕනකමක් නෑ.”

ෆියෝනා ද, අරවින්ද් ද බිල් ගෙවීමට රැස්ව සිටින පෝලිමට එකතු වුහ.

“දැන් ගෙදර ගිහින් උයනවද?”

අරවින්ද් ඇසුවේය.

“ඔව්. එහෙම හිතාගෙන තමයි මං ආවෙත්.”

“මිසිස් ජැෆර්ජි කරදර වෙන්න එපා. මං ඔයාටත් එක්කම උයන්නම්.”

අරවින්ද් සෙමෙන් පැවසුවද, එය ඉදිරියෙන් සිටි තැනැත්තාට ද ඇසෙන්නට ඇතැයි ෆියෝනාට සිතුණේ ඔහු හැරී බලද්දීය. තවදුරටත් කතා නොකරන මෙන් ෆියෝනා අරවින්ද්ට ඇසින් ඉඟි කළාය.

“ඇයි මට කතා කරන්න එපා කිව්වෙ?”

පෝලිමේ ඉදිරියෙන් සිටි තැනැත්තා හැරී බලන අයුරු නොදුටු අරවින්ද් රහසින් ඇසුවේය.

“ඉස්සරහ ඉන්න කෙනා හැරිලා බැලුවා.”

“ඇයි හැරිලා බලන්නෙ? කෝ කවුද?”

“අර නිල් පාට ෂර්ට් එකක් ඇඳලා ඉන්න උස කෙනා.”

අරවින්ද්ට ඉදිරියෙන් සිටින තැනැත්තා නොපෙනුනෙන් ඔහු ඒ මේ අතට හැරෙමින් හැරී බැලූ තැනැත්තා දැක ගැනීමට වෑයම් කරනු දුටු ෆියෝනාගේ මුවග සිනාවක් නැගිණ. හිටිහැටියේම තම ට්‍රොලිය ද තල්ලු කරගෙන අරවින්ද් අනෙක් පෝලිම දෙසට යන අයුරු ෆියෝනා දුටුවාය. එයට හේතු විමසන්නට සිතා ඔහු මුහුණ දෙස බැලූ නමුදු අරවින්ද් සිටියේ ඉවත බලාගෙනය.

“මාත් එක්ක තරහ වෙන්න ඇති. නැත්නම් අච්චර දිග පෝලිමකට ගියේ? මම වැරැද්දක් කිව්වෙ නෑනෙ. තරහ වෙන්න.”

ෆියෝනා බිල ගෙවා සිය බඩු මලු ද රැගෙන සුපිරි වෙළෙඳ සල ඉදිරියෙහි සිටගෙන සිටියාය. දිගු පෝලිමෙහි අග්ගිස්සේ සිටි අරවින්ද් බිල ගෙවා පැමිණෙන විට සෑහෙන වේලාවක් ගත වී තිබිණ.

“මිසිස් ජැෆර්ජි හෙමිහිට ගිහින් අර ටුක් එකට නගින්න. මම පස්සෙ එන්නම්.”

අරවින්ද් පැවසුවේ රහස් හඬිනි. හිටිහැටියේම ඔහුට සිදු වූයේ කුමක්දැයි අසන්නට හැරී බැලුවද, ඒ වනවිට අරවින්ද් සිය බඩු මලු ද රැගෙන වෙනත් ත්‍රිරෝද රථයක් දෙසට ගමන් කරමින් සිටියේය. ෆියෝනා ඉදිරියෙහි නවත්වා ඇති ත්‍රිරෝද රථයට නැග ගත්තාය. අරවින්ද්ට හිටිහැටියේම සිදු වුයේ කුමක්ද යන්න විමසීමට ඇයට වුවමනා විය.

ෆියෝනා පැමිණි ත්‍රිරෝද රථයට පසුපසින් අරවින්ද් පැමිණි ත්‍රිරෝද රථය, ඔහුගේ නිවසෙහි ගේට්ටුව ඉදිරිපිට නතර විය. රියැදුරාට මුදල් ගෙවූ අරවින්ද් ගෙතුළට ගියේ ෆියෝනා දෙස බැල්මක්වත් නොහෙලමිනි.

“මොකක් වුණාද අරවින්ද්ට. මටත් එක්ක උයන්නම් කියලා කියපු මනුස්සයා. හිටිගමන්ම වෙනස් වුණා.”

ෆියෝනා ගේට්ටුව හැර ගත්තේ සිතිවිල්ලෙනි. ඇයට ඉබේටම මෙන් අහස දෙස බැලිණ. රාත්‍රී අහසේ තරු කැට එකකුදු දක්නට නොමැත. අහස වැහි වළාකුලු වලින් පිරී තිබේ. අද රාත්‍රියට අනෝරා වැසි ඇද හැලෙනු ඇතැයි ඇයට සිතිණ.

“අරවින්ද් හරියට අහස වගේම තමයි. හිටි ගමන් වෙනස් වුණේ මං මොන වරදක් කළාටද?”

නිවසෙහි දොර හරින ෆියෝනා තමාටම පවසා ගත්තාය. උඩු මහලට නැගුණු ඇය අරවින්ද්ගේ නිවස දෙස බැලුවද, තවමත් එහි විදුලි පහන් දල්වා නොතිබිණ.

“මොකක් වුණාද අරවින්ද්ට. ඕන නෑ. මං කතා කරන්නෙත් නෑ. එයා උයන කෑම මට ඕනත් නෑ.”

මුළුතැන්ගෙට ගොස් ගෙන ආ සියලු දෑ අස් කොට බත් පිසින උඳුනට හාල් ස්වල්පයක් දැමූ ඇය සිතුවාය. ඒ හා සමගම ෆියෝනාගේ ජංගම දුරකතනය නාද වන්නට විය. ඇය එය අතට ගෙන බැලුවාය. දුරකතන තිරය මත වූයේ අරවින්ද්ගේ නමයි.

ලබන සතියට

Comments