කොළඹ පාරෙන් රටවටේ යන සුසිල් | සිළුමිණ

කොළඹ පාරෙන් රටවටේ යන සුසිල්

දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයෙන් වේදිකාවට ගොඩවන සුසිල් රණසිංහ මෙරට වේදිකා නාට්‍යයන්හි නමක් රැන්දු කලාකරුවෙකි. සුසිල් සිය හැකියාව රඟපෑමට පමණක් සීමා නොකර එහි විවධ ඉසව් කරා ගෙනයාමට සමත් වෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු විසින් නිර්මාණය කළ ‘කොළඹ පාර‘ වේදිකා නාට්‍යය මේ වන විට වේදිකා ගත වෙමින් තිබේ. ඔහුගේ නව නිර්මාණය හා ක්ෂේත්‍රයේ ආගමනය පිළිබඳ කළ සංවාදයකි.

ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොම ද ?

1979 වසරේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් ඉන්න කොට මගේ සිංහල ආචාර්ය අමරදාස රණවක ගුරුපියා වේදිකා නාට්‍යයක් නිර්මාණය කරනවා ‘සෙනෙහස‘ කියලා. එය ජාතක කතාවක් පාදක කරගනිමින් තමයි නිර්මාණය කරන්නේ. ඒ නාට්‍යයෙන් තමයි මම මුලින්ම රගපෑමට එක්වෙන්නේ. එය නරඹපු බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා මගේ රගපෑමට දක්ෂතාවයක් තියෙන නිසා ඒ පැත්තෙන්ම ඉදිරියට යන්න කියළා. එතකොට මටත් අසාවක් ආවා රගපෑම පැත්තට යොමු වෙන්න.

පාසල් අධ්‍යාපානය අවසන් වුණාට පස්සේ කොළඹ ඇවිත් සුළු රැකියාවක් කරමින් නාට්‍ය ගැන හදාරන්න ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිවරයගේ යුගයේ ටවර් හෝල් පදනමෙන් ලංකාවට විදේශීය නාට්‍යකරුවන් කිහිපදෙනෙක් ගෙන්නවලා නාට්‍ය ගැන වැඩමුළු පැවැත්තුවා.

ඉන් පසුව 1982 වසරේ දි විතර ටවර් හෝල් පදනම මගින් බෙල්ජියම් ජාතික මහාචාර්ය රූඩි කොරෙන්ස් ලංකාවට ගෙන්වලා නාට්‍ය වැඩමුළු කළා. ඒ කාලේ මාත් එක්ක ඒ වැඩමුළුවල එච් ඒ පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, චන්න විජේවර්ධන, ස්වර්ණපාල ජයසූරිය, අවන්ති අපෝන්සු වගේ අයත් එදා රගපෑම් ගැන ඉගෙන ගනිමින් සිටියා. එතකොට ඒ අයත් ආධුනිකයෝ. අපි එතුමත් එක්ක වසරක් විතර නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරමින් බොහෝ අද්දැකීම් එකතු කරගත්තා. ඉන් පස්සේ ටොනි රණසිංහ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජයන්ත චන්ද්‍රසිරි, පරාක්‍රම නිරිඇල්ල වගේ ප්‍රවීණයන් සමඟ වැඩ කරන් අවස්ථාව ලැබුණා.

ඒ කියන්නේ ඔබ එතැන් සිට දිගටම රගපෑමේ යෙදුණා ?

ඔව් මම රඟපෑවා. ඊට අමතරව අංග රචනය, වේදිකා පසුතල නිර්මාණය,වේදිකා පරිපාලනය, රංඟාලෝකය,සහය අධ්‍යක්ෂණය වැනි විවිධ ක්ෂේත්‍ර ගැන හදාරමින් ඒ අංශවලත් වැඩකටයුතු කළා.

හැබැයි ඔබ අද වන විට වේදිකා නාට්‍ය සංවිධායකවරයෙක්. මොකද එක සැරේටම වෙනත් දිශාවකට යොමු වුණේ ?

හෙක්ටර් කුමාරසිරිගේ ‘බිසෝ‘ ඉන්දික පර්ඩිනාන්ඩුගේ ‘ජනාධිපති තාත්තා‘ කියන නාට්‍ය සංවිධානය කරන්න අවස්ථාව ලැබුණා. ජනාධිපති තාත්තා වාර 300 ක් විතර පෙන්නුවා. ඊට පස්සේ මහවැලි කේන්ද්‍රෙය්දී ජයලත් මනෝරත්න මහත්යා හමුවෙන්න අවස්ථාව ලැබුණා. නාට්‍යවල ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට වසර පහලොවක් විතර වෙනවා සංවිධායකවරයකු ලෙස කටයුතු කරන්න පටන් අරන්.

එතකොට කොළඹ පාර කියන්නේ මොකක් ද ?

මේ හැම වැඩක් අස්සේම මගේ ලොකු හීනයක් තිබුණා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. විශේෂයෙන් ම මම අදහපු දෙයක් තමයි වේදිකාවක රංගනය මූලික විය යුතුය කියළා. , මම ඒ සඳහා පිටපතක් සොයා සොය හිටියා. කේ. බී හේරත්ගේ, මනෝ මහත්මයගේ පිටපත් අධ්‍යනය කළා. එහෙම ඉද්දි තමයි කපිල කුමාර කාලිංගගේ කොළඹ පාර කියන පිටපත ලැබුණේ. හැබැයි කපිල ඊට මුලින්ම නම දාල තිබුණේ ජෑම් ගහ යට කියලා.

අපි එය කොළඹ පාර කියලා නම වෙනස් කරගත්තා. එය මට කලින් අපේ නාට්‍යකරුවෝ කිහිප දෙනෙක් වේදිකාවට ගේන්න උත්සහ කරල තිබුණත් එය ඉටු වෙලා තිබුණේ නැහැ. හැබැයි මට ඒ පිටපත කියවද්දි අවබෝධ වුණා හොඳ නළු නිළියෝ යොදා ගතහොත් හොඳ වේදිකා නාට්‍යයක් හදන්න පුළුවන් කියළා. ඒ අනුව මේ සඳහා දක්ෂ රංගන ශිල්පීන් කිහිප දෙනෙක් හවුල් කරගන්න පුළුවන් වුණා.

ඔබ මේ නාට්‍ය හරහා රටට දෙන්න උත්සහ කරන පණිවුඩය කුමක් ද ?

කොළඹ පාර කියලා කියන්නේ සාමාන්‍ය පාරක් හයිවේ පාරක් කරන්න යද්දි ඒ දෙපස සිටින මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න හා ගැටුළු මුල් කරගෙන තැනූ නාට්‍යයක්. මේ ඇතුළේ ඇතිවෙන උප සංස්කෘතිය හා ඒ හරහා ගොඩනැගෙන ආර්ථික, සමාජයීය, දේශපාලනික මෙන්ම වර්තමානයේ කතා කරන බොහෝ කරුණු කාරණා ගොනු කරපු කතාවක් මෙහි දිගහැරමෙන් තිබෙනවා. මගේ හිතේ කැකෑරෙමින් තිබෙන සමාජයීය, දේශපාලනික, ආර්ථික මානසිකත්වයක්, අන්න ඒ දේත් මෙහි හොඳින් ලියවිලා තිබෙනවා.

හැත්තෑව අසූව දශකවල නිර්මාණ වුණ වේදිකා නට්‍යවලට සාපේක්ෂව අදත් එවැනි නිර්මාණ බිහිවෙනවා කියල ඔබ හිතනව ද ?

අද නාට්‍ය කලාව අධ්‍යාපනික පැත්තෙන් ලොකු පරාසයක් හැදිලා තියෙනවා. විශ්වවිද්‍යාල මට්ටමෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකස් සකස් වෙලා තියෙනවා. නමුත් ප්‍රායෝගික පැත්තෙන් ගත්තම අර්බුදයක් තියෙනවා. වේදිකා නාට්‍ය හරියට පරිශීලනය වෙනවද බිහිවෙනව ද කියළා. හැත්තෑවේ අසූවේ ගත්තම එදිරිවීර සරත්චන්ද්‍ර, හෙන්රි ජයසේන,ධම්ම ජාගොඩ සයිමන් නවගත්තේගම වැනි පුරෝගාමී නාට්‍යකරුවන් නාට්‍ය කරද්දි නාට්‍ය කලාවට හොඳ තැනක් තිබුණා.

ඊළගට බිහි වුණ අපේ දෙවැනි පරම්පරාව පරාක්‍රම නිරිඇල්ල. අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි වැනි අයගේ පරම්පරාවට එන කොට රට සෑම අතින්ම වෙනස් වෙලා තියෙන්නේ. අප ජීවත් වෙන සමාජය ඊට මුහුණ දෙන්න අපහසුතාවයක් තියෙනවා. මෙහි ප්‍රබල කාරණය තමන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉහළ යද්දි මුදල් හම්බ කිරීම මුල් තැනට එනවා. ඒ නිසා දෙවැනි පරම්පරාව වේදිකාව වගේ දුප්පත් කලාව අතහැර ඊට වඩා මුදලක් හොයාගත හැකි වෙනත් අංශ කරා යොමු වෙනවා.

දෙවැනි පරම්පරාව වේදිකාව අතහැරල දාලා වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය, චිත්‍රපට පැත්තට යනවා. ඒ අය ගියාට කමක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ වේදිකාව සම්පූර්ණයෙන්ම අතහැර යෑමයි. ඒ අයගෙන් පස්සේ ආව නව පරම්පරා මෙහි තියෙන නිර්මාණශීලිත්වය ග්‍රහණය කර ගන්න තරම් පෝෂණය නැහැ. අද තරුණ පරම්පරාව සංස්කෘතිය, ආගම වැනි දේවල්වලින් ඈත්ව රැල්ලට ගියා.

ඒ හිඩසට ඇතුලට බොළඳ, ජරා ජීර්ණ අමු රසයක් සහිත අවර ගනයේ නාට්‍ය ආක්‍රමණය කළා. නාට්‍ය බලලා එළියට එන ප්‍රේක්ෂකයාට ලබාගත් දෙයක් නැහැ. හිස් මිනිස්සු තමයි එළියට එන්නේ. අතීතයේ එහෙම නෙවෙයි හොඳ දැනුමක්, රසයක් විඳගත්තු ප්‍රේක්ෂකයෝ තමයි එළියට ආවේ.

එතකොට ඔබ කියන්නේ වර්තමාණයේ ගුණාත්මක නාට්‍ය බිහිවන්නේ නැහැ කියළ ද?

දැන් ගුණාත්මක නාට්‍ය බිහිවන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. මොකඳ නාට්‍ය කරන අයට අතහිත දෙන ප්‍රමාණය අඩුවෙලා. උණක් තියෙන කෙනෙක් තමයි නාට්‍ය කරන්නේ. ඒ අතින් ගත්තම ජයලත් මනෝරත්න, ජනක් ප්‍රේමලාල් ගැන සතුටු වෙන්න ඕන.

ඒ අය නාට්‍ය කරන්නේ නැත්නම් මොකඳ කරන්නේ. විශ්වවිද්‍යාල මට්ටමෙන් හොඳ විශිෂ්ට නාට්‍ය බිහි වෙනවා. නමුත් ඒවා කොළඹින් පිට යන්නේ නැහැ. රාජ්‍ය හෝ පෞද්ගලික අංශයකින් සහයෝගයක් තියෙනව නම් හොඳ ගමනක් යන්න පුළුවන්.

මොකඳ මම විශ්වාස කරනවා වේදිකා නාට්‍යයෙන් බිහිවෙන අය හොඳ පිරිපුන් මිනිස්සු කියළා. අද නාට්‍ය දිහා බැලුවම කනගාටුවක් ඇති වෙනවා. මොකද ලබාගන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය දියුණු කරන්න රජයක් කැමැති නැහැ. මොකද වේදකාවෙන් විකල්ප මත දරන පිරිස් බිහි වෙනවා. මේ සමාජ ක්‍රමයට විරෝධ දක්වන නිර්මාණ බිහි වෙන්නේ.

ඒක පවත්වා ගෙන යන දේශපාලන දහරාවට සනීප නැහැ. දියුණු රටවල් කරන්නේ වේදිකා නාට්‍ය දියුණු කරන එක. අපේ රටේ වෙන්නේ එකි නෙකාගේ කැමැත්ත ආසාව ඉෂ්ථ වෙන නාට්‍ය නිරිමාණය කිරීම පමණයි.

ඔබ විශ්වාස කරනවද අද තියෙන නාට්‍ය කලාවට කොළඹ පාරෙන් අභියෝගයක් එල්ල කරන්න පුළුවන් කියළා ?

අද රටේ පවතින ප්‍රහසන රැල්ල ඇතුළේ මේ වගේ නාට්‍යයක් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්නේ කොහොමද කියළා ප්‍රශ්නයක් පැන නඟිනවා. මට අවශ්‍ය මෙහි සාහිත්‍ය රසය, කතා රසය ඉහළ තැනකට ගෙනි යන්න. ඒ මඟින් ප්‍රේක්ෂකයා යමක් හිතන්න ඉඩ තියන්න. ඒ නිසා මම විශ්වාස කරනවා කොළඹ පාරට හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් වැළඳ ගනී කියළා.

නාට්‍ය නිෂ්පාදකයාට වඩා නාට්‍ය සංවිධායකවරයා හම්බ කරනවා කියා චෝදනාවක් තියෙනව නේද ?

ඒ චෝදනාවට මම කැමැති නැහැ. මේ අන්ත පිරිහිලා තියෙන වේදිකා නාට්‍ය කලාව අද සමාජයේ නාට්‍ය කලාවක් තියෙනව කියල හරි දැනගන්නේ අපේ රටේ ඉන්න අතලොස්සක් වැනි නාට්‍ය සංවිධායකවරුන් නිසා. විශේෂයෙන් ම මෙම ප්‍රධාන නගරයේ ඉන්න සංවිධායකවරුන් දෙතුන් දෙනා.

කවුරු මොනව කිව්වත් නාට්‍යකරුවා පවතින්න සංවිධායකවරු බලපානවා. වේදිකා නාට්‍යයක් දැකපු නැති දරුවෝ, වැඩිහිටියෝ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි දේශපාලන ධාරාවේ මැති ඇමැතිවරු පවා ඉන්නවා වේදිකා නාට්‍යයක් නොබලපු අය. මේ තත්ත්වය යම් තරම් දුරට හරි වෙනස් වෙලා තියෙන්නේ සංවිධායකවරු නිසා.

Comments