
නිල්වන් ගුවන් ගැබේ සැරිසරන්නට ගුවන් යානය ඉහළට එසවීමට සැරැසෙද්දී එතුළ සිටි පැරෂුට් විරුවන්ගේ දෙනෙත්වලින් දිස්වූයේ දැඩි අධිෂ්ඨානයක් මෙන්ම අභිමානනීය හැඟීමකි. ඔවුන් තවත් විනාඩි ගණනක් ඇතුළත ත්‍රාසජනක පෙළහරක් පා උඩු ගුවනේ කිමිදෙමින් ජයග්‍රාහී පිම්මක් පැන පොළෝ තලයට පතිත වීමට සූදානම් වන පැරෂුට් විරුවන් පිරිසකි. මොවුන්ගේ මෙම ත්‍රාසජනක ගුවන් කිමිදුම දැක ගන්නට ඔවුන් සමඟ ගුවන්ගත වීමේ දුර්ලභ අවස්ථාවක් පසුගිය දිනෙක ඡායාරූප ශිල්පී තිලක් පෙරේරා සහ මා හට උදාවිණි.
ඌව-කුඩාඔය කොමාන්ඩෝ පැරෂුට් පුහුණු පාසලින් මූලික පැරෂුට් පාඨමාලාව, නිදහස්ආර පැරෂුට් පාඨමාලාව සහ ජම්ප් මාස්ටර් පැරෂුට් පාඨමාලාව හැදෑරු පැරෂුට් විරුවන් 48 දෙනකුගේ නිල ලාංඡන පැළඳීමේ උත්සවයට සමගාමීව පැවැති පැරෂුට් පෙළහර සංදර්ශනයකදී එසේ ගුවන්ගත වීමට අපට අවස්ථාව සැලැසිණි. එම ගුවන් ගමනේ සිටි පැරෂුට් විරුවන් විසිදෙනා අතර යුද හමුදා කාන්තා පැරෂුට් වීරවරියන් හතර දෙනකුද දක්නට ලැබීම විශේෂත්වයකි.
හෙළිකොප්ටර් යානය ක්‍රමයෙන් ඉහළට ඇදෙද්දී පහළින් දිස්වන කුඩාඔය කඳවුරු භූමිය අවට ගොඩබිම් අසිරියෙන් මනරම් රූ රටා මැවෙද්දී තවත් විනාඩි ගාණකින් පැරෂුට් විරුවන් පානා පෙළහර ගැන ඇතිවන්නෙ කුහුලකි. ඔරලෝසුවක් බඳු පැරෂුට් විරුවන්ගේ අතෙහි බැඳි ‘අල්ටිමීටරයෙහි’ කටුව ඉලක්කම් පසුකරද්දී විරුවන් ඉලක්කම් අංකය හඬගා කියමින් සංඥා පායි. (ඩිජිටල් අල්ටිමීටර්ද තිබේ.)
“අල්ටිමීටරේ කටුව එක ගාව කියන්නෙ අපි දැන් අඩි දාහක් උඩට ඇවිල්ලා” අපිව දැනුවත් කළේ මේජර් නලින්ය.
ගතට දැනෙන ශීත බව ක්‍රමයෙන් තීව්‍ර කරමින් යානය අඩි පන්දහසේ සීමාවට ළඟාවෙමින් තිබිණි. එම ගුවන් ගමනේ පැරෂුට් විරුවන්ගේ කණ්ඩායම් නායක හෙවත් ජම්ප් මාස්ටර් ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් සුමාල්ගේ විධානය අනුව කීප දෙනෙක් සැරැසෙන්නෙ කුමකටදැයි අපව දැනුවත් කළේ තවත් පැරෂුට් විරුවෙක් වූ මේජර් පුෂ්පකුමාරයි.
“ඒ හතරදෙනා අඩි පන්දාස්පන්සීයේදී පනින්නයි හදන්නෙ...”
හෙලිකොප්ටර් යානයේ පිටුපස විවෘතව තිබෙන යෝධ දොර කවුළුවෙන් පහළ දකිද්දී පැරෂුට් විරුවන් පැනීමට සූදානම් වන පිම්ම ගැන අපටනම් තිබෙන්නෙ විස්මයකි. එහෙත් පැරෂුට් විරුවන්ටනම් එවැනි පිම්මක් පැනීම යනු ජීවිතයේ ලැබෙන තවත් එක් අගනා අවස්ථාවක් ලෙස ඔවුහු සලකති. ඒ බව අප අත්දැක්කේ කුඩාඔය සිටි දින දෙක තුළදී පැරෂුට් පැනීමට විරුවන් දක්වන නොතිත් ආශාව දුටු විටයි.
යානයේ පසෙක සිටි පැරෂුට් විරුවන් සිවුදෙනා පිටුපස විවෘතව තිබෙන දොර කවුළුව අසලට පැමිණ පැයට සැතපුම් 150ක පමණ වේගයෙන් ඇදී යන එම්.අයි. 17 යානයෙන් එළියට පිනූවේ අපූරු දර්ශනයක් අපගේ දෙනෙත් අබිමුව විදහා පාමිනි.
තත්පර දහයකදී අඩි දාහක පමණ වේගයකින් පහළටවිත් අඩි දෙදාස්පන්සීයේදී පමණ පැරෂුටය දිගහැර ඔවුන් සිවුදෙනා මනරම් රූ රටා මවමින් පොළෝ තලයට ළඟාවෙද්දී අසංක රත්නායක සහ ජගත් ගුවන් නියමුවන් ලෙස කටයුතු කළ අපව රැගත් යානය තවත් ඉහළට එසවිණි.
“කෙනකුට නොපෙනුණාට යානය ඉහළට ඇදෙද්දීත් අපි සියලු දෙනා දෙපතුලේ සිට හිස දක්වා නොයෙක් ව්‍යායාම්වල නිරත වෙනවා. ඒ මේ ක්‍රීඩාවට අත්‍යවශ්‍ය මානසික ඒකාග්‍රතාව සමබර කරගැනීම වෙනුවෙන්.”
එදින පැරෂුට් විරුවන් අතර සිටි විසිඅට වසරක පමණ නිදහස්ආර පැරෂුට් පිම්මේ අත්දැකීම් සහිත යුද හමුදා ඉතිහාසය තුළ නිදහස්ආර පිම්ම පනින එකම මේජර් ජෙනරාල්වරයා වන නිර්මාල් ධර්මරත්න මහතා අපව දැනුවත් කළේ එලෙසයි.
ක්‍රමයෙන් අල්ටිමීටර් කටුව ඉලක්කම් අට, නවය පසුකරමින් තිබිණි. පහළින් දිස්වන සේයාරූ ‘පේන්ටින්’ චිත්‍ර හා සමානයැයි පවසමින් තිලක් හැකි සෑම දසුනක්ම කැමරා කාචයට හසුකර ගනී. ඉහළට යන්න යන්න දැනෙන අධික ශීතල නිසා ගතෙහි හිරිගඬු පිපේ. විනාඩි ගණනාවක් සංයමයෙන් සිටි සියලු දෙනා යානය අඩි දසදහසේ සීමාවට ළඟා වූ බව දනවමින් සංඥා කරයි. ඒ අනුව ජම්ප් මාස්ටර්ගේ විධානයට සියලු පැරෂුට් විරුවන් සූදානම් වන්නෙ අඩි දසදහසේ උඩු ගුවන විජයග්‍රාහී ලෙස ජය ගනිමින් ගුවනේ කිමිදීමටයි.
ඔවුන් සියලු දෙනා එකිනෙකාට සුබ පතමින් තවත් එක් තීරණාත්මක පිම්මක් පැනීමට තමන්ගේ වාරය තෙක් නොඉවසිල්ලෙන් බලා සිටින වගක් අපට පෙනේ. යානයේ අධික ශබ්දය නිසා එකිනෙකා පවසන දේ නිසියාකාරව නොඇසුණත් පැරෂුට් විරුවන් තමන් කළ යුත්තෙ කුමක්දැයි හොඳින් දැනුවත්ව සිටී. එක්වරම පැරෂුට් විරුවෙක් යානයෙන් නික්මුණේ කිසිදු හා-හූවක් නොදක්වමිනි. ඉන් පසුව එකිනෙකා නොයෙක් ආකාරයේ ක්‍රම සහ විධි පාමින් යානයෙන් එළියට පිනූවේ අපූරු මෙන්ම ත්‍රාසජනක දසුන් අපට විදහා පාමිනි. ඇතැම් දෙනා මුනින් අතට වගේම කැරකෙමින් පනිද්දී දෙදෙනෙක් එකිනෙකා බදාගෙන එළියට පනින අපූරු දසුනක්ද දක්නට ලැබිණි.
එසේ විරුවන් පනිද්දී තවත් පස්දෙනෙක් යානය තුළ ඉතිරි වූයේ පහළ සිටින්නන්ට අපූරු දසුනක් පාමින් පොළෝ තලයට පතිත වීමටයි. ඒ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න, මේජර් පුෂ්පකුමාර, මේජර් නලින්, සාජන් මේජර් රණතුංග සහ සාජන් මේජර් කුමාරසිරියි.
ඔවුන් යානයෙන් නික්මූ සැණින් පැරෂුටය දිගහැර එකිනෙකා සම්බන්ධ වූයේ ‘සීආර්ඩබ්ලිව්’ නමින් හඳුන්වන ඉණිමගක ආකාරයේ දසුනක් පෑමටයි. එම මනරම් දසුන සේම සාජන් ගුණවර්ධන සහ සාජන් සේනාරත්න පෑ ‘සයිඩ් බයි සයිඩ්’ යනුවෙන් හඳුන්වන දෙදෙනාගේ දෙකකුලෙන් ගැටගැසී පැරෂුට් දෙක එකිනෙකට සම්බන්ධ කරමින් පෑ පෙළහරද ප්‍රථම වතාවට උඩු ගුවනේ සිට නැරැඹීමේ වාසනාව අපට ලැබිණි.
එම ‘සයිඩ් බයි සයිඩ්’ මනරම් දසුන පෑම පුහුණුවීමට පෙර දිනයේදී ඔවුන් දෙපළ උත්සාහ දැරීමේදී අඳුරු වලාකුළකට හසුවීම නිසා සාජන් ගුණවර්ධන පැරෂුට් පතිත කලාපයේ සිට කිලෝමීටර් ගණනාවක් ඈතකට පාව ගිය අපූරු දසුනක්ද අප කුඩාඔයදී දුටුවේය.
පැරෂුට් විරුවන් උඩුගුවනේදී පෑ ත්‍රාසජනක අලංකාරවත් දර්ශන කීපයක් කැමරා කාචයේ සනිටුහන් කරගත් තිලක් සමඟ මම අපූරු අත්දැකීම් සහිත ගුවන් ගමනකින් පසුව නැවතත් පොළෝ තලයට පා තැබීමු. එසේ යුද හමුදාව සතු එකම පැරෂුට් පුහුණු පාසල වන කුඩාඔය පැරෂුට් පතිත කලාපයට පැමිණි අපට ගුවනේ පෙළහර පෑ පැරෂුට් විරුවන් නැවතත් දැකගැනීමට හැකිවිණි. ඔවුන්ට තමන් කළේ මොනතරම් ත්‍රාසජනක ක්‍රීයාවක්ද යන්න ගැන කිසිදු ගාණක් නැත. එහෙත් බලා සිටි අපටනම් එය සත්‍ය ලෙසම ත්‍රාසජනක මෙන්ම අභිමානනීය දර්ශනයකි.
එහිදී සිය අත්දැකීම් අපට පැවැසු පැරෂුට් විරුවන් අතර සිටි සාජන් ගුණවර්ධන පෙර දිනයේදී අපද දුටු අපූරු අත්දැකීම මෙසේ කීවේය.
“අද ඔබලා උඩදී දුටුව සයිඩ් බයි සයිඩ් කියන ස්ටයිල් එක කිරීමටයි මමයි සාජන් සේනාරත්නයි ඊයේ අඩි දසදහසේදී පැරෂුටය දිගහැරියේ. අපි දෙන්නා එකට සම්බන්ධ වෙන්න උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. අඩි නවදහසක් පමණ පහළට එනවිට එකපාරටම කළු ගුලියක් වගේ වලාකුළකට මැදිවෙලා අවට කිසිම දෙයක් පේන්නෙ නැතිව ගියා. අඩුම තරමේ මගේ පැරෂුටයවත් මට පේන්නෙ නැතිවුණා. මුළු ඇඟම වතුරෙන් නෑවිලා. හරිම ගණ වලාකුළක් ඒක. පහළ සිටින අයට වලාකුළ දිගට විතරක් පෙනුණාට අඩි දහස් ගාණක් උසටත් වලාකුළ පැතිරිලා තියෙනවා. එවැනි අත්දැකීම් ලබන්නෙ අපිම තමයි. කොහොමහරි අඩි තුන්දහසකට විතර ආවට පස්සෙ ගොඩබිම පේන්න ගත්තා. එතකොට මං පතිත කලාපයෙන් කිලෝමීටර් හයක් විතර ඈතට ගිහින්. අන්තිමට කරන්න දෙයක් නැහැ වෙලකට තමයි පතිත වුණේ.”
එවැනි අපූරු ත්‍රාසජනක මෙන්ම ඇතැම් විට පැරෂුට් විරුවන්ට විනෝදය දනවන අත්දැකීම් රැසක් මෙවැනි පිමි පැනීමේදී පැරෂුට් විරුවන් ලබන බව අපටද දැකගැනීමට හැකිවිය.