මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානය එම්.ඩී.මහින්දපාලගේ බසින් | සිළුමිණ

මාලන් බ්‍රැන්ඩෝගේ චරිතාපදානය එම්.ඩී.මහින්දපාලගේ බසින්

සිංහල සිනමාවට සම්බන්ධ නළු නිළියන් අතර හමුවන ලේඛක ලේඛිකාවන් කිහිප දෙනකුගේ සමීපරූප ඉන්ද්‍රචාපගේ මතකයට එයි. එහෙත් විශේෂත්වය වන්නේ ඒ සියලු දෙනාගේම කෘති නවකතා වීමයි. ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, ජයලත් මනෝරත්න, ශ්‍රියාණි අමරසේන, අනෝමා ජනාදරී, පාලිත සිල්වා ආදීන්ගේ මුහුණු හා ඔවුන් විසින් රචිත නවකතා ඉන්ද්‍රචාපගේ මතකයට නැගුණ ද, ටෝනි රණසිංහ හා ජයලත් මනෝරත්න ඉන් විශේෂ වන්නේ ඔවුන් නවකතා මෙන්ම වෙනත් විෂය කෘති, පරිවර්තන, ශාස්ත්‍රීය නිබන්ධ ආදිය රචනා කොට ඇති බැවිනි. එහෙත් සිනමාවට සම්බන්ධ ආනුෂාංගික අංශ නියෝජනය කරනු ලබන ශිල්පීන් විසින් රචිත සාහිත්‍ය කෘති පිළිබඳ ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර ඇඳුණු මුහුණක් වේ නම් එය එක් සුවිශේෂී චරිතයක මුහුණක් බවයි ඉන්ද්‍රචාපගේ සමීපරූප සාක්ෂි දරන්නේ. ඔහු අන් කවරකුත් නොව, සම්මානනීය කැමරා අධ්‍යක්ෂ එම්.ඩී.මහින්දපාලයි.1977 සිට ඔහු විසින් සිනමාව විෂයයෙහි රචිත කෘති සතක් හමුවේ.

එම්.ඩී.මහින්දපාලගේ සාහිත්‍ය අස්වැන්නෙහි ඉන්ද්‍රචාප දකින සමීපරූප අතර ඇඳෙන, රූප රාමුව තුළ ලෝකය, සිනමාව හා ජන සමාජය, සිනමාරූප, සිනමාව මාධ්‍යය හා කලාව, පුංචි කෝච්චිය, අහසින් පොළොවට, මැජික් ලන්තෑරුම ආදී ස්වතන්ත්‍ර හා පරිවර්තන කෘති සමූහයකි. මෙකී කෘති ගොන්නට, මහින්දපාල ලේඛකයා විසින් මේ වසරේ එක්කොට ඇති පරිවර්තන කෘතිය ඉන්ද්‍රචාපගේ සිත තදින්ම පැහැරගත් බව පළමුවෙන්ම කීමට කැමැතිය. ‘මාලන් බ්‍රැන්ඩෝ- අම්මා මට කියා දුන් ගී, ස්වයං චරිතාපදානය‘, හොලිවුඩ් සුපිරි නළු බ්‍රැන්ඩෝට ආදරය කරන ප්‍රේක්ෂකයන් මතු නොව, ඕනෑම පාඨකයකු විසින් එක් හුස්මට කියවනු ලබන කෘතියක් ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූපයෙහි ඇඳෙන්නේ මහින්දපාල විසින් උපයුක්ත භාෂාවෙහි ප්‍රබල, ජීව ගුණය නිසාය. බ්‍රැන්ඩෝ හා රොබට් ලින්ඩ්සේ විසින් රචනා කළ Songs My Mother Taught Me ග්‍රන්ථය පරිවර්ථනයට, එම්.ඩී.මහින්දපාල යොමු වී ඇත්තේ මෙකී මුල් කෘතිය සිනමාව, රංගනය මෙන්ම ජීවිතය පිළිබඳව ද අපූරු ගවේෂණයක් ලෙස ඔහුට හැඟී ගිය බැවින් යැයි කියැවේ.

තම ජීවිත කතාව ප්‍රකාශයට පත්වීම පිළිබඳව බ්‍රැන්ඩෝ පවසන්නේ මෙවැනි අදහසකි. මගේ ජීවිතය අතිශයින් පෞද්ගලික වූවක් බවත්, එය මටත්, මගේ පවුලටත් එසේම මගේ ආදරණීයයන්ටත් අයත් වූවක් මිසක වෙනත් කිසිවකු විසින් ගවේෂණය නොකළ යුතු ප්‍රදේශයක් සේ මම සැලකුවෙමි. සදාචාරාත්මක හා දේශපාලනික කරුණු පිළිබඳව යම් යම් අවස්ථාවල දී මගේ හිතට දැනුණු අදහස් උදහස් විවෘතව ප්‍රකාශකිරීම හැර බොහෝ විට මා කළේ මාත් මගේ දරුවනුත් වෙනුවෙන් නිහඬව සිටීමයි.

එහෙත් 70 වැනි වියට එළඹ සිටින මම දැන් එම කතාව හොඳින් කීමට ඉදිරිපත් වී සිටිමි. මා පිළිබඳව මෙතෙක් ප්‍රකාශ වී ඇති සියලු දේ අතරින් සත්‍යය කුමක්දැයි යන්න මගේ දූ දරුවන්ට ද තෝරා බේරා ගැනීමට ඉන් හැකියාවක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. මේ වන විට මාලන් බ්‍රැන්ඩෝ නම් පුද්ගලයා පිළිබඳව පොත්පත් දුසිමකටත් වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් වී ඇත. ඒ සියල්ල සාවද්‍ය තොරතුරුවලින් ගහණ යැයි මට සිතේ.ඒවා බොහෝ විට ප්‍රවාද හා භාවාතීශය කරුණු මත පදනම් වී ඇත. ඒවායේ තානය ද අශ්ලීල බවක් පෙන්නුම් කරයි.

මාලන් බ්‍රැන්ඩෝ මෙරට සිනමා ලෝලීන්ගේ වීරයා ලෙස වැජඹුණු බව ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර හමුවන චිත්‍රපට නාමාවලිය පවසයි. ගෝඩ් ෆාදර් ( God Father ) , ලාස්ට් ටැන්ගො ඉන් පැරිස් ( Last Tango In Paris ) වැනි චිත්‍රපට ද ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර් ( Streetcar Named Desire ) වැනි වේදිකා නාට්‍ය චරිත ද බ්‍රැන්ඩෝගේ අපූරු රංගන සමග මතකයට එන බව ඉන්ද්‍රචාප දනී. ස්ට්‍රීට්කාර් නේම්ඩ් ඩිසයර්හි මාලන් රඟ පෑ ස්ටැන්ලිගේ චරිතය ධම්ම ජාගොඩගේ වෙස්මුහුණු නාටකයේ මෙන්ම චම්ප පුෂ්ප බුද්ධිපාලගේ ආශාවේ වීදිරිය නම් නාටකයෙන් ද ,ධම්ම ජාගොඩ හා ජනක කුඹුකගේ විසින් රඟනු මෙරට ප්‍රේක්ෂකයන් දැක තිබෙණු ඉන්ද්‍රචාපට මතකය. බ්‍රැන්ඩෝ වැනි විශිෂ්ටතම නළුවකු පිළිබඳ එම්.ඩී.මහින්දපාල විසින් පරිවර්තනය කොට ඇති අම්මා මට කියා දුන් චරිතාපදානය, රසවත් ප්‍රබන්ධ කතාවක් සේ කියවා ආශ්වාදයක් විඳීමට හැකි අපූරු පරිවර්තනයක් ලෙස ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරට එක්වී හමාරය.

ඉන්ද්‍රචාප

Comments