කලා­ලොව හැඩ­ක­රන අවු­රුදු මතක සැම­රුම් | සිළුමිණ

කලා­ලොව හැඩ­ක­රන අවු­රුදු මතක සැම­රුම්

රතිඤ්ඤා අතේ පත්තු වෙලා

 

මංජුල මොරගහ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු පුංචිකාලෙ අවුරුදු සැමරූ හැටි මතකයට නැගූ අයුරුයි මේ.'පුංචි කාෙල අවුරුදු සැමරුව අයුරු හීනයක් වගේ තවමත් මතකයේ රැදී තිබෙනවා. අවුරුද්ද සමරන්න මගේ යාළුවො ඔක්කොම එකතු වෙනවා. ඉස්කෝලෙත් සතියකට දෙකකට කලින් නිවාඩු දෙන නිසා අපි හරිම අසාවෙන් තමයි අවුරුද්දට ලක ලැහැස්ති වෙන්නේ. රතිඤ්ඤා එකතු කර ගන්න තමයි වැඩි කාලයක් ගත කරන්නේ. රතිඤ්ඤා පොල් කටුවක් අස්සට දාලා ‍පත්තු කරලා පොල් කටුවත් එක්කම උඩ යවනවා. නැත්තම් රතිඤ්ඤාව හදුන්කූරකට තියලා බැඳලා හඳුන්කූරට ගිනි තිබ්බාම හඳුන්කූර දැවී ගෙන ඇවිත් හිටපු ගමන් රතිඤ්ඤාව පත්තු වෙනවා. දවසක් පුංචි කාලෙ අපේ ගෙවල් ළඟ තිබුණු බෝක්කුවේ මේ විදිහට රතිඤ්ඤාවක් මම හඳුන්කූරක ගැට ගහලා පත්තු කළා. රතිඤ්ඤය පත්තු වෙන කොට එතැන හිටපු සීය කෙනෙක් හොඳටම බයවුණා. ඒක මම පත්තු කළ වග අදටත් කවුරුත් දන්නේ නැහැ. අවුරුදු කාලෙදි මේ වගේ පුංචි පුංචි දඟ වැඩ හොඳට කළා. පසුගිය වසරක අවුරුද්ද සමරද්දී ඒ අතීතය සිහිපත් කරමින් මම රතිඤ්ඤා පෙට්ටියක් පත්තු කරන්න ගියා කොහොම හරි මගේ පණ්ඩිතකම් කියමින් පත්තු කරත්දී එය පත්තු වුණේ මහගේ අත අද්දරමයි. ඒ අනතුරින් සති කිහිපයක් යන තුරු මගේ අතර පිච්චිලා ඉදිමී තිබුණා. කනත් සතියක් විතර 'කීං ' හඬින් පිරී තිබුණා.'

 

තරගෙට කජු ඇහින්දා

 

 

ලලිත ආතාවුද කියන්නේ නේකවිධ දක්ෂතාවයන් ඇති කවුරුත් හඳුනන සම්මානනීය රංගාවලෝක නිර්මාණ ශිල්පියෙක්. පසුගිය දවසක ඔහු 46 වන රාජ්‍ය නාට්‍ය උළෙලේ 'සූකර අසපුව' වේදිකානාට්‍යයේ හොඳම රංගාවලෝකය ශිල්පියාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා. අලුත් අවුරුද්ද ඔන්න මෙන් කියා තිබෙත්දී ඔහු ලැබු මේ ජයග්‍රහණයේ සතුට සමරන ගමන්ම පුංචි කාලෙ අවුරුදු ගැන ඔහු කතාබහ කළා. 'පුංචි කාලෙ හරියටම අවුරුදු සැමරුවේ අපි. අද ළමයි සමරන අවුරුද්දත් එක්ක බලත්දී අපි අවුරුද්ද උපරිමයෙන්ම එදා අපේ පොඩි කාලෙදි සැමරුවා කියලා කියන්න පුළුවන්. මගේ ගම කුලියා පිටිය නක්කාවත්ත කියන සුන්දර ගම්මානය. වෙල්යායත් වැවත් අපිට හරිම විශේෂයි. අවුරුදු නිවාඩුවට අපි තරගෙට කජු අහුලනවා. ඒ වා විකුණලා රතිඤ්ඤා අරගන්නවා. වල කජු ගහනවා. විවිධ අවුරුදු උත්සව පවත්වනවා. නිතර මුණ නොගැහෙන යාළුවෝ අවුරුදු නිවාඩු කාලෙට තමයි එකතු වෙන්නේ. මේ වගේ හුඟක් සොඳුරු සැමරුම් එක්ක තමයි එදා අවුරුදු අපි සැමරුවේ.'

 

 

අවුරුදු තරග තහනමක්

 

 

චලනි කොස්තා ජනප්‍රිය නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්. ටෙලිනාට්‍යවල වගේම වේදිකාවේ ඇය නැතිවම බැරි චරිතයක්. ගුරුවරියක ලෙස කටයුතු කරන චලනි පුංචි කාලෙ අවුරුදු සමරපු හැටි හරි අපූරුයි.

' අවුරුද්දට හැමදාමත් පොඩි කාලෙ අපි අනුරාධපුරේ යනවා. ඒ මගේ මවගේ ගමයි. ගමේ ගියහම හැමදෙනාම එක්ක අවුරුදු උත්සවයක් පවත්වනවා. පවුලේ හැමදෙනාටම තෑගි ගෙනල්ලා අවුරුද්දට බෙදන්නේ අවුරුදු උත්සවයෙන් පසුවයි. කොහොම හරි මම හැම තරඟයකින්ම දිනන්න පටන් ගත්තා. මගේ දිනිල්ලේ හැටියට ගෙනාපු තෑගි බොහොමයක් මට. ඉතින් අන්තිමට මට තරඟ තහනමක් පැන වූවා. මොකද මට තෑගි දීලම අනෙක් නෑදෑයින්ට තෑගි දෙන්න විදිහක් නැති නිසා . ඒ සිදුවීම නම් තවමත් මට හොඳට මතකයි.'

 

ගමටම කැවිලි බෙදුවා

 

ජනප්‍රිය රංගන ශිල්පිනී මුතු තරංගා පුංචි කාලෙ අවුරුදු සැමරූ අයුරු මතක් කරන්නේ මේ විදිහට.

'අවුරුදු දිනයට මමයි නංගියි එකම විදිහට ලස්සන රෙද්දකු යි හැට්ටයකුයි ඇදලා ගමේ ගෙවල්වලට අවුරුදු කැවිලි අරගෙන යනවා. අවුරුදු නැකත් ඉටු කලාට පසුව අපි දෙන්නගේ රාජකාරිය වෙන්නේ කැවිලි බෙදිල්ල තමයි. ඒක නම් අමතක කරන්න බැහැ. ඒ වගේම අවුරුදු උත්සව වල ට සහභාගි වෙන්නත් අමතක කරන්නේ නැහැ. එදා ඒ විදිහට අවුරුදු සමරපු මම අද විවිධ නාළිකා එක්ක තමයි අවුරුදු සමරන්නේ. මෙවෙර රූපවාහිනී සහ ගුවයන් විදු ලි නාලිකා කිහිපයක් සමඟම අවුරුදු සමරන්න මම එක්කාසු වුණා.'

 

දැන් දැනෙන අවුරුදු

 

 

ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි කලා ලොවට ආගන්තුක නමක් නෙමෙයි. වේදිකාව, ටෙලි නාට්‍ය , සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හිම දක්ෂතා පෙන්වන ජෙහාන් ඔහුගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය 'කහබිලියා යායටයි අපි ආස' සමඟ මේ අවුරුදු සමයේ තරමක් කාර්යබහුලයි. ඒ ගැන කතා කරමින්ම ඔහුගේ අලුත් අවුරුදු මතක සමරුම් ගැන පැවැසුවේ මේ විදිහට.

' සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ මම ඉගෙන ගන්නේ අත්දැකීම් ලබන්නේ ඒ වගේම සිංහල අවුරුද්ද ගැන මට දැනෙන්නට පටන් ගන්නේ මගේ විවාහයෙන් පසුවයි. මොකද අවුරුදු සැමරුම් පුංචි කාලෙදි මට අත්දකින්න ලැබුණත් ඒ දේවල් අපේ ගෙදර අකුරටම ඉටු වුණේ නැහැ. මොකද මමත් මගේ පුවලේ අයත් කතෝලික. නමුත් මගේ බිරිය බෞද්ධ. එනිසා සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන මට දැන් තමයි හොඳ අවබෝධයක් තිබෙන්නේ. අපි අවුරුදු සමරන්න යටියන්තොට මගේ බිරියගේ ගමට යනවා. එය හරිම සුන්දර අත්දැකීමක්.'

 

  තුෂාරි නේරංජා වික්‍ර­ම­සිංහ 
 

Comments