අපේ ගෙදර අවු­රුදු මේසය හැඩ­වෙන්නේ හැම­දා­මත් මගේ අතින් | සිළුමිණ

අපේ ගෙදර අවු­රුදු මේසය හැඩ­වෙන්නේ හැම­දා­මත් මගේ අතින්

ශෂිකා නිසංසලා වත්මන් තාරුණ්‍යයේ හද ගැස්ම හදුනාගෙන ගීත ගයන දක්ෂ ගායන ශිල්පිනියක්. ඇය නැති ප්‍රසංගයක් අද නොමැති තරම්.ඒ තරමටම රසිකයන් ඇයට ආදරය කරනවා.ඇය කලා ලෝකයේ කොතරම් කාර්යබහුල වුණත් මවක, බිරිඳක ලෙස අවුරුදු කාලයේ කළයුතු වගකීම් කොටස නොපිරිහෙලා ඉටුකරනවා. ඒ නිසයි රසඳුන තුන්වැනි පිටුව හැඩ කරන්නට අපි ශෂිකාව සම්බන්ධකර ගත්තේ.

 

• සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලු දෙනාටම..

රසඳුන සියලු දෙනාටත් ලක්වාසි සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

• කොහොමද ශෂිකා මෙවර අවුරුදු සරුයිද..

හැමදාම අවුරුදු සරුයි. මේ අවුරුද්ද හැමදාටත් වඩා සරුයි.මොකද දැන් පුතාල දෙන්නට තේරෙන නිසා අවුරුදු චාරිත්‍ර හොඳටම ගන්න හිතාගෙන ඉන්නවා.රෙදි පිළිනම් හැමෝටම ගත්තා අප්‍රේල් මාසෙ මුලම වගේ.මගේ ගම දැරණියගල නිසාත් මහත්තයාගෙ ගම ඇඹිලිපිටිය නිසාත් මේ පළාත් දෙකම දුරයිනේ ඒ නිසා ගමන් යන්න වෙන්නේ මැයි මාසෙ තමයි.

• අවුරුදු මේසය හැඩවෙන්නේ ශෂිකා අතින්මද..

මගේ අම්මයි, තාත්තයි දෙදෙනාම ඉන්නේ අපිත් එක්ක.අම්ම තමයි කැවිලි හදන්නේ. කොණ්ඩ කැවුම් හදන්න මට තේරෙන්නේ නැහැ. මම ඉතින් පැත්තක ඉඳන් අම්මාට උදවු කරනවා.අනෙක් රසකැවිලිනම් හදන්න පුලුවන්.මම තමයි හැම අවුරුද්දකම කැවිලි මේසය හදන්නේ.සෑම කැවිලි වර්ගයකින්ම අපේ අවුරුදු මේසය හැමදාමත් හැඩගැන්වෙනවා.

• අවුරුදු කාලයට ප්‍රසංග වැඩි නිසා ශෂිකා හුඟක් කාර්ය බහුලයි නේ, කොහොමද දරු දෙදෙනාට අවුරුදු අසිරිය ලබා දෙන්නේ..

අවුරුදු කාලය කියා විශේෂයක් නැහැ. කවදත් මට ප්‍රසංගවල අඩුවක් නැහැ.විදේශ සංචාරනම් අවුරුදු කාලයට බාරගන්නේ නැහැ.කෙසේ හෝ මමත් මහත්තයාත් කොතරම් කාර්යබහුල වුවත් දරුවන්ගේ සතුට වෙනුවෙන් අර්ථවත් ලෙස අවුරුදු සමරන්න කාල වේලාව වෙන්කර ගන්නවා.

• ශෂිකා මෙවර අලුත් අවුරුද්ද ගත කරන්න සැලසුම් කරගෙන ඉන්නෙ කොහොමද..

අම්ම ‍තමයි වැඩි පුරම ගෙදර පිරිසුදුකරන සෝදන වැඩ කරන්නේ. අම්මා අපි පුංචිකාලෙ සිටම සිංහල අවුරුද්දට ගෙදර සෝදන එක බඩු මුට්ටු පිළිවෙළට තබන වැඩ කළා. දැනටත් මගේ ගෙදරත් ඒ වැඩ සිදුවන්නෙ අම්මාගේ අතින්. කැවිලි හදන එකටත් මම අම්මාට උදවුවෙනවා විතරයි. පසුගිය දවස්වල පුතාල දෙන්නගේම පාසලෙන් කළ අවුරුදු උත්සව සඳහා සහභාගිවුණා. ලොකු පුතා ඔන්චිල්ලාවක් ඉල්ලනවා. පොඩි පුතාටනම් තවම තනියම ඔන්චිලි පදින්න බැහැ. පුතාගේ ආසාව ඉටු කරන්න ඕනෑ නිසා ඔන්චිල්ලාවක් බැඳලා දුන්නා.

• මතකයිද පොඩි කාලේ අවුරුදු ගතකළ හැටි..

මතක් වෙනකොටත් පුදුම සතුටක් සිතට එන්නෙ.මට අදටත් අවුරුදු කියන කොටම දැනෙන සුවඳ තමයි අම්මා ගෙවල් සෝදා පිරිසුඳු කළවිට දැනෙන සුවඳ. මමයි, මල්ලියි අවුරුද්දට සෙල්ලම් කරනවා. නොනගතය වෙලාවට අම්ම අපි දෙන්නව ළඟට කරගෙන කතන්දර කියා දෙනවා. වැඩ අල්ලන වෙලාවට අපිට පැළ සිටුවන්න දෙනවා.දැරණියගල අපේ ගමේ සිටින සියලුම දෙනාම වගේ ඥාතීන්. ඔය හැම ගෙදරකටම වගේ අපි තෑගි බෝග අරගෙන යනවා.ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි.

• එතරම් ලස්සනට අවුරුදු සැමරූ ඔබට දරු දෙදෙනාට එවැනි අද්දැකීම් ලබා දෙන්න නොහැකිවීම ගැන දුකක් නැද්ද..

අපි කොතරම් කාර්ය බහුල වුනත් පුතාලා දෙදෙනා සමග සෑම විටම ඉන්නවා. මොකද මම ප්‍රසංගවලට රාත්‍රි සහභාගි වී පාන්දර දෙක වන විට කෙසේ හෝ ගෙදරට එනවා. මමත්, මහත්තයාත් දෙදෙනාම රැකියාවක් නොකරන නිසා අපි දෙදෙනාම දහවලට ඉන්නේ දරුවන් සමග. රැකියාව කරන දෙමවුපියන්ට වඩා මගේ දරුවන්ට අම්මා තාත්තා ළඟ ඉන්නවා. පොඩි පුතා පෙර පාසලට ගෙන යන්නේත්, ලොකු පුතා පාසල් ගෙනයන්නේත් අපි. මා කුඩා කාලයේ විඳි තරමටම දරුවන්ට අලුත් අවුරුද්දේ අසිරිය විඳින්න නොලැබුනාට අපිට හැකි උපරිම අයුරින් පුතාලාට අවුරුදු සිරි ගෙන දෙනවා.

• අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ගීත ගායනා කළේ නැද්ද..

මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් තීක්ෂණ, විරාජ් සහ උදේශ් සමග ගීතයක් ගායනා කළා. පසුගිය වසරේත් සමන් ලෙනින් සමග අලුත් අවුරුදු ගීතයක් ගායනාකළා.එයට අමතරව මම සෑම වසරකම මුල හෝ අග අලුත් ගීතයක් එළිදක්වනවා. දැනටමත් අලුතෙන් කළ ගීත දහයක් පමණ තිබෙනවා. ඒ අතරින් ලස්සන ගීතයක් මේ වසර අවසන්වන විට මගේ ආදරණීය රසිකයන් වෙත තිළිණ කිරීමට ආසාවෙන් සිටිනවා.

 

නයනා වෑත්තෑව

Comments