
උදාවන්නේ 1971 වසරයි. දැන් ශ්‍රී අට හැවිරිදිය. සෙසු දැරියන්ට වඩා ඇය රුවින් වාගේම උසින්ද කැපී පෙනුණි. මේ වන විට ශ්‍රී ගේ මව රාජේශ්වරී පවුලට පුංචි අමුත්තියක් කැඳවාගෙන ඇවිත්ය. මවුපියන් ඇයට ශ්‍රී ලතා යනුවෙන් නම් තැබීය. ශ්‍රී තරම් හැඩකාර නැති වුවත් ඇයද පියකරුය. සිව් හැවිරිදි වියේ සිට විරාමයක් නැති දිවියක් ගත කරන මිහිබට පුංචි සුරංගනාවියට මේ අමුත්තිය සමඟ සෙල්ලම් කිරීමට කාලයක් නැත. එහෙත් රූගත කිරීමෙන් පසු නිවසට යන ශ්‍රී ගේ කාලය ගත වුණේ ශ්‍රී ලතා වටා දැවටෙමිනි. දවසින් දවස ශ්‍රී ලතා උස් මහත් වෙද්දී ඇය සමඟ සෙල්ලම් කිරීමට ඉඩක් ලැබෙන තුරු අක්කණ්ඩිය බලා සිටියේ නොඉවසිල්ලෙනි. දැන් ශ්‍රී ලතා ද පසුවන්නේ දඟකාර වයසේය. දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් නැති නිසා සිඟිති වයසේ සිටම එකිනෙකාට හදවත් ස්පන්දනය මෙන්ම සුසුම්ද, කඳුළද සිනාවද හොඳින් දැනිණි.
දමිළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් සිනමා පටවල දවසේ පැය සුපිරි තාරකාවකගේ මෙන් බෙදී යද්දී ලෝකය තුළ පුංචි ශ්‍රී ලෝකය තවත් ලෝකයක් ඉදි විය. ඇයට මවත්, පියාත්, නැගණියත්, නෑසියනුත් දර්ශන තලයේ සිනමා කණ්ඩායමත් හැර අන් අය දවසින් දවස නුහුරු නුපුරුදු චරිත බවට පත්විණි. නන්නාඳුනන පිරිස වැඩි තැනකට යාම, දෙතුන් දෙනකු එක් වී උස් හඬින් කතා කිරීම පුංචි ශ්‍රී පොළොව පලාගෙන යන තරම් අපහසුකාරී අත් දැකීමක් විය. දවසින් දවස මේ ගති ලක්ෂණයේ වැඩි වීමක් මිස අඩුවක් නම් වූයේ නැත. ඒ සමඟම ශ්‍රී පවුලේ සුපිරි තාරකාව මෙන්ම සුපිරි ලැජ්ජාකාරියද වූවාය.
මධ්‍යම පාන්තික ශ්‍රී ගේ පවුල දස අත අක්මුල් විහිදි ගිය සුවිසල් නුග රුකක් බඳුවිය. ඇයගේ පවුලේ සමාජිකයන් අති විශාල ගණනකි. ශ්‍රී ගේ සීයා (මවගේ පියා) කටාරි වෙන්කතස්වාමි රෙඩ්ඩි තිරුපති ග්‍රාමයේය. ඔහු තිරුපති ගරාපල්ලි -ජම්මලා මඩුඟු අතර බස් ධාවනය කළ ව්‍යාපාරිකයෙකි. ඔහු ජම්මලාමඩුගු වල පදිංචි වෙනකතා රත්නම්මා හෙදිය සමඟ විවාහ විය. දෙදෙනාම එකම කුලයට අයත් වූ අතර විවාහ වී කලක් ගත වූ පසු කටාරිට තිරුපති ග්‍රාමයේ රුයියා රෝහලේ රැකියාවක් ලැබිණි. දෙදෙනා බාලසුබ්‍රමනියම්, රාජේශ්වරම්මා (ශ්‍රී දේවියගේ මව) සුබ්‍රමාය්යා, අනසුආයම්මා, අම්රුතම්මා, ශාන්තාම්මා නමින් දූ පුතුන් හය දෙනකුගේ මාපියන් විය. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූ බාලසුබ්‍රමනියම් ට චෙන්නායි හි රැකියාවක් ලැබුණු පසු සොහොයුරාත් සොයුරියනුත් එහි ගෙන්වා ගත්තේය. රාජේශ්වරම්මා ට හිරිමල් යොවුන් වියේ සිටම තිබුණේ නිළියක වීමේ උමතුවයි. මේ නිළි උමතුව නිසාම ඇය සුළු චරිත කිහිපයක් රඟ පෑ රංගරාඕ සමඟ විවාහ වූවාය. දෙදෙනොට ලැබුණු දියණිය සූරියකලාය. පසුව රාජේශ්වරම්මා අතහැර දැමූ රංගරාඕ වෙනත් විවාහයක් කරගත්තේය. සූර්යකලා ඇයගේ මාපියන් විසින් ඇති දැඩි කරන ලදි. ( සූර්යකලාගේ දියණිය මහේෂ්වරී ද දමිළ, තෙළිඟු සිනමා පටවල රංගනයෙන් දායක වූ දැන් පුංචි තිරයේද රඟන නිළියකි.)
තනිවූ රාජේශ්වරම්මාට සිවකාසි හෙවත් දකුණු ඉන්දියාවේ ගිනි කෙළි පුරවරයේ අයියප්පන් රෙඩ්ඩි මුණ ගැසුණි. වෘත්තියෙන් නීතිඥවරයකු වූ ඔහුගේ පවුල හොඳින් ඉගෙනගත් පවුලක් ලෙස සිවකාසි ග්‍රාමයේ නමක් දිනාගෙන තිබිණි. අයියප්පන් ද කලින් විවාහ වූ අයෙකි. එම විවාහයෙන් සතීශ් නම් පුතකු ඔහුට සිටියේය. රාජේශ්වරී-රෙඩ්ඩි යුවළට ලැබුණු දූවරුන් දෙදෙනා ශ්‍රී දේවි හා ශ්‍රී ලතාය. මේ යුවළ සැම විටම වැඩිමල් දියණිය, ශ්‍රී ට පවුලේ අය සමඟ කාලය ගත කිරීමට ඉඩ සැලැස්වීමටය. එහෙත් ශ්‍රී ගේ සිනමා නාමාවලියට දිනෙන් දින එක්වන සිනමා පට සමඟ බැඳීම් සීමාවන්නට පටන් ගත්තේය. එසේ වූවා කියා රුධිරගත බැඳීම හා කෙනකු හා මිතුරු වූ පසු හදවතින්ම බැඳීමේ ඇයගේ ජන්ම උරුමයට ඉන් බාධාවක් නොවිණි. 1971 වසරේ තම සිනමා දිවියේ හැරවුම් ලක්ෂයක් වන බව ‘හූම්පත්තා‘ සිනමා පටයට තෝරා ගන්නා විට ශ්‍රී ට හැඟුණේ නැත. එය මොලිවුඩ් හෙවත් මලයාලම් සිනමාවේ පළමු ළමා සිනමා පටය ලෙසද සැලකෙයි. හූම්පත්තා යනු මලයාලම් බසින් සමනළයාය. බේබි ශ්‍රී දේවි දකුණු ඉන්දීය සිනමා පුරවරයේ සිසාරා පියඹන්නට පටන්ගෙන ඇත. කරූර් නීලකාන්ත පිල්ලෙයි විසින්රචිත කෙටි කතාව තෝරා ගැනීමේදී නිෂ්පාදක වී.එම්.ශ්‍රීනිවාසන් හා අධ්‍යක්ෂ බී. කේ. පොට්ටේකාත් විසින් බේබි ශ්‍රී දේවිනම් පුංචි සමනළිය තෝරා ගන්නා ලදී. සිනමා පටය නිව්ටන්, අරුණාචලම් චිත්‍රාගාරවල රූගත කිරීම ඇරැඹිණි. ඒවනවිට ශ්‍රීට වයස අවුරුදු හයක්වත් සපිරී නොතිබිණි. ශ්‍රී මුල්ම වරට ප්‍රධාන චරිතය නිරූපණය කරන්නීය. එහෙත් ඇයට එය තවත් එක් සිනමා පටයක් පමණි. එහෙත් මෙතෙක් රඟපෑ සියලු චරිතවලට වඩා වෙනස්ම චරිතයක් බව ඩිරෙක්ටර් සර් දෙන උපදෙස්වලින් ශ්‍රීට තේරිණි. මේ අලුත් චරිතයේ සංකීර්ණ බව පුංචි ශ්‍රීට ගෙන ආවේ අමුතුම සතුටකි.
එහෙත් සාරදාගේ මුව සිරියාවන්ත කරන සිනාවෙන් ප්‍රේක්ෂකයන්ට වැඩි කාලයක් සතුටුවීමට ලැබෙන්නේ නැත. මව අකාලයේ මරණයට පත්වන අතර පුංචි සාරදා සිය මිතුරියට භාර දෙන්නේ තමන්ගේම දියණිය ලෙස රැක බලා ගනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි. එහෙත් ඇය තම වැඩිමල් දියණිය සුමතිටත් ( රෝජා රමණී ) වඩා බාල සාරදාගෙන් තලා පෙලා වැඩගන්නේ මෙහෙකාරියකටත් වඩා අන්ත වධ හිංසා කරමිනි. සුමති සාරදාට අනුකම්පා කළත් දෙදෙනාගේ මිතුදම පවත්වා ගෙන යන්නේ හොර රහසිනි.
සාරදාගේ කටුක රංගනය, කුඩා දෙවිවරුන්ට රැඟූ පුංචි දේවියම ද රඟන්නේ යන්න සිතාගත නොහැකි තරම් තාත්වික විය. සිනමා පටය රූගත කරද්දීම ශ්‍රී ළිඳටත් උඩින් ඇති ඉනිමඟකට නැග වතුර අදින ජවනිකාව, හිසමත මහා බරක් ඔසවාගෙන නොවැටී යන ගමන, මේ කටුක අත්දැකීම් විඳින අතරේ මව සිහිකර ඇයගේ සොහොන ළඟ හඬා වැලපෙන අයුරු මුළු සිනමා කණ්ඩායමේම නොමැකෙන මතකයක් විය.
ශ්‍රී අනාගතයේ සමස්ත ඉන්දියාවේම විශිෂ්ට නර්තන ශිල්පිනිය බවට පත්වන පෙරනිමිති පළ කෙරුණේ ද ‘පූම්පත්තා‘ සිනමා පටයෙනි. එහි සිහින ජවනිකාවේ ශ්‍රී, රෝජා රමණි සමඟ යෙදෙන නර්තනය අනාගත නාගීනා, චාන්දනී, මිස්ටර් ඉන්ඩියා, චාල්බාස්, හිම්මත්වාලා වැනි නර්තනයන්හි කුඩා ඡායා පිටපතක් බඳුවිය.
ශ්‍රී ගේ මව රාජේශ්වරීට ශාස්ත්‍රීයව නර්තනය හදාරන්නට ශ්‍රී යොමු කිරීමට ඉඩ ලැබුණේ නැත. එහෙත් ඇය හා හා පුරා කියා සිව් හැවිරිදි වියේදී කන්ද කරුණෙයි, කුඩා ස්කන්ධ දෙවියා ලෙස රඟද්දීම ඇය නැටුමට පෙළඹුවාය. ඉන්දීය සිනමාවට නර්තනය ආයිත්තමක් බව රාජේශ්වරී දැන සිටියාය.
ශ්‍රී දකින දකින නර්තය අනුව පාද රිද්මයට තැබුවේ රංගනය තරමටම ඇතැම්විට රංගනයටත් වඩා ඇයට එය ප්‍රියජනක අත්දැකීමක් වූ නිසයි.
එවකට මලයාලම් සිනමාවේ සිටි කිසිදු සුපිරි තරුවක් පූම්බත්තාට දායක වූයේ නැත. සිනමා පටය 1971 මාර්තු 12 වැනි දින තිරගත විය. එය ප්‍රේක්ෂක, විචාරක නොමඳ පැසසුමට ලක්වූයේ මලයාලම් සිනමාවේ විශිෂ්ටතම සිනමා පටයක් බවට ඔප්පුකරමිනි. එලෙසම පුංචි ශ්‍රී, ඉන්දීය සිනමාවේ තාරකාවන්ගේ අනාගතය බව ක්ෂේත්‍රයේ විශාරදයන්ට සක්සුදක් සේ පැහැදිලි විය. එය සනාථ කරමින් පුංචි ශ්‍රී දේවි (බේබි ශ්‍රී දේවි) කේරළ රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ඒ බේබි ශ්‍රී ගේ පුංචි දෝතට තුරුළු වුණු පළමු සම්මානයයි. එහි අගය ශ්‍රීට වඩා දැනුණේ මව රාජේශ්වරීටය.
දුකුණු ඉන්දියවේ සිනමාවේ පුංචි සමනළියගේ තටුවලට දේදුනු පැහැයක් එක්විය. ඇය වෙනුවෙන් කොලිවුඩයේ, ටොලිවුඩයේ, මොලිවුඩයේ සොඳුරු සිනමා කුසුම් පෙති විහිදා තව තවත් පිපෙන්නට ගත්තේය.
ලබන සතියේ තවත් කොටසක්