
වයඹ පළාතෙන් මෙරට කලා ලොවට පිවිසෙන මල්රාජ් පතිරාජ එළිමහන් වේදිකාවේ මෙන්ම පසුබිම් ගායනයෙන් ද ගායනා ක්ෂේත්‍රය පෝෂණය කළ කලාකරුවෙකි. ඔහුගේ ගීත ඇතුළත් ‘සැඟවියන් කුමාරියේ‘ සංයුක්ත තැටියද මේ වන විට රසිකයන් අතර ජනප්‍රිය වෙමින් තිබේ. එම සංයුක්ත තැටිය හා සිය කලාවේ ගමන් මඟ ගැන මල්රාජ් පතිරාජ සමඟ කළ කතාබහකි මේ.
ඔබ කලා ක්ෂේත්‍රය සමඟ එක්වන්නේ කොහොමද ?
මට කුඩා කාලයේ ඉඳලා ගීත ගායනා කරන්න පුදුම ආසාවක් තිබුණේ. ඒ නිසා ගමේ මඟුල් ගෙදරකට ගියත් කොහොම හරි ගීතයක් ගායනා කරනවා. ඔහොම කාලය යද්දි ගමේ පාසලෙන් ශිෂ්‍යත්වේ සමත් වෙලා මට මාදම්පේ සේනානායක මැදි විදුහලට යන්න අවස්ථාව ලැබුණා. එහිදී මම තව තවත් සංගීතය පැත්තට නැඹුරු වුණා. ඒ වගේම ඒ කාලේ හලාවත පැත්තේ සංගීත සංදර්ශනයක් තිබුණොත් මට ගීත ගායනා කරන්න අනිවාර්යෙන්ම ආරාධනා ලැබෙනවා. මෙහිදි විශේෂයෙන් කියන්න ඕනි මගේ සංගීත දිවිය පෝෂණය කරගන්න ප්‍රේමරත්න සිල්වා, ජෝර්ජ් පල්ලේවත්ත, ලලිතා අධිකාරී යන ගුරුවරුන්ගෙන් දැඩි ශක්තියක් ලැබුණා. ඒ නිසා මට ගායන ක්ෂේත්‍රයෙන් තව තවත් ඉදිරියට යන්න අවස්ථාව උදා වුණා.
උසස් පෙළෙන් පස්සේ ඔබ කණ්ඩායම් සංගීතය සමඟ එක්වෙනවා නේද ?
උසස් පෙළ අවසන් වුණත් සමඟම එකල තිබුණ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ‘ස්පෙක්ට්‍රම්‘ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස එක්වෙන්න අවස්ථාව ලැබුණා. එය මා ලැබූ භාග්‍යයක්. මේ සංගීත කණ්ඩායමත් එක්ක රට පුරා යන්න අවස්ථාව හිමිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ කාලයේ රූපවාහිනියේ ජනප්‍රිය සංගීත වැඩසටහනක් වන ‘නන්දන වින්දන‘ වැඩසටහනේ ගීත ගායනා කරන්න පවා ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. ඉන් පස්සේ ‘මධු රසාංඟ, ඇසේ මධුර ගී, අහන්න ආසයි ගයන්න‘ වැනි සංගීත වැඩසටහන්වලට පවා එක්වීමේ වාසනාව ලැබෙනවා.
ගායනා ක්ෂේත්‍රයට එක්වන බොහෝ දෙනකුගේ ඊළග බලාපොරොත්තුව තමයි තමන්ගේ ම ගීත එකතුවක් එළි දක්වන එක. ඒ වාසනාවට ඔබත් හිමිකම් කියනව නේද ?
ඔබ කිව්ව ඇත්ත. මේ ක්ෂේත්‍රයට එන ඕනිම කෙනකුගේ ලොකුම බලාපොරොත්තුව ගීත එකතුවක් එළි දක්වන එක. ඒ අනුව ‘සැඟවියන් කුමාරියේ‘ නමින් සංයුක්ත තැටියක් එළි දක්වන්න පුළුවන් වුණා. මේ සඳහා ප්‍රවීණ ගීත රචකයෝ, සංගීත වේදියෝ උදව් කර තිබෙනවා. යුග ගායනයෙන් නෙළු අධිකාරී මහත්මිය දායකත්වය ලබාදෙනවා. මීට අමතරව නන්දා මාලනී, නිහල් ගම්හේවා, රෝහණ බැද්දගේ, යන කලාකරුවන් පවා මගේ නිර්මාණවලට උදව් කර තියෙනවා.
ඔබ ටෙලිනාට්‍යවල පසුබිම් ගායනයට පවා සම්බන්ධ වෙනවා නේද ?
ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතාගේ මඟපෙන්වීම යටතේ තමයි මට ටෙලිනාට්‍යවල පසුබිම් ගායනයට එක්වෙන්න ලැබෙන්නේ. චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ ටෙලිනාට්‍යයේ පසුබිම් ගීත ගායනා කළා. එම ගීතය රචනා කළේ බන්දුල නානායක්කාරවසම්, සංගීතවත් කළේ ආනන්ද ගමගේ. ඒ වගේම සරසවිය පුවත්පතේ සුනිල් හොරේෂස් මහතාගේ ‘අන්න බලන් සඳ‘ ටෙලිනාට්‍යයෙත් පසුබිම් ගීත ගායනා කළා.
ඇයි ඔබ හිටි හැටියේම ජන ගී පිළිබඳ හදාරන්න හිතුවේ ?
මම රන්වල පදනම සමඟ වසරක් විතර සම්බන්ධ වෙලා හිටියා. ඒකෙන් මට ජන ගී පිළිබඳ හොඳ අධ්‍යයනයක් වගේම දැනුමක් ලබාගන්න අවස්ථාව ලැබෙනවා. මෙහිදී සහන් රන්වල මහත්මය මට හොඳ සහයක් ලබාදෙනවා ජන ගී ගායනය වර්ධනය කරගන්න.
එතකොට ඔබේ සංගීත දිවියට අතහිත දුන්නේ කවුද ?
මම සේවය කරන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ‘ ඩියුටි ෆ්‍රී‘ අංශයේ සියලුම දෙනාටත්, මගේ මවුපියන්, සහෝදර සහෝදරියන්, බිරිය වගේම පවුලේ සැමත්, මාදම්පේ හිතමිතුරු කැළටත්, නම් නොකිව්ව ඒත් මට ධෛර්ය, ශක්තිය ලබාදෙන සියලුම දෙනාටත් ගෞරව පූර්වක ස්තූතිය පිරිනමනවා.