මම මීට පෙර වෘතාන්ත ටෙලි නාට්‍යයක රඟපාලා තිබුණේ නෑ | Page 2 | සිළුමිණ

මම මීට පෙර වෘතාන්ත ටෙලි නාට්‍යයක රඟපාලා තිබුණේ නෑ

නදී කම්මැල්ලවීර රංගන ශිල්පිනියක ලෙස අපට එතරම් හුරු නොවුණත් ඇය අපේ රටේ සිටි විශිෂ්ට ලේඛකයවරයකු වන ජයතිලක කම්මැල්ලවීරයන්ගේ දියණිය වූ නිසාම කලා ලෝකයේ කවුරුත් දන්නා චරිතයක්. වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ නදී ඉන්පසු රිදී තිරයටත් එතැනින් පුංචි තිරයටත් පිවිසුණාය. පසුගියදා නිමාවුණු රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ විශිෂ්ටතම රංගන ශිල්පිනිය වෙමින් තමන් රඟපෑ පළමු චරිතය වෙනුවෙන් සම්මාන හිමිකර ගත් නදී සිය සතුට රසඳුනට හෙළිකළේ මෙසේයි.

 මෙවර රයිගම් ටෙලිස් හි හොඳම නිළිය සම්මානය ඔබට හිමි වුණා. මොනවගේ සතුටක්ද දැනෙන්නේ?

ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා .

සම්මානය හිමිවූ නිර්මාණය ගැන කතා කරමු.

මට සම්මානය ලැබුණේ ආනන්ද අබේනායක මහතා විසින් අධ්‍යක්ෂණය කළ 'බැද්දේ කුලවමිය' කියන ටෙලි නාට්‍යයේ චංචලාගේ චරිතය රඟපෑම වෙනුවෙන්. ඒ ටෙලි පිටපත, ලියා තිබුණේ රූපා ශ්‍රියාණි ඒකනායක විසින් රචිත බැද්දේ කුලවමිය කියන නවකතාව පදනම් කරගෙන.

ඒ නිර්මාණයට ආරාධනා ලැබුණේ ?

ආනන්ද අබේනායක මහතා තමයි මාව ඒ නිර්මාණයට තෝරාගත්තේ.

'බැද්දේ කුලවමිය' ඔබේ කීවැනි ටෙලි නිර්මාණය ද?

පළමුවැනි එක. මම මීට පෙර වෘතාන්ත ටෙලි නාට්‍යයක රඟපාලා තිබුණේ නෑ. ආනන්ද අබේනායක මහතා විසින්ම අධ්‍යක්ෂණය කළ සංසාරේ පිය සටහන් කියන පෝය දිනවල විකාශය වූ ඒකාංගික නාට්‍යය තුනක විතරයි මම කලින් රඟපාලා තිබුණේ.

ඔබට ලැබුණු කීවැනි සම්මානයද මේ ?

මීට පෙර මට මේ මගේ සඳයි සහ ඉර මැදියම කියන චිත්‍රපටි වල රඟපෑම් වෙනුවෙන් ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය, සරසවි සම්මානය ලැබිලා තියෙනවා. ඒත් එක්කම පරිවර්තන පිටපත් වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් දෙවරක් සම්මාන ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේක මට ලැබුණු 6 වැනි සම්මානයයි.

නදී කම්මැල්ලවීර නිතර දකින රංගන ශිල්පිනියක් නොවේ. ඒ ඇයි?

නිතර දකින්න ඉතිං ගොඩාක් වැඩ කරලා නෑ. ඒකයි.

ඔබ වඩාත් සමීප වේදිකාවට ද සිනමාවටද?

මං වැඩිපුර වැඩ කරලා තියෙන්නේ වේදිකා නාට්‍ය වල. චිත්‍රපට අතලොස්සක රඟපාලා තියෙනවා. මාධ්‍ය මොකක් වුණත් රඟපාන්න යන නිර්මාණයක් එක්ක මං ගොඩාක් බැඳෙනවා.

පසු ගිය කාලයේ ඔබ විදෙස් සිනමාවත් එක්ක වැඩ කළා. ඒ ගැන කිව්වොත්?

පාඔලෝ සොරෙන්ටිනෝ කියන ඉතාලි ජාතික අධ්‍යක්ෂ විසින් අධයක්ෂණය කළ The Young Pope කියන ටෙලි වෘතාන්ත මාලාවේ චරිතයක් රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. එහි රූගත කිරීම් කළේ ඉතාලියේ රෝම නගරයේ. මං රඟපෑවේ Sister Suree කියන චරිතය. ඒක ඇමරිකාව සහ යුරෝපයේ රටවල් ගණනාවක රූපවාහීනී චැනල් වල විකාශය වුණු, විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගත් ටෙලි සීරීස් එකක්. එහි ප්‍රධාන චරිත රඟපෑවේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළියෝ. Jude Law, Deane Keaton, Sylvio Orlando වැනි රංගන ශිල්පින් එක්ක වැඩ කරන්න මට අවස්ථාවක් ලැබුණා. එහි රඟපාන්නට ලැබීම මගේ ජීවිතයේ මා ලද වටිනාම අවස්ථාවක්.

ඔබ කලාවට පිවිසෙන්නේ ?

මං සෝමලතා සුබසිංහ මිස්ගේ ළමා හා යොවුන් රංග පීඨය නැමැති රංග පාසලේ ශිෂ්‍යාවක්. ඇය තමයි මගේ රංගන ජීවිතයේ ගුරුවරිය. හිම කුමරිය, තොප්පි වෙළෙන්දා, පුංචි අපට දැන් තේරෙයි, විකෘති වැනි ඇය විසින් ලියා අධ­්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යවල තමයි මං මුලින්ම රඟපෑවේ.

නදී කම්මැල්ලවීර වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද?

නැහැ. මං ජීවත් වෙන්න ආදායම් උපයන්න වෙන වෘත්තියක නියැලෙනවා. සෑහෙන කාලයක් පූර්ණකාලීන රැකියාවක් කළා. දැන් ආයතනගත රැකියාවක් කරන්නෙ නෑ. නමුත් Free lance වැඩ කරනවා. මගේ වෘත්තිය රඟපෑමයි කියල කියන්න මං ඉතා කැමැතියි. නමුත් ප්‍රායෝගිකව අපට රඟපෑමෙන් විතරක් ජීවත් වෙන්න බැහැ . අඩුගානේ මං වගේ කෙනකුට බැහැ. ඒ නිසා වෙන වෙන වැඩ කරන්න වෙනවා.

මෙවර හොඳම නිළිය සම්මානය සඳහා ඔබත් සමඟ නිර්දේශ වු අය අතර ප්‍රවීණ රංගන ශිල්පිනියන් ද සිටියා. ඔබට මේ සම්මානය හිමිවේවි කියලා විශ්වාසයක් තිබුණද?

නැහැ. මා සමඟ මේ සම්මානය සඳහා නිර්දේශ වී සිටියේ, විශිෂ්ට නිළියක් වන චාන්දනී සෙනෙවිරත්න සහ තවත් දක්ෂ නිළියක් වන හිමාලි සයුරංගි දෙදෙනා. හිමාලි රඟපෑ ‘ශ්වේත ගං තීරය‘ කියන ටෙලි නාට්‍යය මං නරඹලා තිබුණේ නෑ. නමුත් චාන්දනී අක්කා එක්ක තමයි මම බැද්දේ කුලවමිය නාට්‍යයේ රඟපෑවේ. ඇය සමඟ මං කිහිපවරක් වේදිකා නට්‍ය වලත් රඟපාලා තියෙනවා. ඇය මං අදහන, නිළියක්. රංගනය ගැන මං ඇගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඇගේ රංගනය කොයිතරම් සියුම්ද, ඇය කොයිතරම් දක්ෂ ද කියන එක මං හොඳින්ම දන්නවා. ඒ නිසා මට මේ සම්මානය ලැබේවි කියලා බලාපොරොත්තුවක් කොහෙත්ම තිබුණේ නෑ. මේ සම්මානය මට ගොඩාක් වටින්නෙත් ඒ නිසා.

ඔබ පවුල් පසුබිමත් එක්ක ද කලාවට පිවිසුණු කෙනෙක් කිව්වොත්?

වෙන්න ඇති. මගේ තාත්තා ජයතික කම්මැල්ලවීර. ඔහු ලේඛකයෙක්. පොඩි කාලේ ඉඳලම පොත් පත්, නාට්‍ය ජීවිතයත් එක්කම තිබුණා.

ලැබුණු සම්මානයත් එක්ක ඉදිරියේදී ඔබව රුපවාහිනී තිරය ඔස්සේ දකින්න පුළුවන් වේවිද?

රඟපාන්න චරිතයක් ලැබුණොත්, මං ඒක කරනවා. ඉතිං රඟපෑවොත් මාව දකින්න ලැබේවි.

අවසාන වශයෙන් මතක් කරන්න බොහෝ පිරිසක් ඇති.

බැද්දේ කුලවමිය නාට්‍යයට මාව තෝරගත්තු ආනන්ද අබේනායක මහත්මයාට මං ගොඩාක් ස්තූති වන්ත වෙනවා මේ අවස්ථාව මට දුන්නට. ඒත් එක්කම එහි රඟපෑ සහෝදර රංගන ශිල්පීන් සියලු දෙනාටත්, crew එකේ සියලු දෙනාටත් ස්තූතිය පළකරන්න ඕනේ. මම මේ සම්මානය ලබා ගන්නේ ඒ හැමෝගෙම සහයෝගය මට නොඅඩුව ලැබුණු නිසා.

Comments