
අක්කා හිනාවුණා. තත්පර කීපයක්ම හිනාවුණා. මං පුදුම වෙලා බලාගෙන හිටියා. මගේ අතින් මොනවා හරි වැරැදි දෙයක් කියවුණාද කියලා කල්පනා කළත්, එහෙම දෙයක් සිදු නොවුණු බව මම දැනගෙන හිටියා. ඇස් දෙකෙන් කඳුළු පනින තුරු හිනාවුණ අක්කා ඊට පස්සෙ මගේ උරහිස් දෙකෙන් අල්ලාගෙන මගේ මූණට එබිලා බැලුවා.
“අනේ පුංචි මෝඩි. ‘‘
ඇය හිනාව තද කරගෙන කිව්වා.
“එයා අංකල් කෙනෙක් නෙමෙයි. ජේසන්ට වයස හතළිස් ගණනක් වුණත් රිචාඩ් ඕන නම් මට වඩා අවුරුදු අටක් දහයක් වයසින් වැඩි ඇති.‘‘
“ඔයා කොහොමද රිචාඩ්ව අඳුනන්නෙ? ‘‘
මං ඇහුවා.
“ලොකු අයට නම කියලා කතා කරන්න එපා. රිචාඩ් අයියා කියලා කියන්න. ‘‘
අක්කා මට අවවාද කළා. එහෙමනම් අක්කා ඇයි ජේසන් අංකල්ට ජේසන් කියන්නෙ කියලා අහන්න හිතුණත් මං ඇහුවෙ නෑ.
“ලීනා දන්නවද? රිචාඩ් කාලයක් මාත් එක්ක යාළුවෙන්න ආවා. ‘‘
වටපිට බලපු අක්කා ඊටපස්සෙ කිව්වෙ රහසෙන් වගේ.
“රිචාඩ් නරක කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මොන හේතුවක් ද මන්දා. මට එයාට කැමැති වෙන්න හිත දුන්නෙ නෑ.‘‘
“ඇයි?‘‘
“මන්දා. මට පිරිමි සංහතියම එපා වෙලා තිබුණෙ. අපිට නොතේරුනාට ලීනා පිරිමි ගොඩක් වෙලාවට හරිම සෙල්ෆිෂ්.‘‘
සෙල්ෆිෂ් කියන වචනෙ තේරුම ඒ වෙනකොට මං හරියටම දැනගෙන හිටියෙ නෑ. ඒත් මං දන්නවා වගේ ඔළුව හෙලෙව්වා.
“ඒගොල්ලො ගෑනු අයව බොරුවට වර්ණනා කරයි. ලස්සන ලස්සන කතා කියයි. හිත ඇදගන්න විදියට හැසිරෙයි. ඒත් ඒ සේරම රැවටීම් කියලා තේරෙන්නෙ පස්සෙ කාලෙක ලීනා.‘‘
අක්කා කිව්වෙ දුකෙන් වගෙයි.
“මං මේ හැමදෙයක්ම ඔයාට කියන්නෙ ඔයා දැන් ලොකු ළමයෙක් නිසයි ලීනා. කවදාවත්ම ලස්සන රූපෙකට, ලස්සන වචන වලට රැවටෙන්න එපා. එක සැරයක් රැවටුණොත් ඒක සිද්ද වෙන්නෙ සදාකාලෙටමයි. ‘‘
“මොනවද ඔය දෙන්නා හොරෙන් හොරෙන් කතා වෙන්නෙ?‘‘
නංගි අපි ළඟට ආව නිසා අක්කා කතාව නතර කළා.
“කතා වෙන්නෙද? ඊළඟට බිග් ගර්ල් කෙනෙක් වෙන්න ඉන්න කෙනාට අපි ග්‍රෑන්ඩ් පාටි එකක් දෙන්න ඕන කියලා නේද ලීනා?‘‘
අක්කා පුරුදු විදියට හයියෙන් හිනාවුණා.
“ඔය බොරු. ඔය දෙන්නා කතා කරන්නෙ කවුරු නමුත් බෝයි කෙනෙක් ගැන. ‘‘ නංගි කිව්වා.
නංගි කොහොමත් මං වගේ බොළඳ කෙනෙක් නෙමෙයි. ඇය හැමතිස්සෙම හැමදේම ගැන විවෘතව කතා කළා. ඇය මට වඩා ගොඩක් දේවල් ගැන දැනගෙන හිටියත් අක්කා නංගි දිහා බැලුවෙ පුදුමෙන්.
“මේ ළමයා පැහිලා ඉන්න තරම්. අපිට බෝයිස්ලා ගැන කතා කරනවට වඩා මොන තරම් දේවල් කතා කරන්න තියෙනවද නේද ලීනා?‘‘
“ඔය දෙන්නා හරිම නරකයි. ‘‘
අද දවසෙ නංගි ඉන්නෙ මා එක්ක ටිකක් තරහෙන්. සමහරවිට මට ලස්සන ගවුමක්, ලස්සන සපත්තු, මාල වළලු ලැබුණට එයාට තරහක් ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න ඇති කියලා මට හිතුණා. කොහොමටත් මට අලුතින් මොනවා හරි ගෙනා දාට නංගිගෙ මූණ කුණ්ඩ හට්ටියක් වගේ කියලා සිසිලින් හිනාවෙනවා මට මතකයි.
උඩ තට්ටුවෙන් මහ හඬින් හිනාවෙන හඬක් ඇහුණා. පප්පගෙ කටහඬ මං අඳුන ගත්තත් අනිත් කටහඬවල් කාගෙද කියලා මට අඳුන ගන්න බැරිවුණා. සමහරවිට ජේසන් අංකලුත්, රිචාඩුත් පප්පා කරන විහිළු වලට හිනාවෙනවා ඇති කියලා මට හිතුණා.
“පිස්සො.‘‘
අක්කා හෙමින් තොල මතුරනවා මම දැක්කා.
“උන්ට බීගෙන හිනාවෙන්න පුංචිම පුංචි දෙයක් වුනත් ඇති. මෙතන හිනා වෙන්න දෙයක් සිද්ද වෙලා නෑනේ. අපේ බේබි ගර්ල් බිග් ගර්ල් කෙනෙක් වෙන එක උන්ට හිනාවෙන්න සතුටු වෙන්න දෙයක් නෙමෙයි.‘‘
ඊට ටික වෙලාවකට පස්සෙ අක්කා මම්මත් එක්ක කියනවා මං අහගෙන.
“පප්පගෙ වැඩ තමයි. යාළුවො පිරිවරාගෙන බීගන්න ලැබුණොත් ඉතින් එයාට ඊට වඩා දෙයක් නෑනේ. ‘‘
මම්මා කිව්වෙ තරහෙන් නෙමෙයි. දුකෙන් කියලා මං දැනගෙන හිටියා. ඒ කියන්නෙ පප්පා යාළුවන් පිරිවරාගෙන බොන එකට මම්මා වගේම අක්කත් කැමැති නැති ඒකයි.
එදා දවසෙ රෑ වෙනතුරුම එක එක මෝස්තරේට ඇඳ ගත්ත ගෑනු පිරිමි අපේ ගෙදරට පෝලිමට ආවා. මම්මයි, අක්කයි ඉස්සරහට ගිහින් හිනාවෙලා කතා කරලා ඒගොල්ලො පිළිගත්තත් මගේ කාමරේට එන අක්කා මා දිහා බලලා උරහිස් ගැස්සුවෙ තරහෙන්.
“මේක හරියට ෆැෂන් ෂෝ එකක් වගේනෙ. ‘‘
අක්කගෙ කීම අනුමත කරන්න වචනයක්වත් නොකිව්වත් ඒක ඇත්ත කියලා මට හිතුණෙ සමහර ගෑනු උදවිය ඇඳලා තිබුණ් අමුතු මෝස්තර වල ඇඳුම් දැක්කමයි.
මගේ මූණ ඉඹලා තෑගි දීලා ඒගොල්ලොත් හෙමින් හෙමින් උඩට ගියා. සමහර ගෑනු අයත් බීලා කියලා මම දැනගත්තෙ පහළට ආවට පස්සෙ ඒගොල්ලන්ගෙ ළඟින් ආව වයින් සුවඳ නිසයි. ඒ වගේම උඩට ගිහින් ආපහු පල්ලෙහාට එන ගෑනු අය කතා කළේ බොරු දේවල්. හිනාවුණේ බොරුවට. අක්කා මම්මා දිහා බලලා ඇස්දෙක පුංචි කරලා හිනාවුණේ සමච්චලේට.
“මම්මා. හංගන්න හැදුවට මුන් හැමෝම බීලා.‘‘
අක්කා හෙමිහිට කිව්වත් මට ඒ වචන ඇහුණා.
“ඔව්වා අපට වෙනස් කරන්න බෑ.‘‘
මම්මා කිව්වෙ දුකෙන්.
“ඇයි වෙනස් කරන්න බැරි? ඔහොම හිතපු නිසා නෙමෙයිද මම්මා මේ හැමදේම සිද්ද වුණේ? ‘‘
“අපි බලමු ජෙනී. මෙච්චර කාලයක් ඉවසුවා වගේ ඉවසමු. ‘‘
මට සිද්ධ වෙන ගොඩක් දේවල් ප්‍රහේළිකා වගේ වුණා. ඒත් ඕනවට වඩා කිසිම දෙයක් හිතන්න අක්කා ඉඩ දුන්නෙ නෑ. උදේ මට අන්දපු ගවුම මාරු කරලා කුණු ලේ පාට දිග ගවුමක් අන්දපු අක්කා මගේ කොණ්ඩෙ වෙනස් විලාසිතාවකට පීරුවා. ඇඳුමෙ පාටට ම සපත්තු දෙකකුත් මට ලැබුණා. ගවුමෙ පාටින්ම පීත්ත පටි දෙකක් පෝනි ටේල් වලට ගැට ගහලා අක්කා මගේ තොල් දෙකේ යාන්තමට වගේ ලිප්ස්ටික් ටිකක් තැවරුවා. ඒ රාත්‍රී සාදයට එන අමුත්තන් පිළිගන්න. ඒ වුණාට මට ඕනවුණේ පුරුදු විදියටම ගෙදරට අඳින ගවුමක් ඇඳගෙන මගේ ඇඳට වෙලා ටිකක් නිදා ගන්න.
මැදියම් රාත්‍රිය වෙනතුරුම සාදය තිබුණා. අන්තිම අමුත්තා පිට වෙලා යද්දි, සෝෆා එක උඩම නින්දට වැටිලා හිටිය මාව මම්මා ඇවිත් ඇහැරවා ගත්තෙ අමාරුවෙන්. මම නිදිමතේම අමුත්තන්ට බායි කියලා කිව්වත්, එකම එක අමුත්තෙක් ඇත්තටම මාව නින්දෙන් ඇහැරවලා ගත්තා.
ඒ වෙන කවුරුවත් නෙමෙයි. රිචාඩ්.
“ලීනා. අපි යනවා. ‘‘
මගේ අත ඕනවටත් වඩා තදින් මිරිකපු රිචාඩ් කිව්වා. ඇත්තටම මම නින්දකින් ඇහැරුණා.
“බියුටි ක්වීන්. ටේක් කෙයාර්. ‘‘
මං වටපිට බැලුවා. ඒ වෙලාවෙ මම්මා හිටියෙ පිට වෙලා යන්න සූදානම් වෙලා හිටිය මම්මගෙ යාළු ආන්ටි කෙනෙක් එක්ක කතා කර කරයි. අක්කා පේන්න හිටියෙ නෑ.
“ගෝඩ් බ්ලෙස් ස්වීටි. සී යූ. ‘‘
ආයෙමත් මගේ අත රිදෙන තරමට අල්ල ගත්ත රිචාඩ් කියද්දි ජේසන් අංකල් එතනට ආවා. ඒත් ජේසන් අංකල්ලෙ මූණෙ තිබුණෙ තරහ පෙනුමක්.
ලබන සතියට