බක්මහ මංගල්‍යයට සැරසෙන පුංචි තිරේ අවුරුදු සිරි | Page 2 | සිළුමිණ

බක්මහ මංගල්‍යයට සැරසෙන පුංචි තිරේ අවුරුදු සිරි

බක් මාසය උදා වීමත් සමග මිනිසුන් පමණක් නොව ගහ කොළ, සතා සිවුපාවුන් මෙන්ම පරිසරයත් අමුතුම සිරියක් ගනියි.ඒ එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමටයි. අපේ රටේ ජනතාවට සිංහල අලුත් අවුරුද්ද හා බැඳුණු ලොකුම සංස්කෘතිකාංගයක් වන්නේ බක්මසේ අසිරිය කැන්දන බක්මහ උළෙලයි. එකිනෙකා අතර සාමය සහ සහජීවනය ඇතිකරවන බක්මහ උළෙල අනාගතයට නොනැසෙන ලෙස පවත්වාගෙන යෑමට මේ වනවිට පෙරටට පැමිණ වැඩකරන්නේ අපේ රටේ රූපවාහිනී නාළිකායි.ඔවුන් අවුරුදු අසිරිය සජීවීව රටට ගෙන එන්නට අත්වැල්බැඳගෙන සිටින්නේ එකිනෙකාට නොදෙවැනි විලාසයෙනි. ඉතින් තව දින පහකින් උදාවන බක්මහ මංගල්‍යයට මෙවරත් ප්‍රධාන රූපවාහිනී නාළිකා කිහිපයක්ම අවුරුදු මංගල්‍යය සමරන අසිරිය ලොවට කියන්නට සැරසෙන්නේ මෙහෙමයි.

ස්වාධීන රූපවාහිනියේ සූර්ය මංගල්‍යය සිරිලක සිව්කොනේ සිට ...

ස්වාධීන රූපවාහිනිය මෙවරත් බක් මහ අසිරිය ගෙන එන්නේ අමුතුම හැඩයකිනි.එනම් නව වසර උදාවන්නට පෙර දින ( 13) සහ නව වසර දා (14)දෙදින තුළ දවස පුරාම ආදරණීය නරඹන්නන් වෙනුවෙන් නාවික හමුදාව සමග අත්වැල්බැඳගත් සූර්ය මංගල්‍යයේ අසිරිය නිවසේ සිටම දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දෙයි.අපේ රටේ සිවුකොණේ සිට එනම් හම්බන්තොට, ඩෙල්ෆ් දූපත, නැගෙනහිර සහ බස්නාහිර පළාත් එක්කරමින් පවත්වන්න යන නාවික හමුදා බක්මහ උළෙල මෙරට රසිකයන්ට නවමු අත්දැකීමකි. 13දින ස්වාධීන රූපවාහිනිය, නිවාස ඉදිකිරීම් අමාත්‍යංශය සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව පවත්වන බක්මහ උළෙල හම්බන්තොට වීරවිල වැව්තාවුල්ලේදි පැවැත්වේ.ඊට පසුදින එනම් නව අවුරුදු දා උදෑසන 9.00සිට හම්බන්තොට නාවික හමුදා පරිශ්‍රයේ සිටත්, නැගෙනහිර ඩෙල්ෆ් දූපතේ උදෑසන 6.00සිටත්, ත්‍රිකුණාමලය නිලාවැලි ආශ්‍රිතවත්, බස්නාහිර සයුර රළ නෞකාවේ සිටත් දිවයිනේ සතර දිශාවේ සිට නාවික හමුදාව සමග අත්වැල්බැඳගත් නාවුක බක්මහ උළෙලක් පැවැත්වේ. මෙය සජීවි විකාශයක් ලෙසින් අවුරුදු දා දවස පුරා ස්වාධීන රූපවාහිනියෙන් නැරඹිය හැකිය. මෙම සූර්ය මංගල්‍යයේ විශේෂත්වය වනුයේ නව අවුරුද්දට නිවෙස්වලට යෑමට නොහැකි වූ නාවුකයන් අවුරුදු සමරන ආකාරය රටට පෙන්වීමයි.එහිදී නාවුක සෙබළුන් ගැඹුරු මුහුදේ කරන හපන්කම් සහ විශේෂිත ස්ථානත් ඩොල්ෆින් මත්ස්‍යයන් සහ නාවුක සෙබළුන්ගේ විශේෂිත දක්ෂතා නැරඹීමට ස්වාධීන රූපවාහිනී නරඹන්නන්ට අවස්ථාව ලැබේ.මීට අමතරව සජීවී ලෙසින් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ පිහිනුම් තරඟ, ජනක්‍රිඩා, අවුරුදු කුමරා සහ කුමරිය කොළඹ වරාය පරිශ්‍රයේ සිට පැවැත්වේ. කොළඹ වරාය පරිශ්‍රයේදි පැවැත්වෙන අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය සවස 4.30ට විකාශය කෙරේ.ඩෙල්ෆ් දූපතේ පැවැත්වෙන බක්මහ උළෙලට නාවික හමුදාව සමග එම දූපත් වාසීන්ටද සහභාගිවීමට අවස්ථාව සැලසෙන බව සරත් කුමාර මහතා පැවැසීය.

දෙරණ නාළිකාවෙන් බදුලුපුර සූර්ය මංගල්‍යය...

දෙරණ නාළිකාව එකොළොස්වැනි වතාවටත් ඉදිරිපත් කෙරෙන කලා ගමේ අවුරුද්ද මෙවරත් නව වසර දින උදෑසන 9.00ට දෙරණ නාළිකාව ඔස්සේ පැය කිහිපයක් පුරා විකාශය කෙරේ. ජ්‍යෙෂ්ඨ කලාතරු දෙසිය පණහකට අධික පිරිසක් පිරිවරාගෙන පැවැත්වෙන මෙම බක්මහ උළෙලේදී කලා තරු සම්බන්ධ කරගනිමින් අවුරුදු නැකැත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කීරීම සිදුවේ. මෙම බක්මහ උළෙලේ අවුරුදු ක්‍රිඩා දොළහක් පමණ පැවැත්වෙන අතර තෝරාගත් කලාතරු අතරින් තෝරාගත් අවුරුදු කුමරා සහ කුමරිය එදින රාත්‍රි දැක බලා ගැනීමට දෙරණ ප්‍රේක්ෂකයනට අවස්ථාව උදාකර දෙයි.

දෙරණ මෙවරත් කලා ගමේ අවුරුද්දට අමතරව 15වැනිදා පවත්වනුලබන බක්මහ උළෙල මෙවර ‍ඓතිහාසික බදුල්ල පාපන්දු ක්‍රීඩාපිටියේ සිට පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්කොට තිබේ.දෙරණ නාළිකාව සිවුවැනි වරටත් පැවත්වනු ලබන බදුල්ල බක්මහ උළෙලට බදුල්ල සහ ඒ අවට ජනතාවට සහභාගිවීමේ අවස්ථාව උදාවේ.15වැනිදා උදෑසන 9.30සිට සවස 5.00දක්වා ලක්වාසිී ජනතාවට සජීවීව දැකබලා ගැනීමට අවස්ථාව උදාවේ. පාපැදි තරග, මැරතන් ධාවන තරඟ ඇතුළු තරග විස්සක් පමණ පැවැත්වෙන බව දෙරණ විධායක නිෂ්පාදකවරුන් වන ප්‍රසාද් කුමසරු සහ චමින්ද අරපේගෙදර අප සමග පැවැසීය.මේ සියලු තරග ජයග්‍රාහකයනට වටිනා ත්‍යාග ලබාදීමටත් විවිධ අනුග්‍රාහක භවතුන් පෙළගැසී සිටියි. පාපැදි තරගයට දිවයිනේ ඕනෑම තරගකරුවකුට සහභාගිවීමට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා වෛද්‍ය වාර්තාව ඉදිරිපත්කළ යුතුය.බදුලුපුර සූර්ය මංගල්‍යයේ අලංකාරම තරගවටය වනබක්මහ කුමරා සහ කුමරිය තේරීමේ තරගය රාත්‍රිය ළඟාවනවිට පැවැත්වීමට නියමිතයි.එදින රාත්‍රි 9.00ට ඇරැඹෙන නීල් වර්ණකුල ඇතුළු සන්ෆලවර් සංගීත කණ්ඩායමේ සජීවි සංගීත ප්‍රසංගයට ඩ්‍රිම්ස්ටාර් තරු පිරිවරාගත් දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වේ. පසුදා රැය පහන්වනතුරු පැවැත්වෙන බදුලුපුර සූර්ය මංගල්‍යයට සහභාගි වී දෙරණ නාළිකාව හා අත්වැල් බැඳගන්නා ලෙස ටී.වී දෙරණ ඉල්ලීමක් කරයි. මේ සඳහා හරීන් ප්‍රනාන්දු පදනම සහ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අනුග්‍රාහකත්වය ලබාදෙන බව සංවිධායක මණ්ඩලය පැවැසීය.

ජාතික නාළිකාවෙන් සිරිලක සිරි අවුරුදු සිරි...

ජාතික රූපවාහිනි අවුරුදු උදානය (2018) මෙවර මහියංගණය රාජධානියේ මහියංගණය මහජන ක්‍රිඩාංගණයේ සිට අති උත්කර්ෂවත්ව පැවැත්වේ. නව අවුරුදු දා(14) ඇරඹී ඊට පසුදින (15) රැය පහන්වන තුරා සතුට විනෝදය රැගෙන ඒම ජාතික රූපවාහිනියේ අපේක්ෂාවයි.මේ දින දෙකේදීම මහියංගණයේ ආදිවාසීන් පිරිවරාගෙන පැවැත්වෙන විවිධ චාරිත්‍ර වාරිත්‍ර, ක්‍රීඩා නැරඹීමට හැකිවීම ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ලැබෙන නවමු අත්දැකීමකි. නව අවුරුදු උදාව ලැබූ මොහොතේ පටන් ඇරැඹෙන නැකැත් චාරත්‍ර, වාරිත්‍ර මහියංගණයේ සිටගෙන ඒමට සැරසෙන්නේ සිරිලක සිවුකොණම එකම තැනකට ගෙන එමිනි. මහියංගණය මාපාකඩ වැව් ඉස්මත්තේ සිට 14දින උදෑසන සිට සවස එක දක්වා ජල ක්‍රීඩාත් සවස් යාමේදි දහස් ගණනක් රුවැත්තියන් අතරින් තෝරාගත් රුවැත්තියන් දොළොස්දෙනා පෙන්වීමත් සජීවීව සිදුකෙරේ. මෙවර ජයග්‍රාහී කුමරියව ජාතික රූපවාහිනිය රන් ඔටුන්නකින් පළඳවන අයුරු සුවහසක් ප්‍රේක්ෂක ජනතාවට කබලාගැනීමට අවස්ථාව උදාවේ. පස්වැනිදා මහියංගණය මහජනක්‍රිඩාංගණයේදී මහියංගණය අවට ජනතාව පිරිවරාගෙන පැවැත්වෙන කාන්තා හා පිරිමි මැරතන් තරග , පා පැදි තරග ඇතුළු තරග රැසක් පැවැත්වෙන බව බව ජාතික රූපවාහිනියේ අධ්‍යාපන වැඩසටහන් අධ්‍යක්ෂ එරින් විජේකෝන් මහත්මිය පැවැසුවා. පහළොස්වැනිදා රාත්‍රි සිට රැය පහන්වනතුරු ප්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමත් සමග භාතිය, සන්තුෂ් ඇතුළු ජනප්‍රිය තරුපිරිවරා පැවැත්වෙන අලංකාර සංගීත සංදර්ශනයක් දැක බලාගැනීමේ අවස්ථාව උදාවේ.මේ සියල්ල ඩිජිටල් තාක්ෂණික පසුතලයකින් නැරඹීමටද හැක.වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසි ජනතාවද සහභාගිවන සිරි ලක සිරි අවුරුදු සිරි බක්මහ සැණකෙළියේදි ආදිවාසි ජනතාව නව වසර සමරන අයුරුද දැකබලා ගත හැකිය.

ස්වර්ණවාහිනියෙන් ස්වර්ණ ශ්‍රී වසන්තය...

ස්වර්ණවාහිනිය ස්වර්ණ ශ්‍රි වසන්තය බක්මහ උළෙල මෙවරත් ඉතාමත් අලංකාරවත් ලෙසින් අනෙකුත් නාළිකාවන් අභිබවමින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන්නට මේ වන විට ලහි ලහියේ සුදානම් වෙමින් සිටී. ඒ අනුව අවුරුදු දින (14) උදෑසන 9.00සිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් කලාකරුවන් රැසක් පිරිවරාගෙන බක්මහ උළෙලක් පැවැත්වේ.එදිනම ස්වර්ණවාහිනී අවුරුදු කුමරා සහ කුමරිය රාත්‍රියේදි ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව හිමිකර දෙයි.මෙම කලාකරුවන්ගේ බක්මහ උළෙලට අමතරව හොරණ ප්‍රදේශයේ පැවැත්වෙන ස්වර්ණ ශ්‍රි වස්න්තය බක්මහ උළෙල පසුගිය වසරවලට වඩා අලංකාරවත් ලෙස කළබව වැඩසටහන් අධ්‍යක්ෂ කාවින්ද සුරේන් අප සමග පැවැසීය. එහිදී තරග විස්සක් පමණ පවත්වා ජයග්‍රාහක ජයග්‍රාහිකාවනට වටිනා ත්‍යාග ලබාදීම සිදුකෙරෙන බවත් මේ බක්මහඋළෙල අවුරුද්දට පෙර පවත්වනබවද අප සමග පැවැසීය.

හිරු අවුරුදු සිරිය කලාතරු පිරිවරා ...

ඒ.බී.සී මාධ්‍ය ජාලය කියන්නේ හැමදාමත් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත් වෙනස්කම් කරන නාළිකාවක්.ඒ අතරින් හිරු නාළිකාව ඉදිරියෙන්ම සිටිනවා. ඉතින් හිරු නාළිකාව මෙවර අලුත් අවුරුදු දා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් විවිධ වු වැඩසටහන් පෙළක්ම ගෙන ඒමට සූදානමින් සිටිනවා.

‍හිරු අවුරුද්දට ප්‍රේක්ෂකයන්ට දෙන්නේ මොනවාදැයි අපකළ විමසීමේදි එහි වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත පැවැසූවේ 'අපි හිරු නරඹන්නන්ට විශේෂ අවුරුදු වැඩසටහන් දෙන බවයි'. ඒ අනුව නව වසර එළඹීමට පෙර දින සිටයි.13දා රාත්‍රි 10.30ට හිරු අවුරුදු විකාශය ආරම්භ කරන්නේ හිරු අවුරුදු කුමරා සහ කුමරිය තේරීමෙන්. ඉන් පසුව නව වසර එළැඹෙන දින (14) උදෑසන 6.00සිට සවස 2.00දක්වා මෙරට කලාතරු සියයක් පිරිවරාගෙන වෙන්නප්පුව ඇවෙන්ඩ්‍රා හෝටලේ එළිමහනේදි අවුරුදු චාරිත්‍ර, වාරිත්‍ර ඇතුළු විශේෂාංග රැසක් පැවැත්වෙනවා.

මම හිතන්නේ මෙරට බක්මහට කලාතරු පිරිවරාගෙන පැවැත්වෙන ලොකුම විශේෂාංගය අපේ හිරු අවුරුදු විශේෂාංගයයි. මේ වැඩසටහන පැවැත්වෙන්නේ ලාංකීය සිනමාවේ ගලායෑම සිදුවන ආකාරයට පෙළගස්සා වීමත් සුවිශේෂීම ලක්ෂණයක්. ඊට අමතරව එදින පස්වරු 2.00ට පත්තිනි චිත්‍රපටයත්,5සිට 6.00දක්වා දොළොස්මහේ සෙනෙහස, රාත්‍රි 7.30සිට 8.55දක්වා හිරු සුපර් ඩාන්සර්,9.00සිට 10.00දක්වා මෙගාස්ටාර්- 2, රාත්‍රි 10.30සිට පසුදා පහන්වනතුරු හිරු අවුරුදු සාජ්ජයත් විකාශය කෙරෙනවා. පසුදින(15) බාහුබලී හින්දි චිත්‍රපටය සහ කොපි චැට් විශේෂ වැඩසටහන විකාශය කෙරෙනවා.මේ සියලු වැඩසටහන් ගෙන එන්නේ හිරු ප්‍රේක්ෂක ජනතාවගේ අවුරුදු අසිරිය නැංවීමටයි. විරාජ් තවදුරටත් පැවසුවා.

Comments