බක්මහ අකුණු ද බක්මහ දීග ද? | Page 2 | සිළුමිණ

බක්මහ අකුණු ද බක්මහ දීග ද?

බක්මහ උදාවෙමින් පවතින මේ දවස්වල ඉන්ද්‍රචාපගේ සමීපරූප අතර බක් මාසයේ ගී සින්දු, බක්මාසය මතක් කරන චිත්‍රපට , එපමණක් ද වේදිකා නාට්‍යයකුත්. බක්මාසයට, වෙසක් මාසයට ඇහෙන සින්දු සීපද නම් මහා ගොඩක්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ හැමදාම එකම සින්දු ටිකක් ඇහෙන එක.කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ , ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා නම් දැන් අහල අහලම ඇතිවෙලා. හැම බක් මාසෙකම ඇහුණත් එපා නොවෙන තවත් බක් මහ ගීතයක්, චිත්‍රපටයක්, වේදිකා නාට්‍ය නිර්මාණයක් එක්ක එකවර සමීප රූපාවලිය සරසන මුහුණු කීපයක් මෙවර සමීපරූපයෙ.

කන්ද උඩින් හඳ පායන ලීලා

ලන්ද වෙලේ රුක් අත්තන පිපීලා

මන්ද කොහෝ හඬලනු හැංගීලා

එන්න තමා බක් මහ ළං වී ලා...

මේ බක්මහ ගීතය සමග පළමුවැනි සමීප රූපය දයානන්ද ගුණවර්දන කියන මහා කලාකාරයගෙ. මේ සින්දුව ඉන්ද්‍රචාප පළමුවැනි වතාවට අහන්නෙ 60 ගණන්වල බලපු චිත්‍රපටයක් එක්ක. බක්මහ දීගේ චිත්‍රපටයේ රූපරාමුවෙ හිටියෙ පබුලිනා. පබුලිනා ගෙ තවත් සමීප රූප රාශියක්. ගොළු හදවතේ දම්මි, පරසතුමල්වල නෝනෙ, ගම්පෙරළියෙ ලැයිසා, චණ්ඩියා, රන්සළු වගේ චිත්‍රපට ගණනාවක සමීපරූපය වුණු අනුලා කරුණාතිලක. පබුලිනා බහ දීල හිටිය ජාසොං, එල්සන් දිවිතුරගම නම් සමීපරූපයෙ විතරයි දැන්. බක්මහ දීගය චිත්‍රපටය අලුත් අවුරුද්ද සමග මතකයට එකතුකරන මේ ගීතය ගායනා කරන්නෙ අමිතා වැදිසිංහ. දයානන්ද ගුණවර්දනගෙ අපූරු රචනාව සංගීතවත් කළේ සෝමදාස ඇල්විටිගල. තවත් විශිෂ්ටයකුගෙ සමීප රූපය.

ඉන්ද්‍රචාගෙ සමීපරූපයට එකතුවෙන මේ ගීතය බක්මහ අකුණු වේදිකා නාට්‍යයයෙ ගායනා වුණාට ගීතයක් විදියට ඇහෙන්නෙ නෑ වගෙ.

බක් මහටයි යල් වැස්ස වහින්නේ

බක් මහටයි හෙන විදුලි කොටන්නේ

බක් මහටයි අවුරුද්ද පුරන්නේ

බක් මහටයි අපි දීගෙක යන්නේ...

පබුලිනා ජාසොං දෙන්නා මේ සිංදුව ගායනා කරමින් නටන්නෙ බක්මහ අකුණු වේදිකා නාට්‍යයෙ.

බක්මහ අකුණු කියන වේදිකා නාට්‍යය කැරකෙන වේදිකාවක 1963 දි වේදිකාගත වී තිබුණත් ඒක නම් දකින්න ලැබුණෙ නෑ ඒ කාලයෙ. ඒත් චිත්‍රපටයෙ මුල් දර්ශනයක් නම් නරඹලා රියෝ සිනමාශාලාවෙන් පිටතට ආවේ කියන්න බැරි තරමෙ සංතෝෂයක් හිතේ පුරවගෙන කියල මතකයි. ළමාතැනී අයිරාංගනී ආන්ටිගෙ රඟපෑම, අනුලා කරුණාතිලක, එල්සන්, මුදලිතුමා ඩැනියෙල් මුතුමාල මතකයේ ඉන්නවා මේ බක් මාසයෙත්. ඒත් මේ හැම දේකටම වැඩිය සුන්දර අවස්ථාව තමයි, ඉන්ද්‍රචාප ප්‍රථම වතාවට ධර්මසිරි බණ්ඩාරනායක කියන නළුවා හැබැහින් දකින එක. බක්මහ දීගේ චිත්‍රපටයෙ ප්‍රේමදාසගේ චරිතය රඟපාපු නළුවගෙ රඟපෑමෙන් මත්වෙලා වගේ ඉන්ද්‍රචාප එදා හිටියෙ. ඒත් කිසිම මොහොතක හිතුණෙ නෑ ඔහුව දකින්න ලැබෙයි කියලා. ඒත් ඉන්ද්‍රචාප දකිනවා රියෝ සිනමා ශාලාවෙ කුළුණකට මුවාවෙලා ලජ්ජාවෙන් වගේ හිටපු ධර්මසිරි. බක්මහ දීගෙ චිත්‍රපටය සිංහල සිනමාවෙ එකම සංගීතමය චිත්‍රපටයද කියලත් ඉන්ද්‍රචාපට බොහෝ අවස්ථාවල කල්පනා වෙනවා. එකකට එකක් රසයෙන් අඩු නැති ගීතාවලියක්, ගායන මිහිරක්, සංගීත නිර්මාණයක් ඕනෑම මොහොතක මතකයට නගමින් රස විඳින්නට හැකි නොවෙද කියල ඉන්ද්‍රචාපට හිතෙනවා. අමරදේවගෙ, නන්දා මාලිනීගෙ ගීත ඒ ගීවලින් දයානන්ද ගුණවර්දන මතු කරන ප්‍රේමයේ චමත්කාරය ඉන්ද්‍රචාපට නම් කොහෙත්ම අමතක කරන්න බෑ වගෙ.

ආදර හැඟුම් ආදර හැඟුම්, නුපුරුදුයි මට ඒ හැඟුම් ගායනා කළ අමරදේවගෙ මධුර, ඒ වගේම භාවාත්මක ස්වරය කොහොම අමතක කරන්නද? මලකින් මලකට ගොස් පැණි බොන්නද මා හිමි බඹරුන් මේ සැරසෙන්නේ කියල නන්දා මාලිනී අහන කොට, ඒ ගීත මිහිරෙන් මත් නොවී ඉන්න පුළුවන් කාටද කියල ඉන්ද්‍රචාපට හිතාගන්න බැහැ.

බක්මහ අකුණු වේදිකා නාට්‍යය මුල් කාලෙ නොදැක්කත්, චිත්‍රපටය බලලා ඒ මිහිරෙන් මත් වෙලා හිටපු ඉන්ද්‍රචාපට වාසනාව ලැබෙනවා 2016 ජූනි මාසෙ 26 වැනි දා දයානන්ද ගුණවර්දන පුතණු වසන්ත වේදිකාවට ගෙන ආපු නිෂ්පාදනය දැකගන්න. මුල් නාට්‍යය දැකල නොතිබුණු ඉන්ද්‍රචාප වසන්ත ගුණවර්දන ගෙ නිෂ්පාදනය ගැන විවරණයක් කරන්න කැමැති නැති වුණත්, ඒ නාට්‍යය ආසාවෙන් රස වින්ද බව නම් කියන්න ඕන. ඒත් බක්මහ දීගේ චිත්‍රපටය නරඹලා එදා හැට ගණන්වල විඳි ආස්වාදය නම් දැනුණෙ නෑ කියල තමයි කියන්න වෙන්නෙ. කැලුම් ගම්ලත් නවක ළමාතැනීත්, ජයනාත් බණ්ඩාර නවක මුදලිතුමාත් බක්මහ අකුණු වේදිකා නාට්‍යය අර්ථවත් නාට්‍ය අත්දැකීමක් කරන්න උත්සාහ ගත්ත බව ඉන්ද්‍රචාපට මතකයි. විශේෂයෙන් කැලුම් ගම්ලත් ළමාතැනීගෙ ගායනාවත් රංගනයත් ඉන්ද්‍රචාපගෙ මතකයේ. බක් මාසයක දී බක්මහ දීගේ වගේ චිත්‍රපටයකුත්, බක්මහ අකුණු වගේ වේදිකා නාට්‍යයකුත් සිහිවුණේ ඒ නිර්මාණවල ඇසුණු බක්මහ ගීත මිහිර මතකයට ආ නිසා.

Comments