තවත් තරු යුවළ දෙකකට මල් හී සර | සිළුමිණ

තවත් තරු යුවළ දෙකකට මල් හී සර

 

සෝනම් කපූර් සහ ආනන්ද් අහූජා මංගල සීනු මැද නව දිවියක් අරඹන්නට සූදානම් වන යුවළක්. සෝනම් සහ ආනන්ද් ගේ පෙම් කතාව දිග හැරෙන්නේ සෑහෙන කාලයක් තිස්සේ. ආනන්ද් අහුජා ව්‍යාපාරිකයෙක්. ආරංචිවල සටහන් වන හැටියට නම් ලබන මැයි 11 සහ 12 යන දිනවල පැවැත්වෙන උත්සව වලදී දෙදෙනා අතිනත ගන්නවාලු. මේ උත්සව ස්විටිසර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවාලු.

ආනන්ද් - සෝනම් විවාහ මංගල උත්සවය පැවැත්වෙන දිනය තවම ප්‍රසිද්ධ කර නැහැ. මේ වන විට මංගල උත්සවයට සහභාගි වන පිරිස් වෙනුවෙන් ගුවනා යානා වෙන්කර ගැනීම්ද සිදුවන බවයි පැවසෙන්නේ. එම කටයුතු සංවිධානය කරන අතරතුරදී ඊට සහභාගි වන අයට ඇරයුම් කිරීමේ කටයුතු පෞද්ගලිකව සොයා බලන්නේ සෝනම් ගේ පියා අනිල් කපූර්.

මේ අතර දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ද මේ වසරේදී අතිනත ගන්න සැරසෙන බවට ඉඟි පළවී තිබෙනවා. මීට සතියකට පමණ පෙර දීපිකාගේ දෙමවුපියන් මුම්බායි නුවරට පැමිණ රන්වීර්ගේ දෙමවුපියන් මුණ ගැසී ඇතැයි වාර්තා වෙනවා. ඒ, රන්වීර් - දීපිකා විවාහය ගැන කතාබහ කරන්නලු. එම හමුවෙන් පසුව දීපිකා තම මව සහ නැගණිය සමඟ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පුවලට ගොඩවැදී මාල, මුදු මිලදී ගත් බවයි ඇසූ දුටු අය ප්‍රකාශ කළේ. දීපිකාට නම් අවශ්‍ය, තම විවාහ මංගල්‍යය බැංගලෝර් නුවරදී පවත්වන්නලු.

රූගත කිරීමකදී ජැකලින් අනතුරක

ස්කොෂ් ක්‍රීඩා කරද්දී එයටම විශේෂ වූ ඇස් කණ්ණාඩියක් පැලඳ ගන්න ඕනෙ. ජැකලින් ෆර්නැන්ඩස් එවැන්නක් පැලඳ නොගත්තා ද දන්නෙ නැහැ. චිත්‍රපට රූගත කිරීමකදී ඇගේ ඇසක් තුවාල වුණේ ඒ නිසාද?

ඒ ගැන මෙතෙක් කිසිවක් ප්‍රකාශ වී නොතිබුණත් මේ දිනවල රූගත වන ‘රේස් - 3’ චිත්‍රපටයේ ස්කොෂ් ක්‍රීඩාවක යෙදී සිටින දර්ශනයක රඟපාද්දී ජැකලින්ගේ දකුණු ඇසට තුවාලයක් සිදුවූ බව නම් ඇත්තක්. සල්මන් ඛාන් සහ රමේෂ් ටවුරානි නිෂ්පාදනය කරන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රෙමෝ ඩි සූසා. සල්මන් ඛාන්, බොබි ඩියොල්, සකිබ් සලීම් සහ ඩේසි ෂා රඟන ‘රේස් - 3’ චිත්‍රපටයේ රූගත කිරීම් කිහිපයක් සිදුවුණේ අබුඩාබ් නගරයේදීයි. ත්‍රාසජනක රංගනයන් ඇතුළත් වන මේ චිත්‍රපටයේ එක්තරා දර්ශනයක ජැකලින්ට නියමිත ව තිබුණේ ස්කොෂ් ක්‍රීඩිකාවක ලෙස රඟන්නයි. “ස්කොෂ් ක්‍රීඩාව කරද්දි ඇස් කණ්ණාඩි (ගොග්ල්ස්) දාගන්න ඕනෙ. තමන්ගෙ ප්‍රතිවාදී ක්‍රීඩකයා පන්දුවට පහර එල්ල කරනකොට ඒ දිහා බලන්න බැහැ.” ජැකලින් ඒ කාරණය පමණයි ප්‍රකාශ කර තිබුණේ.

“ඒක ‍පොඩි තුවාලයක්. ජැකලින්ගෙ දකුණු ඇසේ උඩ කොටසයි තුවාල වෙලා තිබුණේ. දැන් එයාට හොඳයි.” චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙකු වන මහේෂ් ටවුරානි එලෙස පැවසුවා. අනතුර සිදුවූ හැටියේ ම රෝහලට රැගෙන ගිය ජැකලින්ට ප්‍රතිකාර ලබාදී තිබෙනවා. ඉන්පසුව ‘රේස් - 3’ දර්ශනය තලයට පැමිණි ඇය, නැවතත් රඟපෑම්වලට එක්වූ බවයි චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් පැවසුවේ. ජැකලින්ගේ දකුණු ඇසට උඩින් සිදුවූ තුවාලය පෙනෙන නිසා ඇතැම් දර්ශනවල රඟපාද්දී ඇයට අව් කණ්ණාඩිය පැලඳීමට සිදුවුණා.

ලස්සන මුහුණ යළිත්

 

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැරී අන්ඩර්වුඩ් නම් සුපිරි තාරකාව හදිසි අනතුරකට මුහුණ දුන්නා. එයින් ඇගේ පියකරු මුහුණ මත කැලලක් ඇතිවුණා. ඇගේ ලස්සන තරමක් බාල වුණාය කිව්වොත් හරි.

දැනට 35 වැනි වියෙහි පසුවන මේ සුරූපිනිය අනතුරට මුහුණ දීමෙන් පසුව ගතවූ මාස කිහිපය තුළ දැඩිව මානසික පීඩාවක් අත්වින්දා. තමන්ගේ පියකරු පෙනුම යළි ලබාගත නොහැකිවේයැයි ඇය සිතුවා. ඇය නිරතුරුවම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. චර්මවේදයට නිපුණත්වයක් දක්වන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් තමයි ඇය ප්‍රතිකාර ගත්තේ. නොනවත්වා ලබාගත් මේ ප්‍රතිකාර නිසා ඇගේ සුන්දරත්වය පෙර ලෙසින් ම මතුවුණා. ඇගේ සිත තුළ තිබුණු සැකසංකාවන් දුරු වුණා.

දැන් ඇය නැවතත් ඉතාම සතුටින් යුතුව රසික ජනතාව අතරට පැමිණ සිටිනවා. ඇය නැවතත් ගී ගයන්නට එක්වුණේ ‘ද චැම්පියන්’ නම් වූ ඇගේ අලුත් ම ගීතයත් සමඟයි. ‍ෙම් ගීතය පටිගත වුණේ කැරී හදිසි අනතුරට ලක් වෙන්නට කලින්.

පැරිස් හිල්ටන්ගේ  නැතිවූ මුද්ද හම්බවෙලා

ඩොලර් මිලියන 2 ක් වටිනා රන් මුදුව නැතිවීම නිසා පැරිස් හිල්ටන්ට ඇති වුණේ කිව නොහැකි අන්දමේ දුකක්. ඇය වැනි සියලු යස ඉසුරෙන් සපිරුණු ඉහළ පෙළේ නිරූපිකාවකට එලෙස දුකක් ඇතිවුණේ රන්මුදුවේ වටිනාකම ගැන සිතා නොවෙයි. එය ඇගේ අතෙහි පැලඳි විවාහ ගිවිස ගැනීමේ මුදුව නිසයි. මේ මුදුව නැතිවුණේ මියාමි නුවර සුපිරි හෝටලයක් තුළ ඇගේ පෙම්වතා (ක්‍රිස් සිල්කා) සමඟ ආලිංගන නැටුමක යෙදී සිටිද්දියි.

කෙසේ වෙතත් ඊට පැය කිහිපයකට පසුව පැරිස් ගේ වටිනා මුදුව සොයා ගැනීමට හැකිවෙලා. එය සොයා ගෙන ඇත්තේ ඇගේ අනාගත සැමියා විසින්මයි. “මේ මුද්ද ටිකක් බර එකක්. මම ක්‍රිස් එක්ක ඩාන්ස් කරමින් ඉන්න අතරෙදි තමයි, ගැලවිලා ගිහින් අපි හිටපු තැනට මේස කීපයකින් එහා තිබුණු අයිස් බකට් එකකට වැටිල තියෙන්නෙ. දෙවියන්ට ස්තුතිවේවා. මේක හොයා ගත්තෙ ක්‍රිස්. ඇත්තට ම ඒ සොයා ගැනීම ආශ්චර්යයක්. එහෙම හොයා ගත්තෙ නැත්නම් කවුරු හරි ඒක අරගනීවි. ආපහු දෙන එකක් නම් නැහැ. මම හරිම වාසනාවන්තයි.” කැරට් 20 කින් යුතුව විවාහ ගිවිස ගැනීමේ මුදුව ලැබුණු පසුව උද්දාමයට පත් පැරිස් එලෙස පැවසුවා.

Comments