කිසිදු නාළිකාවක් සමඟ අපි තරග කරන්න යන්නේ නෑ | Page 3 | සිළුමිණ

කිසිදු නාළිකාවක් සමඟ අපි තරග කරන්න යන්නේ නෑ

14 වැනි රයිගම් ටෙලි සම්මාන උලෙළේ වසරේ විශිෂ්ටතම මාධ්‍ය උදෙසා පිරිනමන සම්මානයෙන් පිදුම් ලැබුවේ ජාතික රූපවාහිනියයි. ඒ අභිමානයේ සතුට සමරන මොහොතක ඒ පිළිබඳව කතා කරන්නට රසඳුන අප ජාතික නාළිකාවේ මුල් පුටුව හොබවන වත්මන් සභාපති රවී ජයවර්ධනයන් මුණ ගැසුණා. වචනයේ පරිසමාප්ත අරුතින්ම සන්නිවේදනයේ සලකුණ වූ ‘සැළලිහිණියා’ ගුණාත්මක නවමු ගමනකට පියාපත් සලමින් සිටියි.

● සම්මානනීය ජාතික නාළිකාවේ සභාපතිවරයා ලෙස ඔබ මොකද ඒ ගැන සිතන්නෙ?

ඇත්තටම මේ රටේ තිබෙන රූපවාහිනී නාළිකා 20 කට ආසන්න ප්‍රමාණයක් අතුරින් ජාතික රූපවාහිනිය විශේෂ වෙනවා. මොකද අනෙකුත් නාළිකා සමඟ තරග කරමින් වානිජ මට්ටමට යමින් අනුග්‍රාහකයන් ද අප ළඟ තියාගෙන ජාතික කර්තව්‍ය කිරීම හා ගුණාත්මක බවින් ඉහළ වැඩසටහන් ප්‍රචාරය කිරීම අභියෝගාත්මක කාරණයක් නිසා. නමුත් ඒ අභියෝගය අපි භාර අරගෙන එයට සාර්ථකව මුහුණ දීලා ලැබුණු තිළිණය තමයි 14 වැනි රයිගම් සම්මාන උලෙළේ විශිෂ්ටතම මාධ්‍ය නාළිකාව ලෙසට අපගේ නාළිකාව සම්මානයට පාත්‍ර වුණේ.

විශේෂයෙන් ම ඉංග්‍රීසි/ සිංහල/ දමිළ ත්‍රිත්වයෙහිම ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් වගේ ම ජූරියේ විශේෂ සම්මාන, විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම් යන අංශ ගණනාවකින්ම අපගේ නාළිකාව සම්මානයට පාත්‍ර වුණා.

ඇත්තටම අපි සතුටු වෙනවා ජාතික රූපවාහිනිය තමන්ගේ මාධ්‍ය වගකීම රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ට කළා කියලා. ඒ වගේ ම කියන්න ඕන මෙය එක් අයකුගේ ජයග්‍රහණයක් පමණක් නෙමෙයි සාමූහිකත්වයේ ජයග්‍රහණයක්. ඒ නිසා ජයග්‍රහණයේ සතුට නාළිකාවේ සියලු දෙනාටම බෙදිලා යනවා. විශේෂයෙන් ම අපි වටා ඉන්න ප්‍රේක්ෂකයන්වත් මේ ගෞරවයේ කොටස් කරුවන් වෙනවා.

එනිසා සභාපතිවරයා විදිහට බොහොම නිහතමානීව ආඩම්බර වෙනවා සතුටු වෙනවා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයේ ජාතික මුද්‍රාව විදිහට නැවත වතාවක් සම්භාවනාවට පාත්‍රවීම පිළිබඳව.

● තරගකාරී නාළිකා රැසක් අතුරින් විශිෂ්ටතම නාළිකාව බවට පත්වීම ලෙහෙසි පහසු නෑ නේද?

අපි කිසිදු නාළිකාවක් සමඟ තරග කරන්නට යන්නේ නෑ. එය අපේ වගකීමක් නෙමෙයි. තරග කරනවා නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, නිර්මාණශීලිත්වය, බුද්ධිමය සම්පත් අපේ නාළිකාව සතුව ඕනෑ තරම් තිබෙනවා. වසර 36 ක අභිමානයක් එක්ක තරග කිරීම ඇත්තටම අභියෝගයක් නෙමෙයි.

ගොඩක් දෙනෙක් අපෙන් අහනවා ‘රේටින්’ හදාගන්නේ නැත්තේ ඇයි කියලා ‘රේටින්’ කියන්නේ පුස්සක් පමණක් කියලයි මා කියන්නේ මා දකින විදිහට දැන් මේ ක්ෂේත්‍රයේ තියෙන බරපතළම අර්බුදය තමයි ‘රේටින්’ පෞද්ගලික ආයතන රේටින් කියලා දෙයක් නිර්මාණය කරගෙන රේටින් වලින් තෝරන මාධ්‍යය ආයතන වලට සියලුම දැන්වීම් ලබාදෙන වාතාවරණයක් අද ඇති වෙලා තියෙනවා.

සමහර නාළිකා ගෙවල් ඉස්සරහට ගිහින් මුදල් ලබා දීලා තමයි තමන්ගේ නාළිකාව බලන්න කියන්නේ. ඉතිං අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. කුමක් හෝ දෙයක් ප්‍රේක්ෂකයන්ට දීලා ‘රේටින්’ හදාගන්න අපටත් පුළුවන්. නමුත් එහෙම සංස්කෘතියක් අපේ නාළිකාවේ නෑ අපේ වගකීම ඊට වඩා හාත්පසින්ම වෙනස්.

ඔබ ඇසුවේ හොඳ ප්‍රශ්නයක් ඇත්තටම මේ වගේ වාතාවරණයක් තුළ විශිෂ්ටතම නාළිකාව බවට පත්වීම ‍ලොකු අභියෝගයක් කවදත් අපේ ගුණාත්මක හර පද්ධතිය මාධ්‍ය මෙහෙවර නිසා ඒ අභියෝගය ජයගැනීම එතරම් අභියෝගයක් නොමෙයි.

● සැබැවින්ම ජාතික නාළිකාවේ ජාතික වගකීම ඔබතුමන් දකින්නේ කො‍‍හොමද?

වාණිජමය පරමාර්ථ ඔළුවේ තියාගන්නේ නැතිව මේ රටේ තියෙන සදාචාරය, සංස්කෘතිය, සහ සියලු කාරණා ආරක්ෂාවන විදිහට මාධ්‍ය භාවිතයේ යෙදීම මූලික වගකීමක් ඉන්දියාවේ දුරදර්ශන් ජපානයේ NHK , කොරියාවේ KBS , පකිස්ථානයේ DTV යන රටවල මෙකී නාළිකා සියල්ලටම පා‍හේ තියෙන්නේ මාධ්‍ය තුළ ජාතික වගකීමක් මිස වාණිජමය පරමාර්ථ නොවේ. ඔවුන් එය අකුරටම සිදු කරනවා, ජාතික රූපවාහිනිය විදිහට අපි ඉන්නෙත් එතැන. රටේ හර පද්ධතිය ආරක්ෂා වන විදිහට සමාජය යහමඟට ගැනීම සඳහා වන මාධ්‍ය භාවිතය තමයි ජාතික නාළිකාවේ ජාතික වගකීම් ලෙසට මා දකින්නේ.

● ඔබතුමාගේ සේවා කාලය තුළ නාළිකාවෙහි නව වෙනස්කම් රැසක් සිදුවුණා අප දුටුවා?

2015 අගෝස්තු 4 වැනිදා තමයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විදිහට මා මුල් පුටුව භාර ගත්තේ. තව මාස 3 කින් පමණ මා රාජකාරි කටයුතු ආරම්භ කරලා වසර 3 ක් ගතවෙනවා.

මම මේ ආයතනය භාරගන්න කොට තිබුණේ අලාභ ලබපු ඉතාමත් අසීරුවෙන් දුවපු ආයතනයක් විදිහටයි. මේ වසර 3 කට ආසන්න කාලය ඇතුළත මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම සාදාගන්න හැකියාව ලැබුණා.

විශේෂයෙන් ම කියන්නට ඕනෑ එදා ර‍ෙට් එක් දේශපාලන පක්ෂයකට පමණක් විවරවෙලා තිබුණු මේ ආයතනයේ දොරටුව අද සියලුම දේශපාලන පක්ෂවලට විවෘත වෙලා තිබෙනවා. ‘ඇත්ත නැත්ත’ කාලීන දේශපාලන වැඩසටහන එයට කදිම නිදසුනක්. ඒ වගේ ම ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් මේ ආයතනයට විශාල චෝදනාවන් එල්ල වෙලා තිබුණා. දැන් අපි නිවැරැදි ක්‍රමවේදයක් යටතේ ගුණාත්මක ටෙලිනාට්‍ය ඒ වගේ ම මිලදී ගැනීම සඳහා කටයුතු කරමින් සිටිනවා. දූෂණය අවම කරලා ආයතනයේ සේවකයින්ට සහන රැසක් ලබාදීමට කටයුතු කළා.

විශේෂයෙන් අපේ ආයතනයේ තියෙන වෘත්තීය සමිති සංගම් 5 ක් සමඟ ආයතනයේ අභිවෘද්ධිය පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඔබ දන්නවා අපේ රටේ 25% දමිළ බස කතා කරන ජනතාව වෙනුවෙන් සම්පූර්ණ ගුවන් කාලයක් වෙන්වුණ මාධ්‍ය නාළිකාවක් තිබුණේ නෑ. කියන්න සතුටුයි අපි ඒ අඩුවත් සම්පූර්ණ කළා. ඒ තමයි පසුගියදා ඇරැඹූ සංහිඳියාවේ නාළිකාව. ඒත් සමඟම වසර 32 කට පමණ පසුව නව ප්‍රවෘත්ති මැදිරියක් ද විවෘත කළා. වැඩසටහන් පැත්තෙන් ගත්තොත් (7 – 8) කියන ප්‍රධාන ගුවන් කාලය ‘හවසට ගෙදර’ යන තේමාව යටතේ වෙනසකට ලක් කළා.

ක්‍රියාත්මක නව ව්‍යාප‍ෘතීන් යටතේ 2015 - වසරේ දරුවන් පණ මෙන් සුරකිමු, 2016 - පරිස්සමෙන් ගිහින් එන්න, 2017 සභාධාරා වගේ ම මේ වසරේ මේ වනවිට සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන සියදිවි නසා ගැනීම අවම කිරීමේ විශේෂ වැටසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුත් වැඩසටහන් ගතහොත් ලංකා බැංකුව අනුග්‍රහයෙන් ‘ආරාධනා ස්වර දැහැන’ කියලා නව වැඩසටහන් අපි ආරම්භ කළා.

● ඔබ විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංගමයේද ප්‍රධානියා ලෙසට කටයුතු කරනවා.

ඇත්තටම මේ වගේ සංගමයක් මෙරට මාධ්‍ය තුළ බිහිවීම එක්තරා ආකාරයට වාසනාවක් කියලයි මා හිතන්නේ. Broadcasting Guild (විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංගමය) කියන්නේ මෙරටේ රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා සියල්ලක්ම පාහේ සාමාජිකත්වය දරන සංගමයක්. මෙහි සභාපතිවරයා ලෙසට ද මා තෝරාපත් කරගෙන තිබෙනවා.

ඉතිං අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටේ වඩා හොඳ මාධ්‍ය කලාවක් ඇති කරන්නට රටේ සංස්කෘතියට හානි නොවන අයුරින් මාධ්‍ය හසුරුවන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරමින් සිටිනවා.

එයට හොඳම ප්‍රායෝගික අත්දැකීම තමයි පසුගිය දිනවල නුවර ප්‍රදේශයේ ඇතිවුණු සිදුවීමේදී අපේ සංගමයේ සියලු දෙනා එකතුවෙලා පුවත්පත් සාකච්ඡාවක් තියලා ඒ වගේ අවස්ථාවක ඉතා සංයමයකින් යුක්තව මාධ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියලා තීන්දු තීරණ ගත්තා. ඒ ප්‍රශ්නය ඉතා සන්සුන්ව ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්නට අපේ උත්සාහය ඉවහල් වුණා කියලා මා හිතනවා.

ඒ නිසා ජාතික රූපවාහිනිය විදිහට අපි විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංසදයේ ඉන්න ගමන් අපේ ජාතික වගකීම අකුරටම ඉටු කරන බව සභාපතිවරයා විදිහට වගකීමෙන් කියන්නට කැමැතියි.

Comments